කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නැහැ

ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) නමැති ඖෂධ වංචාවට අදාළ තොරතුරු රැසක් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත. 2022/2023 යන වර්ෂවලට අදාළව ඖෂධ අවශ්‍යතාව ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම සහ නියාමනය සම්බන්ධයෙන් මෙකී විශේෂ විගණන වාර්තාව නිකුත්කොට තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාාංශය විසින් හදිසි මිලදී ගැනීම යටතේ මිලදීගෙන තිබූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) නමැති මෙකී ඖෂධය ව්‍යාජ ඖෂධයකි. මෙම ඖෂධය රුධිර ප්ලස්මා භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධයක් වන අතර ස්නායු රෝගීන්ට ලබාදෙන ඖෂධයකි. මෙම ව්‍යාජ ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන විටත් පුද්ගලයන් දෙදෙනකු සැපයුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් සිටියහ.

මින් එක් අධ්‍යක්ෂවරයකු වන්නේ හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාය. මෙකී අධ්‍යක්ෂවරයා විසින් විදේශීය සහයෝගය මත සිදුකරනු ලබන පර්යේෂණයක් බව සඳහන් කරමින් මානව රුධිර ප්ලස්මා ලීටර් 1000ක් මිලදී ගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශ සහිතව මෙකී ඉල්ලීම සිදුකොට තිබුණි. අදාළ ඖෂධ සැපයුම්කාර සමාගම විසින් විදේශීය සහයෝගය මත මානව ප්ලාස්මාවේ භෞතික විද්‍යාත්මක ක්‍රියාකාරකම්වල සොයා නොගත් භූමිකාවක් පිළිබඳ පර්යේෂණ සංවර්ධන හා ක්‍රියාවලිය මගින් සංචිත ප්ලස්මා මගින් නව ප්ලස්මා ප්‍රෝටීන හුදකලා කිරීම සම්බන්ධව සිදුකරනු ලබන පර්යේෂණයක් බව සඳහන් කරමින් මෙම ඉල්ලීම සිදුකොට තිබුණි.

මෙකී ඉල්ලීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂකවරයා විසින් සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබුණි. ඉන්පසුවද අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය සහිතව මෙකී ඉල්ලීම නැවත වතාවක් සිදුකරනු ලැබීය. රුධිර ප්ලස්මා විශාල තොගයක් මෙම අවශ්‍යතාවය සඳහා නිකුත් කළ නොහැකි බවත් යෝජනාවේ සඳහන් ජාතික වැදගත්කම පිළිබඳ සලකා බලා සතියකට රුධිර ප්ලස්මා පැකට් ලීටර් 40 බැගින් මාස 09ක් තුළ ලබාදීමට මේ සඳහා පත්කළ කමිටුව මගින් නිර්දේශ කර තිබුණි. ප්ලස්මා ලීටරයක් සඳහා ඇමරිකානු ඩොලර් 44.60 අයකිරීමට ද තීරණය කරනු ලැබීය.

මෙකී පර්යේෂණය විධිමත් අනුමැතිය ලත් පර්යේෂණයක් ද යන්න හෝ පර්යේෂණ සිදුකළ යුතු ආචාරධර්මවලට අනුකූල වන ලෙස කටයුතු කර ඇති බවට තහවුරු කරගැනීමකින් තොරව රුධිර පාරවිලයන ආයතනය මගින් පත්කළ කමිටුව විසින් රුධිර ප්ලාස්මා නිකුත් කිරීමට නිර්දේශ කොට තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. අනික් කාරණය වන්නේ ආසාදිත නොවන බවට රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු නොකළ රුධිර ප්ලස්මා බාහිර පාර්ශ්වයකට ලබාදීම බරපතල තත්ත්වයකි. අනික් කාරණය වන්නේ මෙකී ඖෂධය සම්මත තත්ත්ව පාලනයක් යටතේ නිෂ්පාදනය නොවුණහොත් එච්.අයි.වී., හෙපටයිටිස්, බී හා සී ආදි ආසාදිත තත්ත්වයන්ට රෝගීන්ට මුහුණ දිමට සිදුවන බවට විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශකොට තිබුණි. කෙසේ වුවද අදාළ කමිටුව මගින් පර්යේෂණයට අදාළ භූමිභාගය පරීක්ෂා කිරීමට යෝජනා කර තිබුණ ද එවැනි පරීක්ෂාවකින් තොරව රුධිර ප්ලාස්මා නිකුත් කොට තිබුණි.

ඒ අනුව විධිමත් අනුමැතියකින් තොරව රෝගී ප්‍රතිකාර සිදු නොකරන මෙකී සමාගම වෙත 2023 වර්ෂයේ නොවැම්බර් මස 20 දින වනවිට අදාළ සැපයුම්කාර සමාගම වෙත රුධිර ප්ලාස්මා ලීටර් 170.88ක් නිකුත්කොට තිබුණි. ඒ සඳහා රුපියල් 2,460,174ක් මුදලක් අය කරගෙන තිබුණි. එමෙන්ම සැපයුම්කාර සමාගම විසින් මෙකී ඉල්ලීම සිදුකළ පසුදිනක එනම් 2023 මාර්තු මස 10 දින රුධිර ප්ලාස්මාවලට අමතරව රුපියල් 12000ක මුදලකට රුධිර පැකට් 06ක් නිකුත්කොට තිබුණි.

ප්‍රශ්නසහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunglobulin) නමැති ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිර ප්ලාස්මා භාවිතා කරනු ලබයි. සැපයුම්කාර සමාගමට මෙකී ඖෂධය සැපයීම සඳහා ඇණවුම ලබාදුන් දින සිට එම ඇණවුමේ මුල් ඖෂධ තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාදුන් 2023 මැයි 26 වැනි දින දක්වා කාලය තුළ රුධිර ප්ලාස්මා ලීටර් 21.73 හා රුධිර පැකට් 06ක් ලබා දී තිබුණි. ඉන්පසුව රුධිර ප්ලාස්මා ලීටර් 149.15ක් ලබාගෙන තිබූ අතර මෙම ඖෂධය සැපයුම්කාර සමාගමේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළාද යන්න විගණනයට ද ගැටලුවකි. අනික් කාරණය වන්නේ සැපයුම්කාර සමාගම විසින් මෙකී ඖෂධය තම නිෂ්පාදන පරිශ්‍රයේ සිදුකළේ නම් එම සමාගම ජාතික ඖෂධ අධිකාරි පනතේ වගන්ති කඩකරමින් නීති විරෝධී ක්‍රියාවක නිරත වී ඇත්තේය. ඒ නිසා මෙකී ව්‍යාජ ඖෂධයේ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් තහවුරු කරගත යුතුය.

ඒ විතරක් නොව ඖෂධ සැපයුම්කාර සමාගමේ ලිපි ශීර්ෂවල මෙම සමාගම විෂබීජවලින් තොර ඖෂධ හා පර්යේෂණ රසායනික ද්‍රව්‍ය සංවර්ධක නිෂ්පාදක හා සැපයුම්කරුවකු ලෙස දක්වා තිබුණි. මෙකී සමාගම විසින් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළදී කිරි නිෂ්පාදනයට අදාළ අයිතම් ආනයනය කොට තිබූ බව ශ්‍රී ලංකා රේගුව විසින් ද තහවුරුකොට තිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙකී සමාගම පරිශ්‍රය පරීක්ෂා කොට ඇති අතර පරිශ්‍රයේ පිහිටි උපකරණ ඖෂධ නිෂ්පාදනය සඳහා සුදුසු නොවන බවට දක්වා තිබුණි. ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කොට ඇති ව්‍යාපාර ලියාපදිංචි සහතික අනුව මෙකී සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන හේවගේ සුදත් ජානක නමැත්තා මෙම සමාගමට අමතරව තවත් සමාගමක් පිහිටුවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. එම සමාගම හරහා ද ආනයනය කොට ඇත්තේ කිරි නිෂ්පාදනයට අදාළ උපකරණ බවට තහවුරු වී ඇත.

ඖෂධ සැපයුම්කාර සමාගම විසින් 2013 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අවස්ථා පහකදී ඉල්ලීම් කොට තිබුණි. එහෙත් ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නිෂ්පාදනයට අවසර ලබා දී නොතිබුණි. එන්නත් නිෂ්පාදනයට අවසර ලබාදිය නොහැකි බවට අදාළ සමාගම වෙත ඖෂධ නියාමන අධිකාරිය විසින් දැනුම් දී තිබුණි. එසේ තිබියදී සැපයුම්කාර සමාගම විසින් සමාගමේ ලිපි ශීර්ෂවල හා ලේඛනවල මිනිස් භාවිතය සඳහා සාමාන්‍ය එන්නත් කළ හැකි නිමි ඖෂධ සංයෝග නිෂ්පාදනය, ප්‍රතිජීවක, ප්‍රතිදේහ, ජෛව රසායනික, එනසයිම හෝර්මෝන, අකාබනික ද්‍රව්‍ය, ප්‍රතික්‍රියාකාරක හා ජෛව තාක්ෂණ ආදි නිෂ්පාදනයන් සිදුකරන බවට සඳහන් කොට තිබුණි. ඒ විතරක් නොව යහපත් නිෂ්පාදන පරිචයන් සහිත විෂබිජ රහිත ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් තම සමාගමට ඇති බවත් පිළිකා රෝගීන් භාවිතා කරනු ලබන පිළිකා ඖෂධ නිෂ්පාදනය කරන බවට වංචනිකව කරුණු දක්වා තිබුණි.

මෙකී සමාගම වංචනික සමාගමක් බවට තොරතුරු අනාවරණය වී තිබියදී හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සුදුසු කොන්දෙසියක් යටතේ පළමු අදියරේ දි Salbutamol, Lidocaine, Tramadol නමැති ඖෂධය අත්හදා බැලීම සිදුකිරීමට බලපත්‍රයක් නිකුත් කිරීමටත්, නිෂ්පාදනය කිරීමට අදාළ සමාගම වෙත අනුමැතිය ලබාදෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.

ප්‍රශ්නසහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ම එක් එන්නතක් ඇමරිකානු ඩොලර් 130 බැගින් එන්නත් 22,500ක් ඇමරිකානු ඩොලර් 2,925,000ක වටිනාකමට සැපයීම සඳහා හිටපු සෞඛ්‍ය ලේකම් විසින් මෙකී පුද්ගලික සමාගමකට ප්‍රසම්පාදනය ලබාදී තිබුණි. සැපයුම්කරු විසින් 2023 වර්ෂයේ මැයි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී එන්නත් කුප්පි 22500න් රුපියල් මිලියන 168.86 ක් වටිනා එන්නත් කුප්පි 3985ක් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයා තිබුණි. වෛද්‍ය සැපයුම් අංශය විසින් සැපයුම්කරුට රුපියල් මිලියන 36.38ක මුදලක් ගෙවා තිබුණි. ඒ වනවිට වෛද්‍ය සැපයුම් අංශය සඳහා ලැබී තිබූ සියලුම එන්නත් කුප්පි 2023 වර්ෂයේ මැයි මස 30 වැනි දින සිට ජාතික, ශික්ෂණ, පළාත් හා ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ වෙත නිකුත්කොට තිබුණි.

කෙසේ වුවද මෙකී ඖෂධය රෝගීන් විසින් භාවිතා කිරීමෙන් පසු කොළඹ, මහනුවර, ජාතික රෝහල්වල හා මාතර හා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල්වලින් මෙකී ඖෂධය ලබාගත් රෝගීන්ට බරපතල අහිතකර ප්‍රතික්‍රියා ඇතිව තිබුණි. මේ පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ද වාර්තා වී තිබුණි. මෙකී ඖෂධය වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි සහතිකයක් හෝ ලියාපදිංචිය නිදහස් කිරිමේ සහතිකයක් නිකුත්කර නොමැති බවට අනාවරණය විය. ආරක්ෂිත ක්‍රමවේදයක් වශයෙන් මෙකී සැපයුම්කරු විසින් සපයනු ලැබු මුළු ඖෂධ තොගයම භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මගින් කටයුතු කර තිබුණි.

මෙකී ඖෂධ ගනුදෙනුව මත බරපතල වංචා මෙන්ම අපරාධමය කාරණා ද සිදුවී තිබේ. සැපයුම්කරු විසින් ලංසු ලියවිලිවල මිල ලේඛනය තුළ මෙකී ඖෂධය ඉන්දියානු ඖෂධයක් බවත් නිෂ්පාදක ඉන්දියාවේ බවත් සඳහන් කොට තිබුණි. කෙසේ වුවද මේ පිළිබඳ ඇගයිම් කමිටුවේ අවධානය යොමුවී නොතිබුණි. මෙය ව්‍යාජ ඖෂධයක් බවත් එම ඖෂධ ඇසුරුමේ සඳහන් සමාගම විසින් මෙකී ඖෂධය නිෂ්පාදනය හෝ සැපයීම නොකළ බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් අනාවරණය කරගෙත තිබුණි. ඒ අනුව අදාළ සැපයුම්කාර සමාගම විසින් මෙකී ඖෂධයේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන බවට ව්‍යාජ ලෙස දක්වා තිබුණි. සැපයුම්කාර සමාගම විසින් වංචා සහගත ලෙස ඖෂධයේ නිෂ්පාදකයා ලෙස ඉන්දියානු සමාගමක නම සඳහන් කොට මෙකී ඖෂධය ආනයනය කරන බවට හුවාදැක්වීමට උත්සාහ කරනු ලැබීය. මෙවැනි ඖෂධයක් සැපයුම්කාර සමාගම විසින් ආනයනය කොට නොමැති බවට රේගුව විසින් තහවුරුකොට තිබුණි.

ඒ වනවිට රෝහල් වෙත නිකුත්කොට තිබූ මෙකී ව්‍යාජ ඖෂධ කුප්පි තොගයෙන් කුප්පි 1732ක් හෙවත් සියයට 57ක් රෝගීන් වෙත නිකුත්කොට ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. රෝහල් 28කින් ලද තොරතුරුවලට අනුව ඒ වනවිට මෙකී ඖෂධය රෝගීන් 87 දෙනකු වෙත ලබා දී තිබූ අතර රෝගීන් 09 දෙනකුට බරපතල අහිතකර ප්‍රතික්‍රියා ඇති වී තිබුණි.

අනික් කාරණය වන්නේ මෙම සැපයුම්කාර සමාගම වර්ෂ ගණනාවක සිට වෛද්‍ය සැපයුම් අංශයට රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත අයිතම් සපයා තිබුණ ද කිසිදු අවස්ථාවක ඖෂධ අයිතම් සපයා නොතිබුණි. ඒ විතරක් නොව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ද මෙකී සැපයුම්කරුට නොතිබුණි. ස්නායු රෝගීන් සඳහා භාවිත කරනු ලබන මෙවැනි ඖෂධ ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව ඇගයිම් කමිටුව විසින් කිසිදු සොයා බැලීමක් සිදුකර නොතිබුණි. හදිසි මිලදී ගැනීම්වලදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ වෛද්‍ය සැපයුම් අංශය නිෂ්කාශන කටයුතු සඳහා සහභාගි නොවෙති. මෙම තත්ත්වය නිසා සත්‍ය වශයෙන්ම ඖෂධ සැපයුම්කරු ඖෂධ ආනයනය කර ගෙන්වා ඇති බවට තහවුරු කිරීමට අදාළ නෞභාර පත්‍රය, රේගු සටහන්කරය හෝ ඇසුරුම් ලැයිස්තු පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නොපැවතුණි. ඒ අනුව අභ්‍යන්තර පාලනයේ දුර්වලතා හේතුවෙන් මෙම ඖෂධය ව්‍යාජ ඖෂධයක් ලෙස ඖෂධ සැපයම් ජාලයට ඇතුළත්වීමට අවස්ථාව උදා වී තිබුණි.

අනික් ව්‍යාජ ඖෂධය වන්නේ පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැප් නමැති (Rituximab inj. 500mg) ඖෂධයයි. මෙකී ඖෂධය ප්‍රමිතියෙන් තොර එකක් වන අතර මනුෂ්‍ය ශරීරයකට ළං කිරීමටත් සුදුසු නැති ඖෂධයක් බවට හඳුනාගෙන තිබුණි. මෙකී ඖෂධය ද සපයා තිබුණේ අප මීට පෙර සඳහන් කළ සැපයුම්කාර සමාගම විසිනි. මෙකී එක් එන්නතක් හදිසි මිලදී ගැනීම යටතේ එකී සමාගමෙන් මිලදී ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් 152ක් වැනි ඉහළ මිලක් යටතේය. මෙකී ඖෂධය සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට මිලදී ගෙන තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ඖෂධය හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගැනීමට අවශ්‍යතාවයක් නොතිබුණි. එහෙත් කොමිස් කුට්ටිවලට වහවැටී ඇති ඇතැම් නිලධාරීන් රෝගී ජීවිත ගැන තුට්ටුවකට ද මායිම් නොකරමින් ඖෂධ මිලදී ගැනීමේ ජාවාරම කරගෙන ගොස් තිබුණි. මෙකී අනාර්ථික ගනුදෙනුව මගින් රජයට සිදුවී ඇති පාඩුව ආසන්න වශයෙන් හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකකි (65,350,342) ගුණත්වය ආරක්ෂාව, තහවුරු නොකරන ලද ඖෂධයක් මෙරටට ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ සමාගමට ලබා දී ඇත්තේ විශාල තල්ලුවකි. සැපයුම්කාර සමාගම විසින් මෙකී ඖෂධය ද සපයා ඇත්තේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමිනි. මෙකී ඖෂධයේ එන්නත් කුප්පි 104ක් රෝගීන් වෙන නිකුත් කොට තිබුණි.

රිටොක්සි මැප් නමැති (Rituximab inj. 500mg) ඖෂධය සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) ඖෂධය ඇතුළු ඖෂධ පහක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී හා ඖෂධ තොග සැපයීමේ දී සැපයුම්කරු විසින් සිදුකරනු ලැබූ වංචා සහගත ක්‍රියා හේතුවෙන් රෝගී ජීවිත බරපතල අවදානමකට ලක්ව තිබුණි. ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) ඖෂධය ඇතුළු අනිකුත් ඖෂධ සඳහා අභිලාෂ කැඳවීමේ හා ප්‍රසම්පාදනයන් සිදුකිරීමේ දී අමාත්‍යා මණ්ඩල තීරණ අබිබවා කටයුතු කර තිබුණි. ඒ විතරක් නොව තාක්ෂණික ඇගයිම් නිසි පරිදි සිදුනොකිරීම, සැපයුම්කරුවන්ට වාසිසහගත වන ලෙස නිර්දේශ ලබාදීම, ව්‍යාජ ඖෂධ දෙකක් වෙනුවෙන් ගෙවීම් කිරීමේ දී ප්‍රමුඛත්වය ලබාදීමට සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු කර තිබුණි.

මේ වනවිට ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවට සමගාමිව ඖෂධ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ව්‍යාජ ටෙන්ඩර් ලේඛන සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකිරීමට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරි සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ආරම්භකොට ඇත. බාල ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ ටෙන්ඩර් ලේඛන සකස්කිරීමට සම්බන්ධ වු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට සේවය කරන වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් ඉදිරි සතියේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රුධිර බැංකුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නිෂ්පාදන සංස්ථාවේ සේවය කරන නිලධාරීන් රැසකගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු තහවුරු කළේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment