2024 එල්.පී.එල්. තරග පාවාදීමේ චෝදනා ලැබූ දඹුල්ල තන්ඩර්ස් සම අයිතිකරුට ඇප

85

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දී තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා කරමින් ක්‍රීඩා දූෂණ විමර්ශන පොලිස් කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම අයිතිකරු යැයි කියන බි්‍රතාන්‍ය පුරවැසි භාවය හිමි බංග්ලාදේශ ජාතික තම්මි රහ්මාන්ට දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07දා) නියෝග කළේය.

විදේශ ගමන් වැළැක්වීමේ නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමේ කොන්දේසියට යටත්ව රුපියල් ලක්‍ෂ පහක මුදල් හා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත එම සැකකරු මුදාහරිනු ලැබීය. එම සැකකරු මෙම විමර්ශනයේ පැමිණිලිකරු සමග වට්ස්ඇප් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ඔහුගේ කටහඬ සාම්පල් ලබාගැනීමට රජයේ රස පරීක්‍ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කළ යුතු බවත් ඉදිරි විමර්ශන සඳහා සහාය ලබාදෙන්නේ නම් ඇප ලබාදීම පිළිබඳව අධිකරණය දෙන නියෝගයට විරුද්ධත්වය නොදක්වන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට පැවැසීය.

එම සැකකරු කොළඹ දී පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ නම් සඳහන් පුද්ගලයන් කිහිපදෙනකු සමග අදහස් හුවමාරු කරගෙන ඇති බව මේ වනවිට ප්‍රකාශ සටහන් කර ඇති පුද්ගලයන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වන්නේ යැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පැවැසීය.

විමර්ශන නිලධාරීන් දැනුම් දෙන ඕනෑම අවස්ථාවක දී කටහඬ සාම්පල් ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බවත් ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියටත් ලබාදෙන බවත් නීතිඥ දසුන් නාගස්හේන හා නීතිඥ රඛිත රාජපක්‍ෂ යන මහත්වරුන් සමග සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයට පැවැසීය.

ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කරනා ලෙසත් ඇප ලබාගැනීමෙන් පසුව නවාතැන් ගන්නා ස්ථානය පිළිබඳව කරුණු සනාථ කරනා ලෙසත් එම ඇප නියෝගය නිකුත් කරමින් සැකකරුට අධිකරණය නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment