හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලක් වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අයකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සඳහා රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටි අතර ජුනි 01 දක්වා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (26දා) පොලිසියට අවසර දුන්නේය.
කලක් ක්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂ පන්දු යවන්නකු ලෙස කටයුතු කළ ෂෙහාන් මධුසංක නමැත්තකු එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියම කෙරිණි. මීට පෙර අවස්ථාවක ද සැකකරු එසේ හෙරොයින් සන්තකයේ තබාගැනීම හේතුවෙන් මෙම අධිකරණය මගින්ම දිර්ඝ කලක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි බව පොලිසිය සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට පැවසීය. පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද සැකකරු හෙරොයින් විශාල ප්‍රමාණයක් මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි. නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී සැකකරු පුටු සැටියකට මුවාවී සිටි බවත් සැකකරුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී එම හෙරොයින් තොගය හමු වූ බවත් අධිකරණය හමුවේ කියා සිටි පොලිසිය සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටින බව කීය.
පන්නල පොලිස් නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කුලියාපිටිය – උපේන්‍ද්‍ර සේරසිංහ