හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපති විරෝධතා ගොනු කරයි

82

ඩිෆෙන්ඩර් රථයක් උපයෝගි කරගෙන තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කර බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වූ තමා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාවට යටත්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කර ඇති ඇප අයැදුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයා ඊයේ (11දා) කොළඹ මහාධිකරණය හමුවේ ලිඛිතව විරෝධතා ගොනු කළේය.

එම විරෝධතා හා විත්තියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විමසීම ලබන 15වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ දින නියම කළේය. 2015.12.21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සලක් තුළ සේවය කරමින් සිටි අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 18කට වරදකාරිය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බරපතළ වැඩ සහිත වසර 33ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම එකවර එනම් වසර තුනක කාලයකින් ගෙවී යන පරිදි ලබාදීමට පසුගිය 28වැනිදා නියෝග කළේය.

එයට අමතරව විත්තිකාරියට රුපියල් තුන් ලක්ෂ හැටදාහක දඩයක් ද නියම කළ අතර එකී සිරදඬුවම් හා දණ්ඩන නියෝගයන්ට එරෙහිව ඇය අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනුකර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment