සනත් මනතුංග කොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක වෙයි

288

සෙල්ලතුරෙයි ප්‍රභාගර් මහතා බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් වෙයි

කොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා 2022 මැයි 12 වනදා සිට පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට සෙල්ලතුරෙයි ප්‍රභාගර් මහතා පත්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

කොමර්ෂල් බැංකුවේ වසර 41 ක කීර්තිමත් සේවා කාලයකට පසුව 2022 මැයි 11 වනදා ක්‍රියාත්මක රෙන්ගනාදන් මහතාගේ විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුව සනත් මනතුංග මහතා විසින් පුරවනු ලැබේ.

සනත් මනතුංග මහතා කොමර්ෂල් බැංකුව තුළ වසර 32 ක් සේවය කර තිබෙන අතර පසුගිය වසර හතර තුළදී බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරු දැරීය. එයටත් පෙර මනතුංග මහතා ආයතනික බැංකුකරණ කටයුතු සඳහා සාමාන්‍යාධීකාරීවරයා ලෙසින් කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ සහ වෙළෙඳ මූල්‍යන දෙපාර්තමේන්තුවල ප්‍රධානීත්වය ඉසිලූ අතර බැංකුවේ ප්‍රධාන අවධානම් නිලධාරිවරයා (CRO) ලෙසින්ද වගකීම දරා තිබේ. ඔහුගේ නායකත්වය යටතේ බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය අත්තිකාරම්වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරගන්නා අතරම ඉතාමත් වේගවත් ණය වර්ධනයක් මෙන්ම වෙළෙඳ මූල්‍යන ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනයක්ද ජනනය කිරීමට සමත් විය.

සනත් මනතුංග මහතා ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේදී බැංකුවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ව්‍යාපාරික අංශ වන පුද්ගලික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත්, ඩිජිටල් බැංකුකරණය වැනි අංශ සඳහා නායකත්වය ලබාදුන් අතර එම අංශ වලට කර්මාන්තයේ නායකත්වය ලබාගැනීමට මාර්ගෝපදේශනය ලබාදෙන ලදී. මේ අතර, බැංකුවේ නව්‍ය වූ වැඩසටහන් සඳහා මනතුංග මහතා නායකත්වය සහ උපායමාර්ගික දැක්ම ලබාදුන් අතර බැංකුවේ බොහෝ ව්‍යාපෘතිවල මෙහෙයුම් විශිෂ්ටත්වය වර්ධනය කිරීමට ඔහු දායකත්වය ලබාදී ඇත.

සනත් මනතුංග මහතා එංගලන්තයේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකු (FCMA – UK) අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබාගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක් (FIB) මෙන්ම ශ්‍රී ලංකා වරලත් සහතිකලත් කළමනාකරණ ගණකාධීකාරිවරුන්ගේ ආයතනයේද සාමාජිකයෙකි (FCMA). එසේම, සනත් මනතුංග මහතා එංගලන්තයේ වරලත් කළමනාකරණ ආයතනයේද සාමාජිකත්වය (FCMI) අතරම 2017 වසරේ සිට ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකත්වයද දරයි.

කොමර්ෂල් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සෙල්ලතුරෙයි ප්‍රභාගර් මහතා එම තනතුර ලැබීමට පෙර කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙසින් කටයුතු කළේය. බැංකු ක්ෂේත්‍රයේ විවිධ අංශවල අවුරුදු 26 කට වඩා වැඩි පළපුරුද්දක් තිබෙන ප්‍රභාගර් මහතා කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ ප්‍රධාන මෙහෙයුම් නිලධා රිවරයා ලෙසින්ද කටයුතු කර ඇත. ඔහු 2009 වසරේදී කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් සඳහා නායකත්වය ලබාදෙමින් නේවාසික කළමනාකරු ලෙසද කටයුතු කළේය. කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම බැංකු ශාඛා 02 ක් සහ බැංකු කවුළු 02 ක සිට බැංකු ශාඛා 19 ක් දක්වා පුළුල් කිරීමට සහ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක විදේශ බැංකු 10 අතුරින් තෙවැනියට වැඩිම ලාභයක් වාර්තා කළ බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්කරමින් කොමර්ෂල් බැංකුවේ සමස්ත ලාභ වලින් 15% ක් බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු වලින් ලබාගැනීමට ප්‍රභාගර් මහතා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලදී. ප්‍රභාගර් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් බැංකුකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් ලබාගෙන තිබෙන අතර බැංකු කරුවන්ගේ ආයතනයේද සාමාජිකයෙකි (AIB-SL). එසේම, ඔහු ඉන්දියාවේ භාරතීදාසන් විශ්ව විද්‍යාලයෙන් බී.කොම්. උපාධියක්ද ලබා තිබේ. මේ අතර, ප්‍රභාගර් මහතා එංගලන්තයේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) සම්පූර්ණ සුදුසුකම් ලාභියෙකු වන අතර ඇමරිකාවේ පද්ධති විගණනය පිළබඳ සහතිකය (CISA) හිමිකර ගෙන ඇත. මීට අමතරව, ප්‍රභාගර් මහතා පද්ධති ආරක්ෂණය සහ පාලන විගණනය (DISSCA – CASL) පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment