SDIG රන්මල් ගැන විමර්ශනය කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්

1028

කිසිදු හේතුවක් නැතිව ව්‍යාපාරිකයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ලිංගික හිරිහැර කිරීම සහ අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීතිපතිවරයාට නියෝග කර ඇත. රාජගිරිය ප්‍රදේශයෙහි පදිංචි ව්‍යාපාරිකයෙකු වන මිශාර රණසිංහ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ජාතික පොලිස් කොමිසමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කෙරුණි.මෙරට සිටින ජ්‍යේෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08දෙනා අතුරින් එක් අයෙකු වන රන්මල් කොඩිතුවක්කු මහතා මේ ආකාරයෙන් උසස් පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන අයුරින් අමානුෂික ආකාරයෙන් කටයුතු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් විවෘත අධිකරණයේදී සඳහන් කළේය.මෙම පෙත්සමට අදාළ විරෝධතා සති 08ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 04 වැනිදා සිදු කරන බවත් නියෝග කළේය.


advertistmentadvertistment