ඇම්බියුලන්ස්වලට ඉඩ නොදී පිරිස් ඡායාරූප හා සෙල්ෆි ගැසූ නිසා රෝගීන් රෝහල් ගත කරන්න පමා වුණා
වෛද්‍ය පාලිත රාජපක්ෂ
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් 15 දා පෙ.ව. 10.30 ට පමණ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ට නුදුරු ස්ථානයකදී පෙරළී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර සෙසු තුවාලකරුවන් බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර සිටිති.
බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි නව දෙනෙක් රෝහලට ඇතුළත් කර සිටින අතර තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බවයි.
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේද පවසා සිටිමට අමතක නොකළේ තුවාල කරුවන් බේරා ගැනීමට සිදුවූ බාධාව ගැන කණගාටු වෙමිනි.
මේ රට නම් පුදුම රටක්. අපි තුවාලකරුවන් රැගෙන එන්න ඇම්බියුලන්ස් එකත් සමග සිද්ධිය වූ ස්ථානයට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග වහාම
ගියා. මිනිස්සු ත්‍රිරෝද රථ යතුරු පැදි පාරේ නතර කර ගෙන ඡායාරූප ගන්නවා. සෙල්ෆි ගහනවා. ඇම්බියුලන්ස් එක කොච්චර නාද කළත් ඉඩ දෙන්න උවමනාවක් නැහැ. අපට උවමනා කළේ තුවාලකරුවන් හැකි ඉක්මනට රෝහලට රැගෙන යන්න සහ ප්‍රථමාධාර දෙන්නයි.
අපරික්ෂාකාරි ලෙස වේගයෙන් බසය පැදවීම මෙම අනතුරට හේතුව බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඇල්ල පොලීසිය පවසා සිටියි.
බස් රථය පැද වූ රියැදුරු මේ වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් ඇල්ල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් දිවයින ට පැවැසීය. බස් රථ රියැදුරු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද හෙතෙම කීය.
බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර