අනධ්‍යයන සේවක ප්‍රශ්නයට ආණ්ඩුව වහා මැදිහත් වී විශ්වවිද්‍යාල සක්‍රීය කළ යුතුයි

67

සමගි බුද්ධි මණ්ඩපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙති

වහාම අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදී විශ්වවිද්‍යාල පද්ධතිය සක්‍රීය කිරීම ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු පැවැසූහ.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්වරු, අනධ්‍යයන සේවක කාර්යය මණ්ඩලය සමඟ සුහදව කටයුතු සිදුකරන බවත් විශ්වවිද්‍යාල ආචාර්වරු සහ අනධ්‍යයන සේවක කාර්ය මණ්ඩලය අතර ව්‍යාකූලභාවයක් ඇති කරන්න වර්තමාන රජය කටයුතු කරන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහන් කළහ.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (08දා) පැවැති සමගි බුද්ධි මණ්ඩපයේ මාධ්‍ය හමුවේදී විශ්වවිද්‍යාල ආචාර්වරු මේ බව පැවැසූ අතර එම මාධ්‍ය සාකච්ඡාවට ආචාර්ය මහිම් මෙන්ඩිස්, මහාචාර්ය උපුල් දිසානායක, මහාචාර්ය අනුර කුමාර, ආචාර්ය අජිත් සෙනෙවිරත්න, ආචාර්ය සමරකෝන් සහ මහාචාර්ය ගාමිණී රත්න ශ්‍රී යන මහත්වරු සහභාගි වූහ.

සමගි බුද්ධි මණ්ඩපයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා,

විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය සහ අනෙකුත් ක්ෂේත්‍රවල තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට රජය අපොහොසත් වෙලා තිබෙනවා. රටේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය සම්බන්ධව පරප්පර විරෝධි ප්‍රකාශ නිකුත් නොකර හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට රජය වහාම කටයුතු කළ යුතුයි. මාස දෙකකට වැඩි කාලයක් ගතවී තිබියදීත් තවම අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු‍ව විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වී තිබෙන මොහොතක රටේ අනෙකුත් ප්‍රශ්න විසඳීමට හැකියාවක් වර්තමාන රජයට තිබෙනවාද කියල ප්‍රශ්නය මතුවෙනවා. අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු‍ව විසඳුමක් ලබාදීමට නොහැකි වී තිබෙන්නේ ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරුද්ධ නිසා බව රජය රට තුළ මතයක් නිර්මාණය කරන්න උත්සහ කරනවා. අනධ්‍යයන සේවකයන් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්ව විද්‍යාල තුළදී කටයුතු කරන්නේ ඉතා සමීපව. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ව්‍යාකූල පරිසරයක් ඇති කරන්න රජයට උත්සහ නොකරන්නැයි රජයේ ඉල්ලා සිටිනවා. ශිලාචාර රජයක් එවැනි කටයුතු සිදුකරන්නේ නෑ. අනධ්‍යයන සේවකයන්ට රජය ලබාදී තිබෙන පොරොන්දු අනුව ඔවුන්ගේ ගැටලු‍ ඉතාම ඉක්මනින් විසඳිය යුතුයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා,

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයට මේ වනවිට දින 70 ක් පමණ වනවා. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගැටලු‍ව විසඳන බව ඇමැතිවරු පොරොන්දු ලබාදී තිබෙනවා. මේ සඳහා මිලියන 400 ක් වෙන් කර තිබෙන බව සුරේන් රාඝවන් ඇමැතිවරයා පවසා තිබෙනවා. අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නයට අමාත්‍යාංශය සතුව මුදල් තිබෙන බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පවසා තිබෙනවා. නමුත් මේ සඳහා අවශ්‍ය වන මුදල් නැති බව මහ බැංකුව පවසනවා. අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය විසඳන්න ඇමැතිවරු දෙදෙනාම කැමැති වෙලා තිබෙනවා. ඒ සඳහා ඔවුන් පොරොන්දු වෙලා තිබෙනවා. ඇමැතිවරු දෙදෙනා තමයි මේ වර්ජනය පවත්වාගෙන යන්නේ. ඇමැතිවරු දෙදෙනා ලබාදෙන පොරොන්දු මත වර්ජනය අත්හරින්නත් අනධ්‍යයන සේවකයන්ට නොහැකි වෙලා තිබෙනවා. මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලවලට අලු‍තින් ළමුන් ඇතුළත් කරගන්න ක්‍රමයක් නෑ , විශ්වවිද්‍යාල තුළ සිටින ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට හැකියාවක් නෑ. මෙය ආණ්ඩුවේ ක්‍රමන්ත්‍රණයක් විදිහට තමයි අපි දකින්නේ. වර්ජනයේ නිරත පිරිසගේ රැකියා නැති කරන බව පවසමින් ඔවුන් බිය ගන්වන්න ආණ්ඩුව උත්සහ කරනවා. ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීම. ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙලගස්වන ආයතනයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය පත්වෙයි කියන බය ආණ්ඩුවට දැන් දැනිලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් මාසය දක්වා අනධ්‍යයන සේවක වර්ජනය ඇදගන්න ආණ්ඩුව උත්සහ කරන බවට තොරුතුරු වාර්තා වෙලා තිබෙනවා.

සමගි බුද්ධි මණ්ඩපයේ සභාපතිවරයෙක් වන මහචාර්ය ගාමිණි රත්නශ්‍රී මහතා,

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්වරු අනධ්‍යයන සේවක කාර්යය මණ්ඩලය සමඟ කටයුතු සිදුකරනවා. විශ්වවිද්‍යාල ආචාර්වරු සහ අනධ්‍යයන සේවක කාර්යය මණ්ඩලය බේද කරලා ව්‍යාකූලභාවයක් ඇති කරන්න වර්තමාන රජය කටයුතු සිදුකරනවා. ඒ වගේම ගුරුවරුන්ගේ ප්‍රශ්නයත් දිග් ගස්සන තැනට ආණ්ඩුව වැඩ කටයුතු සිදුකරනවා. දරුවන් සහ ගුරුවරුන් අතර ඝට්ඨනයක් ඇති කිරිමේ අයුරින් රජය කටයුතු සිදුකරනවා. එය ඛේදනීය තත්ත්වයක්. දින 70 කට අධික කාලයක් විශ්ව විද්‍යාල වසා දැමීම තුළින් විශාල ධනයක් රජයට ඉතිරි වෙනවා. රටේ අධ්‍යාපනය විනාශ කරනවා කියන්නේ රජයකට තවත් වටිනා දෙයක් ඉතිරි වෙන්නේ නෑ කියන එකයි. ඒ නිසා හිතා මතා විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා ඒ හරහා ධනය ඉතිරි කරගන්න රජය උත්සහ කරනවා. මෙලෙස ඉතිරි කරන ධනයෙන් ආණ්ඩුව ඔවුන්ගේ මඩිය තර කරගන්නවා මිසක වෙන කිසිදු දෙයක් සිදුකරන්නේ නෑ. විශ්වවිද්‍යාල දරුවන් පාරට බැසීම නතර කිරීමට තමයි ආණ්ඩුව මේ වර්ජනය දිග් ගැස්සීමෙන් බලාපොරොත්තු වෙන්නේ. එවැනි මර්දනකාරී වැඩපිළිවෙළක් මගින් තමයි රජය පාලනය ගෙන යන්න උත්සහ කරන්නේ.


advertistmentadvertistment