ගැසට්ටුව අහෝසි නොකළොත් අද සිට බිත්තර දෙන්නේ නෑ

158

විකුණන්නේ 55 ට: නඩු දැම්මොත් නඩු කියන්නත් ලෑස්තියි
– බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් අද (22 දා) සිට වෙළෙඳ පොළට බිත්තර නිකුත් නොකරන බවත් සියලු සතුන් මසට අලෙවි කරන බවත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

පෙරේදා (20 දා) සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්ද, දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක්ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය.

බිත්තරයක මිල රුපියල් 60, 65 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යෑම සම්බන්ධයෙන් තම සංගමය සහ තවත් සංගම් කීපයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කළ බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා, ඉන්ධන ගැටලුව සහ බඩඉරිඟු ගැටලුව විසඳන බවට පොරොන්දු වීමත් සමග අද සිට බිත්තරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කළ බවත් හෙතෙම කීය.

එවැනි පසුබිමක් තුළ බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අසාධාරණ බව ද ඒ මහතා කියා සිටියේය.

මිල රු. පහකින් අඩු කිරීමත් සමග සුදු බිත්තරයක් රු. 55කට ද, රතු බිත්තරයක් රුපියල් 56කට ද අලෙවි කළ යුතු බවට අනෙකුත් බිත්තර නිෂ්පාදකයන් දැනුවත් කළ බව ද රත්නායක මහතා පැවසීය.

පාරිභෝගික අධිකාරියෙන් කියන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බවත් පශු සම්පත් අමාත්‍යාංශයෙන් බිත්තරයක නිෂ්පාදන වියදම ලෙස එවා ඇත්තේ රුපියල් 49.50 ක් ලෙස බවත් පැවසූ ඒ මහතා තමන් අද සිට බිත්තරයක් රුපියල් 55 ට අලෙවි කරන බව ද පාරිභෝගික අධිකාරියට වටලා නඩු දමන ලෙස දන්වන අතර තමන් ද නඩු කීමට සූදානම් බව ද කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment