බරපතල තුවාල ලැබූ තරුණිය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ
පෙම්වතා අත්අඩංගුවට
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිට දී ඊයේ (30 දා) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදු කළ පුද්ගලයකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි, එප්පාවල පහළ සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ, එප්පාවල කටියාව ප්‍රදේශය පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියකි.
මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලිසියට භාර දී ඇත. පිහි ඇනුමට ලක්ව බරපතළ තුවාල ලැබූ තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. සැකකරු සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇත. දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පිහි ඇනුම සිදු කරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි. එම දෙදෙනා ඊයේ (30දා) දහවල් හෝටලයක් වෙත යාම සඳහා සූදානම් වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් ඇය පිටුපසින් ලුහුබැඳ පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි.
තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව, ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී, උල් පිහියක් සහ වස බෝතලයක් සොයාගත් බවත් සැකකරු විසින් තම පෙම්වතිය ඝාතනය කර, එම සැකකරුද වස පානය කර සිය දිවි නසා ගන්නට සැලසුම් කර තිබූ බවට සැක කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර
මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන මෙහෙයවති.
මිහින්තලේ රංග චතූ පර්සි කුරුනේරු