“සරල, සුගම, ගැඹුරු අපේම කතන්දරය අපි එකතු වී කියවාගෙන ඊළඟ පරපුරට සශ්‍රීක මහ පොළොවක් නිර්මාණය කර අත්පත් කර දෙමු.”

පුද්ගලයා සමාජයට අනුගත වෙමින් සමාජීය ජීවියකු ලෙස වර්ධනය වන්නට පටන් ගන්නේ සමාජය තුළ කුඩාම ඒකකය වූ පවුල් සංස්ථාව තුළින්ය. එහිදී පුද්ගලයාට බලපාන්නා වූ අත්දැකීම් තුළින් පෞරුෂවත් වූ පුද්ගලයෙකු අනාගතයට බිහිවීම ආරම්භ වීම සිදුවේ. එනම් ජාන තුළින් ගෙන එන විභවයත්, පරිසරයෙන් ලැබෙන්නා වූ අත්දැකීම් සමූහයත් මුසුවීමෙන් ඉතා ශක්තිමත් මෙන්ම ගුණාත්මකභාවයෙන් ඉහළ දැනුමක් සහිත පෞරුෂයක් දරුවන්ට නිතැනින්ම උරුම වේ. ස්වාධීන අත්දැකීම් ලබමින් ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය වර්ධනය කර ගනිමින් බොහෝ දේ අත්පත් කර ගැනීමට පවුල තුළින් පුද්ගලයාට ලැබෙන පන්නරය මනා පෞරුෂයක් ගොඩනංවන්නට මූලික අඩිතාලම දමනු ලබයි. එමෙන්ම පුද්ගලයා ළමා කාලයේ ලබන අත්දැකීම් ඔහු තරුණයෙකු බවට පත් වූ පසු ඔහුගේ ක්‍රියාකලාපයට නිතැනින්ම බලපෑම් එල්ල කරනු ලබයි.

වර්තමානය දෙස බලන විට මනා පෞරුෂත්වයකින් යුතුව තමා පිළිබඳ වූ විශ්වාසයකින් වැඩ කටයුතු මෙහෙයවන පුද්ගලයන් කුඩා කාලයේ ස්වාධීන තීරණ ගනිමින් ගුණාත්මකභාවයෙන් ඉහළ සමාජීය වටපිටාවක් තුළ’ මෙහෙයවූවන්ය. එවන් පුද්ගලයෙකු ආපදාවකදී, හැර යන්නට නොව ඉන් මිදී යළි නැගී සිටින්නට අවශ්‍ය ශක්තිය කුමක්ද සහ එය කෙසේ සිදු කරන්නේද යන්න පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කරන ආකාරය දැකගත හැකිය.

පුද්ගලයෙක් තමා පිළිබඳ මනා වූ ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්නේ නම් අපිට බොහෝ දේ අත්පත් කර ගැනීමට හැකියාව නිතැනින්ම උරුම වේ.

අනූෂා ගෝකුලගේ එක්කෝමත් එක කාලෙක ග්‍රන්ථය එවන් සමාජ පර්යේෂණයන්ගෙන් සනාථ කරගත් කරුණු ඇසුරෙන් සම්පාදනය වූවක් ලෙස හඳුනාගත හැකිය. ඇය සිය ළමා කාලයේදී ලද අත්දැකීම් ද මේ සඳහා පාදක කරගෙන ඇත්තේ නිරායාසයෙනි. ඇය එදා ලද පන්නරයන්ගෙන් අද සමාජයට කරනා කාර්යභාරය අති විශිෂ්ට වී ඇත්තේ ඇයට එදා හමුවූ ගුණාත්මකභාවයෙන් යුතු අත්දැකීම් වල පිහිටෙන්ය.

වර්තමාන සමාජය දෙස බලන විට දුර්වල පෞරුෂ ලක්ෂණ සහිත දරුවන් සුලභ වී ඇත්තේ ළමා කාලය තුළ ඔවුන්ට ආත්ම විශ්වාසයෙන් යුතු අත්දැකීම් ප්‍රමාණවත් තරම් නොලැබීම හේතු කරගෙන ද යන්න ගැටලුවකි. ඇයගේ මෙම ග්‍රන්ථය මගින් වර්තමාන ළමා සංවර්ධනය පිළිබඳ පර්යේෂණ කරන පර්යේෂකයන්ට නව අධ්‍යයන ක්ෂේත්‍රයක් අනාවරණය කර ඇත්තේ නිරායාසයෙනි.

“අනේ මගේ යහළුවනේ, ඕගොල්ලෝ කියන එක ඇත්ත වෙන්න පුළුවන්. මමත් දන්නවා. මට මේ මහා ගින්න තනියම නිවන්න බැහැ කියලා. ඒත් මම කරන්නේ මට පුළුවන් දේ. ඕගොල්ලන්ට හිතෙනවා ඇති මට පිස්සුද කියලා. මම මෙච්චර මෝඩද කියලා. හැබැයි මගේ යාළුවනේ, මට ඔයාලා වගේ මේ කැලේ දාලා යන්න බැහැ. මොකද මට හෘද සාක්ෂියක් තියෙනවා. මම මැරෙන වෙලාවට නිදහසේ මට මැරෙන්න ඕනේ. මොකද මේ කැලේ තමයි අපිට ජීවිතේ දුන්නේ. අපිව රැක බලා ගත්තේ. අපිට කන්න බොන්න දුන්නේ. ඇත්තම කිව්වොත් මේ කැලේ අපිට මොනවද නොදුන්නෙ? මට නම් මේ කැලේ විනාශ වෙන දීලා අහක බලාගෙන යන්න කොහොමත්ම බැහැ. එච්චරටම දුෂ්ට වෙන්න මට බැහැ. හැබැයි මගේ යහළුවනේ, අපි ඔක්කොම එකතු වුණොත් මේ ලැව් ගින්න නිවාගන්න පුළුවන්. ඒකනම් මට ඉර හඳ වගේ විශ්වාසයි. මම කියන දේ පිළිගන්නවනම්, නිවැරදියි කියලා හිතනවා නම්, කැමතියි අයට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. නොදන්න කැලේකට යනවට වැඩිය අපි දන්න කියන හුරුපුරුදු කැළේ ආරක්ෂා කරගෙන ජීවත් වීම තමයි ගොඩක් වටින්නේ.”

වර්තමානයේ අප රට පත්ව ඇත්තේද මෙවන් වූ ඛේදනීය තත්ත්වයකටය. අප වැටුණ තැනින් ගොඩ එන්නට නම් මේ මොහොතේ මේ රටටද අවශ්‍ය මෙලෙස හිතන පතන සහ ක්‍රියා කරන පුංචි පැණිකුරුල්ලන් රංචුවක්ය. නොදන්නා වනාන්තරයකට ගොස් අතරමං වෙනවාට වඩා තමාට පිහිටක් වූ වනාන්තරයේ ගින්න නිවාලමින් සුන්දර වනපෙත රැකගන්නට නම් අපිත් පුංචි පැණිකුරුල්ලන් ලෙස සිතිය පැතිය යුතුය. පැණි කුරුල්ලෙකු වන්නට නොහැකිනම් ඉරි තැලී ගිය මේ මහ පොළොවට දිය පොදක් හෝ වන්නට හැකි විය යුතුය.

අනූෂා ගෝකුල පවසන පරිදි මේ ගින්න නිවන්නට අවශ්‍ය ක්‍රම සහ ශිල්ප සියල්ලම හඳුනාගෙන අවසන්ය. අවශ්‍ය වන්නේ ඒ සියල්ල ක්‍රියාත්මක කරන්නට ශ්‍රම බළකායක් පමණක්මය. මේ ගින්න නිවා දමා නැවුම් පසක් පෙරළා මේ මහපොළොව සශ්‍රීක කරන්නට නම් ඔබත් අපත් පුංචි පැණි කුරුල්ලන් මෙන් එකතු විය යුතුමය යන්න අනුෂා ගෝකුලගේ එක්කෝමත් එක කාලෙක ග්‍රන්ථය අපට නිහඬව කියනා කතාවය.

වසර 24ක කාර්යබද්ධ සමාජ පර්යේෂණය එළිදැක්වීම සහ පර්යේෂණයෙන් සනාථ කරගත් කරුණු ක්‍රියාත්මක කරන්නට සියලු කටයුතු සූදානම් කරමින් 2024 මාර්තු මස 12 වන කුජ දින පස්වරු 3.00 ට මරදාන එල්ෆිස්ටන් හීදී දොරට වඩින “එකෝමත් එක කාලෙක” කියවන්නට මේ ආරාධනය පුංචි පැණිකුරුල්ලන්ටයි.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment