අතවර සිද්ධියක් පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ කටාන පොලිසිය හයේෂිකාගේ කීර්ති නාමයට හානි කළා

587

විධිමත් පරීක්ෂණයක් ඉල්ලා වැ.බ. පොලිස්පතිට පැමිණිල්ලක්

පසුගිය 6 වැනිදා රාත්‍රී සිය ආයතනයේ සේවය කළ 19 හැවිරිදි තරුණයා 24 හැවිරිදි සේවිකාවකට ලිංගික හිංසා කිරීමේ සිද්ධි පැමිණිලි කිරීමට කටාන පොලිසියට ගිය අවස්ථාවේදී හා ඉන් අනතුරුව සිය ආයතනයේ අධ්‍යක්ෂිකාවක වන හයේෂිකා ප්‍රනාන්දුගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා කටාන කුයින්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන චානුක විශ්වජිත් මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පැමිණිලිකාර තරුණියට එකී ලිංගික හිංසනය කිරීමට පෙරම සැකකරුගේ අවිනීත හැසිරීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව ඔහුට සේවයෙන් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබූ බවත් පෙර සිද්ධිය වී ඇත්තේ ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී එතෙක් ඉටුකළ රාජකාරි කටයුතු පිළිබඳව පැමිණිලිකාර තරුණිය දැනුම්වත් කිරීමට ශබ්දාගාරය තුළට ගොස් ඉන් නික්මෙන අවස්ථාවේදී බවත් එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ. පසුගිය 6 වැනිදා රාත්‍රියේම සැකකරුගේ දෙමාපිය වැඩිහිටියන් කැඳවා ඔහුගේ අවිනීත හැසිරීම පිළිබඳව ඔවුන් දැනුම්වත් කළ බවත් සිය පුත්‍රයාගේ අවිනීත හැසිරීම පිළිබඳව කෝපයට පත් පියා එම ස්ථානයෙන් පිටතට ගිය නමුත් මව හඬා වැළපෙමින් එම සිද්ධිය සමථයකට පත්කරන ලෙසට බැගෑපත්ව ඉල්ලා සිටි බවත් එමඟින් පෙන්වා දී තිබිණි. පැමිණිලිකාර තරුණිය සිද්ධිය සමථයට පත්කර ගැනීමට අකැමැත්ත දැක්වීම නිසා ඔහුගේ දෙමාපියන් ද රැගෙන පොලිසියට ගිය අවස්ථාවේ නිදාගන්නත් නෑ. මම විතරද මේවා ලියන්නේ? යැයි පවසමින් එහි සිටි පොලිස් කාන්තාවක බැණ වැදුණු බවත් සැකකාර තරුණයා වාඩිවී සිටි ස්ථානයට පැමිණි ඩයස් නමැති උප පොලිස් පරීක්ෂකවරයා “මේ චෝදනාවෙන් ගැලවෙන්න නම් ගැහැව්වා කියලා උඹ ගිහින් රෝහලේ ඇඩ්මිට් වෙයන්” යැයි පැවැසූ බව සිය ආයතනයේ ගුරුවරුන් දෙදෙනකුට මෙන්ම පොලිසියේ රඳවා සිටි වෙනත් සැකකරුවකුටද ඇසී ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.

දමයන්ති නමැති කාන්තා පොලිස් කොස්තාපල්වරිය පැමිණිලිකාර තරුණියට “බොරු කරනවා” යැයි පවසමින් ඇය දැඩි අපහසුතාවයට පත්කර ඇති බවත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන’ යැයි සැකකාර තරුණයා ඉදිරිපිට දීම පවසමින් නයනා නමැති උප පොලිස් පරීක්ෂකවරිය හා දමයන්ති නමැති පොලිස් කොස්තාපල්වරිය හයේෂිකා ප්‍රනාන්දු නමැති සිය අධ්‍යක්ෂවරියට අපහාසාත්මක ආකාරයෙන් පැවැසූ බවත් එමඟින් පෙන්වා දී තිබේ. එදින පැමිණිල්ල භාර නොගෙන පසුදින පැමිණෙන ලෙසට පැමිණිලිකාර තරුණියට පවසා ඇති එහි නිලධාරීන් ස්ථාන පරීක්ෂාවකින් තොරව පැමිණිල්ල භාරගත නොහැකි බවට පවසා දිගින් දිගටම පැමිණිල්ල භාර ගැනීම කල්දමා තිබූ බවද එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබූ පැමිණිලිකරු මැයි 8 වැනිදා නීතිඥවරියක සමග පොලිසියට ගිය අවස්ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ගොස් වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසට අතවරයට පත් තරුණියට පවසා තිබූ රවින්ද්‍ර නමැති පොලිස් කොස්තාපල්වරයා තුවාලකරු අමාරු වී රෝහලේ එයාගේ අය පැමිණිල්ලක් දාලා තියෙනවා යැයි පවසා බැණ වැදී ඇති බවත් එමඟින් පෙන්වා දී තිබිණි.

එදින පොලිස් ස්ථානාධිපතිවරයා හමු වූවිට ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව පවසා ඇති බවත් පොලිසිය කළ දැනුම් දීමක් අනුව පසුදින ප්‍රකාශ ලබාදීමට සිය අධ්‍යක්ෂවරයකු හා කළමනාකරු පොලිසියට ගිය අවස්ථාවේදී මේක සුළු වරදක් සමථ මණ්ඩලයට යොමු කරන්න පුළුවන්. නමුත් උසාවියට දාලා ඇප ගමු යැයි පවසා මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයකු වෙත පස්වරු 3.30ට පමණ ගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබිණි.

පහරකෑවේ යැයි කියන තරුණයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහු සිදුකර ඇත්තේ තරුණියකගේ අතින් ඇල්ලීම වැනි සුළු වරදක් බව වැඩබලන මහෙස්ත්‍රාත්වරයාට පෙන්වා දී තිබූ පොලිසිය සැකකරුවන් දෙදෙනාට ඇප ලබානොදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇති බවත් එමඟින් පෙන්වා දී තිබිණි. මැයි 12 වැනිදා කිසිදු අධිකරණ නියෝගයක් හෝ වරෙන්තුවක් නොමැතිව හයේෂිකා ප්‍රනාන්දු නමැති සිය ආයතන අධ්‍යක්ෂවරියගේ නිවසට පැමිණ තිබූ පොලිසිය ඔවුන් කැඳවාගෙන පැමිණි කැමරාකරුවන් රහසින්ම ඇගේ නිවසට යොමු කළ ආකාරයත් සීසීටීවී දර්ශන අනුව මනාව පැහැදිලි වන්නේ යැයි ද පෙන්වා දී තිබිණි. ඒ පිළිබඳව 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට දැනුම්දුන් පසුව කටාන පොලිසියෙන් දුරකතන ඇමැතුමක් ලබාදී මානව හිමිකම් කොමිසමෙන් පැමිණ ඇති බවත් තවදුරටත් පැමිණිලි කොට අමාරුවේ නොවැටෙන ලෙසට බැණ වැදී දුරකතනය විසන්ධි කළ බවත් පෙන්වා දී තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment