අනියම් පෙම්වතියගේ පියා පැහැරගෙන වධකාගාරයක හිරකරලා

354

කල්ලිය සොයා පරීක්‍ෂණ

කිලිනොච්චිය ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් දින 25ක් තිස්සේ වධකාගාරයක සිරකරගෙන දරුණු වධහිංසාවන්ට ලක්කළ සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

දින 25ක් තිස්සේ දරුණු වධහිංසාවන්ට ලක්වෙමින් වධකාගාරයේ සිටි පුද්ගලයා පෙරේදා (26දා) සවස ඉන් පලාගොස් කිලිනොච්චිය පොලිසිය වෙත භාරවී තිබේ.

මෙසේ සංවිධානාත්මක පිරිසකගේ වධහිංසාවන්ට ලක්වූ පුද්ගලයා මේ වනවිට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම වධබන්ධනයන්ට ලක්වූ පුද්ගලයාගේ දියණිය මීට සම්බන්ධව සංවිධානාත්මක කල්ලියේ ප්‍රධානියා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.

ඊට විරුද්ධ වී ඇති පියා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට මීට ටික කලකට උඩදී පහර දී ඇති අතර ඔහුගේ ඇසකට ද බරපතළ හානි සිදුවී තිබිණි. ප්‍රධාන සැකකරු තම අනියම් පෙම්වතිය රැගෙන ගොස් ටික කාලයක් ඇය බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇති බවද පොලිසිය පවසයි.

පසුව ඇගේ පියා ඇය නැවත නිවසට රැගෙන ගොස් සඟවා ගෙන සිටීමට කටයුතු කර ඇත.

තම අනියම් පෙම්වතිය රැගෙන යෑම නිසා කෝපයට පත්වූ ප්‍රධාන සැකකරු ඇගේ පියා ඉකුත් 02 වැනිදා පැහැරගෙන ගොස් තිබිණි.

පසුව ඔහු කිලිනොච්චිය රෝහල ආසන්නයේ නිවසක සිර කරගෙන දින 25ක් තිස්සේ අමානුෂික ලෙස පහර දෙමින් විවිධ වධබන්ධනයන්ට ලක්කර ඇත.

මේ අතර පෙරේදා සවස මෙම පුද්ගලයා ඔහු රඳවා සිටි වධකාගාරයෙන් මිදී පලාගොස් පොලිසියට භාරවී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවුදෙනා මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

කිලිනොච්චිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සරත් සමරවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment