අතුරුවැල්ල කසිප්පු පාටියේ මරණයට 4ක් අත්අඩංගුවට – කසිප්පු පැකට්ටුවකට රණ්ඩු වෙලාලු

232

නාච්චාදූව මඩවලගම ග්‍රාම සේවා වසමේ අතුරුවැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී, සැක කටයුතු ලෙස පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනකු පෙරේදා (29 දා) අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාච්චාදූව අතුරුවැල්ල සහ අනුරාධපුර ගල්කුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ත් 34ත්, අතර වියේ පසුවන පුද්ගලයන් සිව්දෙනෙකි.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ නාච්චදුව අතුරුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ටිකිරි බණ්ඩාගේ විජේකෝන් බණ්ඩාර නමැති හැටඅට හැවිරිදි පුද්ගලයෙකි. නාච්චාදූව අතුරුවැල්ල ප්‍රදේශයේදී ඉකුත් විසිහත් වැනිදා පිරිසක් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පානය කරමින් සිට ඇති බවත් එම සාදය සඳහා අටදෙනකු පමණ සහභාගි වී ඇති බවත් පසුව ඉතිරිව ඇත්තේ මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයකු පමණක් බවත් පොලිසිය කියයි.තමන් සමග සිටි මිත්‍රයා සිහිසුන්ව ඇති බව පවසමින් සාදයේ සිටි අවසන් පුද්ගලයා මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක ආධාරයෙන් මියගිය පුද්ගලයා නාච්චාදූව රෝහලට රැගෙන ගොස් තිබූ අතර එම අවස්ථාවේ ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශ ප්‍රකාශකයක් පැවසීය.

අනතුරුව නාච්චාදුව රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරියා විසින් දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට හදිසි මරණ පරීක්ෂක වරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

ඒ අනුව එම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයට ගිය අනුරාධපුර නාගරික සහ හිදෝගම හදිසි මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් එම සාදයට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් කැඳවා, සාක්ෂි සටහන් කර ගැනීමේදී, කසිප්පු පැකට්ටුවක් වෙනුවෙන් බහින් බස් වීමක් ඇතිවී, පහර දීමක් සිදුව ඇති බවට අනාවරණය වීමෙන් පසුව, පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. හිසට පහර දීමෙන් මොළයට රුධිරය වහනය වීම සහ මොට ආයුධයකින් පහරදීම හේතුවෙන් බෙල්ලේ ඉහළ කොටසට හානි සිදුවී මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම මරණය ආරංචි වීමත් සමග මියගිය අයගේ බිරිඳ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.හදිසි රෝගී තත්ත්වයකින් සිහිසුන් වූ බව පවසමින් මියගිය අයට පහර දුන් පුද්ගලයා විසින්ම ඔහු රෝහල් ගත කර ඇත. මියගිය අය රැගෙන යෑම සඳහා යතුරුපැදියක් නවතා ආධාර ඉල්ලූ අවස්ථාවේදී එම යතුරුපැදියේ ගමන් කර ඇත්තේ මියගිය අයගේ ඥාති පුතකු බව ද සාක්ෂි සටහන් කර ගැනීමේදී අනාවරණය විය.

එම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් විකුණන පුද්ගලයකු හෝටලයක තේ පානය කරමින් සිටින අවස්ථාවක දී, අසල්වැසි පුද්ගලයකු පැමිණ, ‘නීති විරෝධී මත්පැන් (කසිප්පු) විෂ වීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පැවසීමත් සමග එම නීති විරෝධී මත්පැන් වෙළෙඳාමේ නිරත පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගිය බව ද ප්‍රදේශවාසීහු පවසති.
මිහින්තලේ රංග චතූ


advertistmentadvertistment