අනුරපුරය බේරාගත් හරිශ්චන්ද්‍ර නම් දිව්‍යපුත්‍රයා

1319
“අනුරාධපුර” මෙරට ඉතිහාසය තුළ අමරණීය නගරයකි. සිංහල රාජාවලියෙහි වැඩිම රජවරු පිරිසක් තම අගනගරය ලෙස අනුරාධපුර නගරය තෝරගෙන තිබූ අතර සියවස් දහයක් පමණ එම නගරය මෙරට අගනුවර ලෙස විරාජමාන විය. ඊට අමතරව අනුරාධපුර මහමෙව්නා උයන මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බදු වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය ප්‍රමුඛකොටගත් මහා විහාරය පැවතීම අනුරාධපුර නගරය එතරම් කාලයක් සශ්‍රීකව පැවතීමට හේතුවූ බව නො රහසකි. 1815 මාර්තු 2 වැනිදා එකල සිංහලදීපය ලෙස හැඳින්වූ අප රට බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට ලක්විය. එම පරිපාලනය හමුවේ දෙදහස් වසරකට වැඩි කාලයක් මෙරට රාජ්‍ය ආගම ලෙස පැවති බුදුදහම විනාශකර දැමීමට සර්වසාධාරණ යැයි කියාගත් සුදු ජාතිකයන් ක්‍රියා කළේ ය.

මෙරට ඉතිහාසය තුළ විවිධ අර්බුද හටගත් අවස්ථාවන්හිදී ඒවා සමනය කිරීමට හැකියාව ඇතිව යුග පුරුෂයෝ පහළවූහ. ඉතිහාසය තුළ සමස්ත දේශයම කිසිමක් ජාතියකට හෝ දේශයකට යටත්වූ එකම අවස්ථාව වූ බ්‍රිතාන්‍ය යටත් විජිතකරණ යුගයේ මෙලෙස යුගපුරුෂයන් බහුලව පහළවීම ආශ්චර්යකි. ඒ අතර ඉතා කෙටි ආයුෂයක් භුක්තිවිද අමරණීය සේවයක් සිදුකරන ලද වීරයකු ලෙස බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා හැඳින්වීමට හැකිය. මෙරට කිතුණු ජනයා බහුලව වෙසෙන “පුංචි රෝමය” යන නමින් ද හඳුන්වනු ලබන මීගමුවේ මේ මහා බෞද්ධ නායකත්වය බිහිවීම සුවිශේෂී සිද්ධියකි. ක්‍රිස්තු වර්ෂ 1876 ක් වූ ඇසළ මස 9 වැනිදා මීගමුව “මහ හුණුපිටිය” ග්‍රාමයේ උපන් මෙතුමාගේ මුල් නාමය “වලිසිංහ එඩ්වඩ් ද සිල්වා” ය. එතුමාගේ පියා එම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු වූ “වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා” මහතා වූ අතර මව “පේහන්දි මර්තිනා ද සිල්වා ගුණසේකර” මහත්මියයි. මීගමුව මහ හුණුපිටිය සුගතාරාම පුරාණ විහාරය ඇසුරේ කුඩා කල සිටම බුදුදහම හදාරා ඇති මෙතුමා කොළඹ වෙස්ලි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තම පියාගේ බලාපොරොත්තුව වූ දක්ෂ නීතිඥයකු වීම පිණිස උසස් අධ්‍යාපනය ආරම්භ කළේය. අනගාරික ධර්මපාලතුමන්ගේ ඇසුරට යොමුවූ “එඩ්වඩ් ද සිල්වා ” තරුණයා හට රන්දොඹේ මහාචේතිය පරිවේණාධිපති අතිපූජ්‍ය තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස මහා ස්වාමින් වහන්සේ විසින් “හරිශ්චන්ද්‍ර” නාමය ලබා දී ඇති අතර එඩ්වඩ් තරුණයා එදින පටන් විජාතික නාමය අතහැර “වලිසිංහ හරිශ්චන්ද්‍ර” නමින් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට එක්විය. බටහිර ඇඳුම් අතහැර දමා සුදුවතින් සැරසී බුද්ධශාසනය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන ලදි. එවක ශ්‍රී පාදස්ථානාධිපති ධුරය දැරූ විද්‍යෝදය මහා පිරිවෙන්පති බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හරිශ්චන්ද්‍රතුමන් හට “බ්‍රහ්මචාරී” යන ගෞරව නාමය ලබාදුනි. මෙතුමා විසින් සිදුකරන ලදදේ ශනයක් ඇසීමෙන් පැවිදි වීමට සිත් පහළ වූ මහා ස්වාමින් වහන්සේ නමක් වූ අභිධජමහා රට්ඨගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් හැඳින්වීමට පුළුවන. උන්වහන්සේ හරිශ්චන්ද්‍ර උතුමානන් පිළිබඳ අදහස් ප්‍රකාශකොට ඇත්තේ පහත අයුරිනි. “…මේ තරුණ ධීමතාණෝ මා පියන් නෑදෑ මිතුරන් එය වළක්වනුවට කොතරම් තැත්කළ ද එදා තිබුණ බෞද්ධාගමික ප්‍රබෝධයට රුකුල් දෙනු පිණිස ධර්මපාලතුමානන් සේම තම මුළු ජීවිතය ශාසන දියුණුවට කැපකොට බ්‍රහ්මචාරී වූහ. ගමින් ගම, නුවරින් නුවර යමින් දේශනා පවත්වමින් ජාතික ආගමික උනන්දුව ජනතාව තුළ පිබිදැවූහ. එතුමානන් තුළ තිබුණේ අන් කිසිදු කෙනකු තුළ නොමැති වූ විශිෂ්ට ගැඹුරු කථා විලාශයෙකි. ‘අද හරිශ්චන්ද්‍ර මහත්මයා කථාවකට එනවා’ යි ඇසූ සැතපුම් ගණන් ඈත ගම්වැසියෝ ද මහත් උද්‍යෝගයෙන් එතුමාගේ කථා ඇසීමට ආහ. අසන්නවුන්ගේ වයස් ප්‍රමාණයට ගැළපෙන සෙයින් උදාහරණ උපමා ගෙනහැර දක්වමින් විස්මයජනක වාග් ශක්තිය පළ කරමින් කැරෙන එතුමානන්ගේ හැම කථාවෙක්ම කර්ණරසායනය. එබඳු දක්ෂ කථිකයකු තවම අපි නොදුටුමු.” එම ප්‍රකාශය මගින් ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් මෙරට සමාජය තුළ කීර්තිමත් චරිතයක් බවට පත්ව විසූ බව අවබෝධ කරගත හැකිය. සිංහල සහ ඉංග්‍රීසි යන ද්විභාෂාවම හොඳින් දැන සිටි මෙතුමා විසින් ග්‍රන්ථ 13 ක් පමණ රචනා කොට ඇති අතර ඒවා

(1) සිතියම් සහිත පුරාවිද්‍යාව

(2) සිතියම් සහිත අනුරාධපුර පළාතේ විස්තරය

(3) සිතියම් සහිත අනුරාධපුර චෛත්‍ය විස්තරය

(4) සිතියම් සහිත ලුම්බිනි සහ ජයශ්‍රී මහා බෝමැඩ විස්තරය

(5) සුරාපානය

(6) රුවන්වැලි මහා චෛත්‍ය වර්ණනාව

(7) The Sacred City of Anuradhapura වැනි ඒවා ය.

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් 1897 මුඩුබිම් ආඥා පණත ගෙන එමින් ස්වදේශිකයන්ගේ ඉඩම් මංකොල්ලකමින් ඒවා යුරෝපීය ජාතිකයන් හට ලබාදීමට කටයුතු කරන ලදී. එම අවස්ථාවේදී අනුරාධපුර ශුද්ධ නගරය සහ මිහින්තලා පූජා භූමිය මුදාගැනීමට මෙතුමා කටයුතු කරන ලදී. නොකළ වරදකට සිරගතව සිටීමට ද එතුමාට සිදුවිය. බ්‍රිතාන්‍යන් විසින් බෞද්ධ සිද්ධස්ථාන වෙත සිදුකරන අකටයුතුකම් පිළිබඳ දන්වා සියම් මහරජුට ලිපි යැවීමට කටයුතු කළ හරිශ්චන්ද්‍රතුමන් The Sacred City of Anuradhapura නම් ග්‍රන්ථය සම්පාදනය කොට එහි පිටපතක් එංගලන්තයේ මහරජුට පවා යැවීමට කටයුතු කරන ලදී. 63 වතාවක් මිහින්තලා පූජා භූමිය වෙතද ගොස් ඇති මෙතුමා අනුරාධපුර ශුද්ධ නගරය සහ මිහින්තලා පූජා භූමිය බෞද්ධයන් හට උරුමකර දීමට සමත්වූහ. 1902 දී අතිපූජ්‍ය නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ සමග එක්වී “රුවන්වැලි චෛත්‍ය සංවර්ධන සමාගම” පිහිටුවා මහාසෑය ක්‍රමවත්ව පිළිසකර කිරීම ආරම්භ කරන ලද මෙතුමා “බෞද්ධ ආරක්ෂක සභාව” පිහිටුවා අනුරාධපුර බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකිරීමට එහි ලේකම් ධුරය ද දැරීය. අනුරාධපුර ශුද්ධ නගරය පිළිබඳ මෙතුමා විසින් කරන ලද දේශනයක් ‘ඕඩියන්’ ලේබලය යටතේ නිකුත් වූ ග්‍රැමෆෝන් තැටියකින් මෙසේ උපුටා ගත්තෙමු.

අනුරපුරය බේරාගත් හරිශ්චන්ද්‍ර නම් දිව්‍යපුත්‍රයා
අද කෞතුකාගාරයක් වී ඇති මීගමුව මහහුණුපිටියේ පිහිටි හරිශ්චන්ද්‍ර තුමා විසූ නිවෙස

“අනුරාධපුර ශුද්ධ නගරය ගැන මා විසින් කරන්නට යෙදෙන කථාව හොඳින් ශ්‍රවණය කළ යුතුයි. ලෝකයේ සෑම තැනම ප්‍රකටව පවතින්නා වූ “ අනුරාධපුර” යන නමින් නගර දෙකක් පුරාණ කාලයේ පැවතුණ බව දත යුතුයි. එක නගරයක් නම් අවුරුදු 2300 කට ප්‍රථම “පණ්ඩුකාභය” නම් සිංහල මහ රජතුමා විසින් පිහිටුවන ලද අනුරාධපුර රාජධානියයි. අනිත් නගරය නම් අවුරුදු 2215 කට පෙර දඔදිවින් වැඩියා වූ මහා මහින්ද ස්ථවිරපාදයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලාට දෙවනිපෑතිස්ස රජතුමා විසින් පූජා කරන ලද මහමෙව්නා උයන බව සැලකිය යුතුයි. ඒ මහමෙව්නා උයන නමින් පැවතුණා වූ භූමිය මහා සංඝයා වහන්සේලාට අත්වුණාට පසු එහි ලංකාවාසී සිංහල බෞද්ධාගම්කාර ශ්‍රද්ධාවන්තයන් විසින් ගොඩනගන ලද ථූපාරාම දාගැබ් වහන්සේ, මිරිසවැටි දාගැබ් වහන්සේ, රුවන්වැලි මහා දාගැබ් වහන්සේ, අභයගිරි දාගැබ් වහන්සේ, ජේතවනාරාම දාගැබ්වහන්සේ, ලංකාරාම දාගැබ්වහන්සේ යන වන්දනීය වස්තු අදත් පවතී. එපමණක් නොව අවුරුදු 2215 කට පෙර දඔදිව මහ බෝමැඩ මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ලංකාවට වැඩමවා මෙම උතුම් භූමියෙහි පිහිටුවන්ට යෙදුනාක් මෙන් ඒ දක්ඛිණ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අද අනුරාධපුර ශුද්ධ භූමියෙහි පවතින බව සැලකිය යුතුයි. ඒ අතිඋතුම් වන්දනීය වස්තු පිහිටා තිබෙන භූමියේ එක පැත්තක පිහිටා තිබෙන ඉසුරුමුනි ගල් විහාරය ලංකාවෙහි පළමුවෙනි වරට ඇති වුණා වූ ගල් විහාරයයි. එබදු වූ ද වෙනත් නා නා විධ ගල් කර්මාන්ත ඇත්තා වූ ස්ථානවලින් ද පිරී තිබෙන්නා වූ අනුරාධපුර ශුද්ධ නගරය ගැන කල්පනා කරන විට සිංහල බෞද්ධාගම්කාර සමූහයා අවුරුදු 2215 ක් මුළුල්ලෙහි ශ්‍රී සම්බුද්ධ ශාසනය හේතු කොට ගෙන වින්දා වූ සැප, ඇතිකර ගත්තා වූ දියුණුවේ ප්‍රමාණය යනාදිය හොඳින් ඒ උතුම් භූමියට පැමිණ ඒ ස්ථාන බලා පරීක්ෂා කරන භවතුන්ට හිත්වලට ගන්ට පුළුවන්ව තිබේ. එම නිසා සිංහල බුද්ධාගම්කාර සෑම දෙනාම ඒ උතුම් වූ අනුරාධපුර ශුද්ධ නගරයට අවුරුදු පතා ගොස් එහි කටයුතුව තිබෙන්නා වූ උතුම් වැඩ කරමින් ඒ ශුද්ධ නගරය දීර්ඝ කලක් ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ සැප පිණිස පවත්වන්ට දැඩි උත්සාහ වැඩිය යුතුයි. ලක්දිව බුද්ධ ශාසනයාගේ මාතෘභූමිය මෙන් අනුරාධපුර ශුද්ධ නගරය සෑම අතින්ම සිංහල බෞද්ධාගම්කාරයින් විසින් ආරක්ෂා කටයුත්තේ ය. අද ඒ සිද්ධස්ථාන මධ්‍යයෙහි හරක් මස් කඩයක්, තැබෑරුමක්, විස්කි සාප්පුවක්, බ්‍රැන්ඩි සාප්පුවක්, ගංජා විකුණන ස්ථානයක්, අන්‍යාගම්කාරයන්ගේ ස්ථානත් ඇතිවීම හේතු කොටගෙන බෞද්ධ මහජනයා අතර පවත්නා වූ කනගාටුව බලවති.”

සිව් වතාවක් දඔදිව බුද්ධ භූමිය වන්දනාව පිණිස ගොස් ඇති හරිශ්චන්ද්‍රතුමන් සිංහල රාජ යුගයෙන් පසු එසේ වන්දනාව පිණිස ගිය හයවැනි සිංහල බෞද්ධයා ලෙස පිළිගැනේ. දේශන පැවැත්වීමේදී ‘මැජික් ලැන්ටන්’ ලෙස හැඳින්වූ වර්තමානයේ ප්‍රොජෙක්ටරය වැනි එවක පැවති තාක්ෂණික මෙවලම යොදා ගැනීම මගින් ශ්‍රාවකයන් හට ඒ එක් එක් ස්ථාන පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට මෙතුමා සමත්වූහ. 1913 සැ ප්තැම්බර් 13 වැනිදා ඉතා තරුණ වයසේ පසුවූ නමුත් සියවසක් ගතවූවත් තනි මිනිසෙකු හට සිදුකිරීමට තබා සිතීමටවත් නොහැකි තරම් සේවයක් කළ මෙතුමා කළුරිය කරනා විට වයස වසර 36 ක් පමණි. එතුමාගේ අභාවය පිළිබඳ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් කරන ලද ප්‍රකාශය මෙසේ දැක්වේ . “ඊයේ සිංගප්පූරුවට පැමිණියෙමි. ප්‍රිය හරිශ්චන්ද්‍රගේ මරණය ගැන ඇසූ මම අතිශයින් ශෝකයට පැමිණියෙමි. අහෝ, මේ මරණය නිසා ලෝක ශාසනයට වූ අලාභහානිය සම්පූර්ණ කර ගැනීම මේ කාලේ උගහටය. බාහිර වස්තූන්ගෙන් දුකක් නොමැතිව සකල ලෝකයාගෙන් ප්‍රේමය ද ගෞරවය ද ලබමින් එසේම ලංකා බුද්ධ ශාසනයට ද සිංහල ජාතියටද වැඩ සාදා දෙමින් සිටි හරිශ්චන්ද්‍රව මරුවා විසින් කිසි කරුණාවක් නොපෙන්වා මෙලොවින් ගෙන යන ලදී. වර්ෂ 1898 සිට සම්බුද්ධ ශාසනයට හරිශ්චන්ද්‍ර විසින් කළ වැඩ ලක්ෂයක් මනුෂ්‍යයන්ගෙන් වත් නො කළ හැකියි. රාජගිරි ආරාමය විවෘත කිරීමෙන් ලැබුණු ඵලය හරිශ්චන්ද්‍ර නැතිවීමෙන් නැති විය. ලංකා ශාසනයට මේ මරණයෙන් ඇති වූ පාඩුව සම්පූර්ණ කර ගැනීම වර්ෂ 40 කින් මෙහා නොහැකියි. ජගත්සේන කුමාරයා එන කාලයට හරිශ්චන්ද්‍ර පැමිණේ යයි ප්‍රාර්ථනා කරමු… ජපන්, චීනාදී රටවල සම්බුද්ධ ධර්මය දේශනා කරමින් සංචාරණය කොට ගිය මස 29 වැනි දින සිංගප්පූරුවට සම්ප්‍රාප්ත වූයෙමි. ඉතා සතුටින් නැවෙන් ගොඩබැස්ස නමුත් මා සම්බවීමට නැවට ගිය සිංහල සොහොයුරන්ගෙන් අපට වූ බලවත් විපත දැන ගතිමි. හරිශ්චන්ද්‍ර වයස 36 දී මරණයට පත්වේ යයි කිසි කෙණෙක් සිතුවා ද? අහෝ , ලංකා ශාසනය දියුණුවේ ගෙන යන මේ කාලයේ පරාර්ථය සලකා ක්‍රියා කරන ඤාණ ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයා ගැනීම දුර්ලභයි. සිංහල බෞද්ධ ජනයා කෙරෙහි කරුණා සිත් ඇති ජනහිතකාමී හරිශ්චන්ද්‍රගේ වැඩ නිසා සිංහල ජනතාව දියුණුවේ ය යන බයක් මාරයා ට ඇතිවුණා ද? පාදිලි රාළලාට පරසුද්දන්ට බණිනවා යයි චෝදනා විදිනු ලබන මට මේ මරණය පැමිණ හරිශ්චන්ද්‍රට දීර්ඝා යුෂ ලැබුණා නම් මට සතුටුයි. ලංකාවට ඕනෑ කරන හරිශ්චන්ද්‍ර නැති වුණේ සිංහල බෞද්ධයින්ගේ පුණ්‍ය බලය හීන නිසයි… මේ මස 22 වැනි දින ලංකාවට පැමිණි කල වැඩ රාශියක් කරන්නට හිතා හිටියා. මගේ අදහස්වලට සතුටු එකම හිතැති පුද්ගලයා හරිශ්චන්ද්‍රයි. ඔහුගේ නැතිවී යෑම ලෝකයාට දුකයි” මෙසේ මෙරට ඉතිහාසයේ අමරණීය අගනුවර වූ අනුරාධපුර ශුද්ධ නගරය සහ සිංහල බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය වූ මිහින්තලා පූජා භූමියත් බෞද්ධයන් හට උරුමකර දී තම සමස්ත ජීවිතය ලෝක ශාසනික සේවය පිණිස කැපකරන ලද ලංකා මාතාව බිහිකළ ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා හට සමස්ත ජාතියම ණයගැතිය. අද සංචාරක ව්‍යාපාරය මගින් මෙරට උපයනා ආදායම ලැබීමට එතුමන් විසින් එම ශුද්ධ භූමි බේරා ගැනීමට ගත් උත්සාහය හේතුවූ බව අවිවාදිතය. හරිශ්චන්ද්‍රතුමන් මෙරට පහළ වූ දිව්‍ය පුත්‍රයෙකි. නැත, මහා බෝධිසත්වයෙකි. එතුමන් හට උතුම් වූ සම්මා සම්බුද්ධත්වය පිණිස සියලු සිංහල බෞද්ධ මහජනයා විසින් සිදුකරන කුසල් අනුමෝදන් කොට ඒ මහා යුගපුරුෂයා හට අපගේ කෘතවේදීත්වය පළකිරීම අපගේ යුතුකමකි.

හේමක මවින්ද්‍ය විජයතිලක


advertistmentadvertistment