අතිඋතුම් ෆැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් පසුගිය අප්‍රේල් 21 වනදා ස්වර්ගස්ථවීමෙන් පසු ශුද්ධාසන නොහොත් කතෝලික සභාවේ පේදුරු තුමාගේ සිට පැවත එන පාප් ධුරයේ අසුන හිස්වී ඇත. මීළඟට පත්වන්නට යෝජිතව ඇත්තේ ලොව බිලියන 1.4 ක් පමණ වන කතෝලිකයන්ගේ දෘශ්‍යමාන නායකයා වන 267 වන පාප්තුමන්ය. එසේම එලෙස පත්වන පාප්තුමා වතිකාන රජයේ රාජ්‍ය නායකයා ද වෙයි. මෙම නව පාප්තුමෙකු තෝරාපත් කර ගැනීමේ පාප් නිලවරණය මැයි අද 7 වැනි දා ආරම්භ වීමට නියමිතය.
ඒ සඳහා ලොව පුරා විසිරී සිටින වයස අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන් මේ වන විටත් වතිකානයට රැස්වෙමින් සිටී.
ෆැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථ වන විට ලොව රටවල් 94 ක කාදිනල්වරුන් 252 ක ගෙන් කාදිනල් සංසදය සමන්විත විය. නමුත් මෙවර පාප් නිලවරණයට සුදුසුකම් ලබන්නේ ඒ අතරින් රටවල් 71 ක් නියෝජනය කරමින් කාදිනල්වරුන් 135 දෙනෙකු පමණි. ඒ අතරින් කාදිනල්වරුන් 108 දෙනෙකුම කාදිනල් ධුරයට පත්ව ඇත්තේ ස්වර්ගස්ථ වූ ෆැන්සිස් පාප්තුමන් අතින් වීම විශේෂත්වයකි.
සාමාන්‍යයෙන් පාප්තුමෙකු ස්වර්ගස්ථ වී දින 15 ක වැනි කාලයක් තුළ නව පාප්තුමෙකු තෝරා පත් කර ගනු ලබන අතර අත්‍යවශ්‍යම හේතූන් මත එය දින 20 ක් දක්වා කල්දැමිය හැකිය. කෙසේ නමුත් මෙවර 267 වන පාප්තුමා තෝරාපත් කර ගැනීමේ පාප් නිලවරණයට මැයි7දිනය යොදාගෙන හමාරය. එදින ලොව සියලුම රටවල් නියෝජනය කරමින් පැමිණෙන කාදිනල්වරුන්ගේ සහභාගීත්වයෙන් සාන්ත පීතර බැසිලිකාවේ දිව්‍ය පූජාවක් පැවැත්වීමට නියමිතය. දිව්‍ය පූජාවෙන් අනතුරුව කෙටි පෙරහැරකින් සිස්ටයින් දෙව්මැඳුර දක්වා ගමන් කරනු ලබයි. වයස අවුරුදු 80 ට අඩු සියලුම කාදිනල්වරුන් සිස්ටයින් දෙව්මැඳුරට ඇතුළු වූ පසු සිස්ටයින් දෙව්මැඳුරට වෙනත් කිසිවෙකුට ඇතුළුවීමට නොහැකි වන පරිදි එහි දොරවල් අඟුළු දමනු ලැබේ.
පාප්තුමා තේරීමේ මූලික කටයුතු අද මැයි මස 7 වන දින සවස ආරම්භ කරනු ලබන අතර 2 වන ජුවාම් පාවුළු පාප්තුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති 1996 ව්‍යවස්ථාවට අනුව තේරීම් කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සියලුම කාදිනල්තුමන්ලා දිවුරුම් දෙති. මෙම පාප් නිලවරණය පැවැත්වෙන කාලසීමාව තුළ කාදිනල්තුමන්ලාට පුවත්පත්, සඟරා, රූපවාහිනී, දුරකථන ආදී බාහිර සමාජය සමඟ සිදු කරනු ලබන සෑම ගනුදෙනුවක්ම තහනම් වේ. දිවුරුම් දීමෙන් පසු පාප්තුමෙකු තේරීම අරමුණු කරගත් කෙටි දේශනයක් පවත්වනු ලැබේ. පාප්තුමෙකු තේරීමේ නියම පිළිවෙත කාදිනල් මණ්ඩලයේ ප්‍රධානියා විසින් ආරම්භ කෙරේ. එහිදී තේරීම් කටයුතු ආරම්භ කළ හැකි ද, තවදුරටත් පහදාගත යුතු අනුමාන තිබේ දැයි එතුමා සමස්ත කාදිනල් මණ්ඩලයෙන් විමසනු ලබන අතර තවදුරටත් අනුමාන නොමැති නම් තේරීම් කටයුතු ආරම්භ වේ. පළමු දිනයේ සවස එක් ඡන්ද වටයක් ද, පසු දිනවල උදයේ ඡන්ද වට දෙකක් සහ සවස ඡන්ද වට දෙකක් ද ආදී වශයෙන් පැවැත්වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී සෑම කාදිනල් තුමෙක්ම තමා පාප් ධුරයට සුදුසු යැයි යෝජනා කරනු ලබන කාදිනල්තුමාගේ නම තමාට ලැබෙන පත්‍රිකාවේ සටහන් කරනු ලබන අතර එය සිස්ටයින් දෙව්මැඳුරේ ඇති විශාල බඳුනෙහි බාහලනු ලබයි. සියලුම කාදිනල්තුමන්ලා ඡන්දය භාවිත කිරීමෙන් පසුව ඡන්ද පත්‍රිකා ගණන සහ ඡන්දය භාවිත කළ කාදිනල්වරුන් ගණන සමාන වන්නේ දැයි විමසා බලයි. අසමානතාවයක් වෙතොත් ඡන්දය ගණන් නොකරම පුළුස්සා දමනු ලැබේ. සමාන නම් ගණන් කිරීම අරඹනු ලැබේ. ගණන් කරනු ලබන සෑම ඡන්ද පත්‍රිකාවක්ම නූලකට අමුණනු ලැබේ. මෙසේ කාදිනල්වරුන් අතරින් කිසිම කාදිනල්තුමෙකු තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට අසමත් වුවහොත් තුනෙන් දෙකක ඡන්දයක් එක් කාදිනල්තුමෙකු ලබා ගන්නා තෙක්ම ඡන්ද වට පවත්වනු ලැබේ. 1996 ව්‍යවස්ථාවට අනුව දින තුනකින් පාප්තුමා තෝරා ගත නොහැකි වුවහොත් ඊට පසු දිනය නිදහස් දිනයක් ලෙස වෙන් කරනු ලැබේ. මේ අනුව තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා කාදිනල්තුමා පාප් ධුරයට පත් වේ.
එසේම පාප් ධුරයට කිසිම කාදිනල්වරයෙකු තේරීපත් නොවූ බවට ඡන්ද පත්‍රිකා පුළුස්සා දමනින් සිස්ටයින් දෙව්මැඳුරේ දුම් කවුළුවෙන් පිට කරනු ලබන කළු දුමාරයෙන් මුළු ලොවටම සන්නිවේදනය කරයි. මෙසේ ඡන්ද වට පවත්වා තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් යම් කාදිනල්තුමෙකු ලබා ගත් පසු එම ධුරය භාර ගන්නේ ද යන්න එතුමාගෙන් විමසනු ලබන අතර පිළිගැනීම ප්‍රකාශ කිරීමත් සමඟ එතුමා නව පාප්තුමා වේ. යම් කාදිනල්තුමෙකු පාප් ධුරය පිළිගත් මොහොතේ වචන ස්වල්පයක් කීම සාමාන්‍ය සිරිතය. ඒ සමඟ නව පාප්තුමෙකු පත් කර ගත් බව ලොවට සංඥා කරමින් සිස්ටයින් දෙව්මැඳුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වන අතර සියලුම සීනු නාද කරමින් ඒ බව පිටත සිට බලා සිටින ජනතාවට ප්‍රකාශ කරයි.
නව පාප්තුමා පත් වූ විගස රෝම ගමෙරෙල්ලි වෙළඳ සැලෙන් පැමිණෙන ඇඳුම් මසන්නෙක් විසින් අවශ්‍ය ඇඳුම් සූදානම් කෙරේ. අනතුරුව සාන්ත පීතර බැසිලිකාවේ සඳළුතලයට පැමිණෙන කාදිනල් සංසදයේ ජ්‍යෙෂ්ඨතම කාදිනල්තුමෙකු පාප් නිලවරණයේ ප්‍රතිඵල ජනතාවට ප්‍රකාශ කරමින් අපට නව පාප්තුමෙකු ලැබී ඇති බව ලතින් භාෂාවෙන් ප්‍රකාශ කරයි. ඒ සමඟ පත් වූ නව පාප්තුමාගේ නම ජනතාවට ප්‍රකාශ කරයි. ඉන්පසු සද`ළුතලයට පැමිණෙන පාප් ධුරයේ කාර්යභාරයට බැඳුන නව පාප්තුමා නගරයට සහ ලෝකයට තම ආශිර්වාදය දානය කරනු ලබයි. එම අවස්ථාවට සහභාගීවීමට ලොව නන්දෙසින් පැමිණෙන සැදැහැවත් ජනතාව සාන්ත පීතර චතුරස්‍රයට එක්ව ඇඟිලි ගනිමින් බලා සිටී.
ඇත්තෙන්ම ශුද්ධාසනයට අභිනවයෙන් පත්වන පාප්තුමා කවුරුන්දැයි අනාවැකි පළ කිරීම සිදු කළ නොහැකි කාර්යයකි. මන්ද ලෝක දේශපාලනයේ සේ ප්‍රචාරණ ව්‍යාපරයක් හෝ වෙනත් යමක් පාප් නිලවරණය තුළ දී නොමැති බැවිනි. ඇත්තෙන්ම කිතුණු විශ්වාසය අනුව එය දේව බලය තුළ සිදුවන්නකි. එසේ දේව අභිමතය තුළ මීළඟට පත්වන්නට නියමිතව ඇත්තේ කතෝලික සභාවේ 267 වන පාප්තුමන් වේ.
ජේසුස් වහන්සේගෙන් පසු ශු. පේදුරුතුමාගේ සිට මීට පෙර පාප්තුමන්ලා 266 දෙනකු විසින් කතෝලික සභාව පාලනය කර ඇත.
එච්. ඒ. රශ්මික උදාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.