MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි

19

සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද ගෝලීය ඇඟලුම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery සිය 100 වැනි පේටන්ට් බලපත්‍රය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් බව ලොවට හඬගා කියන්නට සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදනයන්ගෙන් සුසැදි Twinery විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, නිර්මාණශිල්පීන් හා ව්‍යවසායකයන් සියලු දෙනා සමගින් මානව ඇඟලුම් කර්මාන්තයේ නව්‍ය වෙනසක් වෙනුවෙන් කටයුතු කරනු ලබයි. සහයෝගීතාව හා දුරදක්නා චින්තනය තුළින් විප්ලවීය අදහස් විශ්වසනීය විසඳුම් බවට පත් කිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් ඔබ්බටද සාර්ථක අනාගතයකට මඟ විවර කරමිනි. ඒ අනුව ඔවුන් විසින් ද්‍රව්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, තාප ගති විද්‍යාව සහ රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව වැනි විෂයය ක්ෂේත්‍ර හරහා නව්‍ය තාක්ෂණික සොයා ගැනීම් 23ක් සංවර්ධනය කිරීමට සමත්ව ඇත.

MAS Holdings හි ප්‍රධාන නව්‍යකරණ නිලධාරී හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී රනිල් විතාරණ මහතා සඳහන් කර සිටියේ “2011 වසරේ අපගේ පළමු ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය හිමි කර ගැනීමේ සිට වසර 13ක් වැනි ඉතා කෙටි කලෙකදී පේටන්ට් බලපත්‍ර 100ක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටු වන බවය. අපගේ කණ්ඩායමේ උනන්දුව, උද්යෝගය, කැපවීම මෙන්ම ගෝලීය රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනයේ පෙරමුණ වෙත අප රැගෙන යෑමට හේතු වූ අසීමිත පර්යේෂණය හා සහයෝගීතාව මෙම සුවිසල් ජයග්‍රහණයට හේතු වූ බව සඳහන් කළ හැකියි” යනුවෙනි.


advertistmentadvertistment