අති විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන අරුණට සහ තරුෂිට

141

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

දින තුනක් මුළුල්ලේ හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 102 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අති විශිෂ්ටතම මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිදෙන “එන්. වෛරවනාදන් අභියෝග කුසලානය” හිමිකර ගැනීමට එස්. අරුණ දර්ශන සමත් විය.

මෙවර තරගාවලියේ අති ශූරතම මලල ක්‍රීඩකයා ලෙස ද යුද හමුදාව නියෝජනය කළ අරුණ දර්ශන (මීටර් 400 – (තත්.45.51) සම්මාන ලබන අතර වාරයේ දී ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය කළ තරුෂී ඩිල්සාරා කරුණාරත්න (මීටර් 800 – මි. 2.04.22) අති ශූරතම ක්‍රීඩකාව ලෙස තිළිණ ලැබුවාය.

යාපනය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් තරග වැදුණු නෙසරාසා දක්ෂිතා කාන්තා රිටි පැනීමේ තරගයේ දී මීටර් 3.72 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් බිහි කිරීමට සමත්වීම ඊයේ (27දා) දිනයේ දී කැපී පෙනුණි. එමෙන්ම, පිරිමි මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම සමගින් ජාතික කනිෂ්ඨ වාර්තාව තමන් නමින් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය කළ ආර්. ඉඳුසර විදුෂාන් සමත්වූයේ තත්. 21.14 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. එකී රන් පදක්කම ඒ. එස්. එම්. සෆාන් (තත්.21.) දිනාගත් අතර ලෝකඩ පදක්කම ඩී. ඩී. එස්. දියලවත්ත (තත්.21.42) සතු විය. මීටර් 200 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය සාෆියා යාමික් (තත්.24.26) දිනා ගත්තේය. එකී දෙවැනි ස්ථානය ඩබ්ලිව්. එස්. හීමියා ප්‍රනාන්දු (තත්.24.67) ද තෙවැනි ස්ථානය බී. එම්. අයි. ජයමාන්න (තත්.25.04) හිමිකර ගත්හ.

මෙරට වේගවත්ම ක්‍රීඩක සම්මානය සමගින් මීටර් 100 ඉසව්ව ජය ගැනීමට වයි. සී. එම්. යෝධසිංහ සමත් වූයේ තත්.10.44 ක තරග නිමි කාලයක් සටහන් කරමිනි. එහි රිදී පදක්කම මෙරෝන් ජුලියන් විජේසිංහ (තත්.10.60) හිමි කර ගත් අතර ලෝකඩ පදක්කම ඩී. ඉඳුවර වීරරත්න (තත්.10.62) සතු විය.

ප්‍රංශයේ පැරිස් නුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ උත්සාහයක නිරත වන තරුෂි ඩිල්ෂාරා කරුණාරත්න ඊයේ තම ප්‍රියතම ඉසව්ව වන මීටර් 800 රන් පදක්කම දිනා ගනිමින් කැපී පෙනුණි. මඳ වැසි මධ්‍යයෙහි පැවති මීටර් 800 ඉසව්ව ජය ගැනීම සඳහා ඇයට ගතවූ කාලය මි.02.04.22 කි. එකී ඉසව්වේ දෙවැන්නිය ලෙස ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලී (මි.02.04.95) ද තෙවැන්නිය ලෙස කේ. එස්. ලක්ෂානී (මි. 2.07.55) ද පදක්කම් දිනා ගත්හ. කාන්තා අංශයේ මීටර් 100 කඩුළු මතින් දිවීමේ පළමු තැන ඩබ්ලිව්. වී. එල්. සුගන්ධි (තත්.13.79) ද මීටර් 400 කඩුළු මතින් දිවීමේ පළමු ස්ථානය කේ. එච්. ඒ. ඩී. කෞෂල්‍යා (තත්.59.53) මීටර් 5000 රන් පදක්කම ඩබ්ලිව්. ඒ. එම්. ආර්. විජේසූරිය (මි.16.39.98) ද මීටර් 3000 බාධක දිවීම ප්‍රථම ස්ථානය ඒ. එස්. නිසංසලා බණ්ඩාර (මි.11.42.97) ද දිනා ගනිමින් කැපී පෙණුනි.

පිරිමි අංශයේ මීටර් 100 කඩුළු මතින් දිවීමේ පළමු තැන නඳුන් කවීෂ බණ්ඩාර (තත්.14.12) ද මීටර් 400 කඩුළු මතින් දිවීමේ පළමු ස්ථානය කේ. එල්. අයොමාල් අකලංක (තත්. 51.42) ද දුර පැනීම රන් පදක්කම ප්‍රසාද් විමලසිරි (මීටර් 7.46) ද රිටි පැනීම පළමු තැන ඒ. පුවිදරන් (මීටර් 5.00) ද උස පැනීම රන් පදක්කම එස්. ඒ. ටී. දසුන් (මීටර් 2.13) ද මීටර් 3000 බාධක දිවීම පළමු ස්ථානය ඊ. යූ. බී. හේරත් (මි.09.10.28) ද හිමි කර ගැනීමට සමත් වූහ. මෙවර පිරිමි දශ ප්‍රයාම ඉසව්වේ රන් පදක්කම ඩබ්ලිව්. කේ. ඩී. එස්. පෙරේරා දිනා ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර,
ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment