කැබිනෙට්ටුව අදානිට දොර වසයි

1951

මෙරටට අවාසි සහගත ලෙස සහ පරිසරයට හානිදායක වන අයුරින් ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ඉදිකිරීමට ගිය සුළං විදුලි බලාගාරය ඉදිනොකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය විසින් මෙම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබාදීමට තීරණය කර තිබූ අතර ඉන් මෙගාවොට් 500ක විදුලි උත්පාදනයක් සිදු කිරීමට නියමිතව තිබිණි.

අදාළ සුළං විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ඉන්දීය අගමැති, නරේන්ද්‍ර මෝදි මහතා එවකට මෙරට ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා වෙත බලපෑම් කර තිබූ බවද හෙළිව තිබිණි.

එමෙන්ම අදානි සමාගම වෙත මෙම සුළං විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදී ඇත්තේ දූෂිත ගනුදෙනුවක් හරහා බවට ද එවකට චෝදනා එල්ල වී තිබිණි.

ඉදිකිරීමට යෝජිතව තිබූ මන්නාරම් සුළං විදුලි බලාගාරයෙන් මෙරටින් ලබන රුපියල් ආදායම ඩොලර් බවට පත්කර ඉන්දියාවට රැගෙන යෑම අදානි සමාගමේ අරමුණ වී තිබූ බව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා තිබිණි.

අදාළ සුළං විදුලි බලාගාරයෙන් නිපදවන විදුලි ඒකකයක් අදානි සමාගම විසින් ඉන්දියාවට ඩොලර් ශත 3.5ට ලබා දුන්නත්, මෙරටට ලබා දීමේදී ඩොලර් ශත 8.22ක් ලබාගැනීමට ගිවිසුම් සැලසුම් කර තිබූ බවද ඒ මහතා හෙළිකර තිබිණි.

ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මෙම මන්නාරම් සුළං විදුලි ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වීම හරහා මෙරටට විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බවත්, ඉන් ඉන්දීය අදානි සමාගමට අතිවිශාල මූල්‍ය ලාභයක් අත්පත් කර ගැනීමට හැකියාව පැවති බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවකට ප්‍රකාශ කර තිබිණි.

සුජීව තත්සර


advertistmentadvertistment