මැයි මාසයේ 03 සිට 06 දින දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙසක් දින ද ය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා මේ නිල සංචාරයේ නිරත වන බවත් මෙහිදී අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම් කිහිපයක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් වූ බවත් ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඊයේ (29) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිවූ අදාළ ගිවිසුම් පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අලුත්කිරීම, වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම යන යෝජනා සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.