අපටත් පරිප්පු

251

2025 අප්‍රේල් මස 27 වැනිදා ඉරිදා

පාකිස්තානයේ අලුත් හමුදාපති ලෙස අසීම් මුනීර් පසුගියදා දිවුරුම් දුන්නේය. ඔහු පාකිස්තාන යුද හමුදාව තුළ විශිෂ්ට දස්කම් දැක්වූ ජාති හිතෛෂී නිලධාරියෙකි. මේ කියන අසීම් මුනීර් මීට දින කිහිපයකට පෙර පිටරටවල සිට පාකිස්තානයට පැමිණි පාකිස්තාන ජාතිකයන් පිරිසක් සහභාගි වූ උත්සව සභාවක් අමතමින් සිත්ගන්නාසුලු කතාවක් කළේය. ජාතිකවාදය පැත්තෙන් ගත් කල මෙය ලොකු චූන් එකක් ගෙන දුන් කතාවකි. පාකිස්තානු ජාතිකයන් ඉන්දියාවේ හින්දු ජාතිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් බවත් මේ ජාතීන් දෙකේ සංස්කෘතිය ද සම්පූර්ණයෙන්ම වෙනස් බවත් පාකිස්තානය සහ ඉන්දියාව රටවල් එකක් නොව දෙකක් වන්නේ ඒ නිසා බවත් ඔහු කීවේය. එසේම කාශ්මීරයේ සිටින පාකිස්තාන කැරැලිකරුවන් කාශ්මීරය පාකිස්තානයට ඈඳා ගැනීම පිණිස කරන සටනට ආශිර්වාද කරන බවත් අසීම් මුනීර් කීවේය. කාශ්මීරය යනු දෙකට කඩන ලද භූමියකි. මෙයින් භාගයක් තිබෙන්නේ පාකිස්තානයේ ය. ඉතුරු භාගය තිබෙන්නේ ඉන්දියාවේ ය. හැබැයි මේ භාග දෙකේම සිටින බහුතර ජනතාව ඉස්ලාම් ආගම අදහන පාකිස්තාන් ජාතිකයෝය. ඒ නිසා ඉන්දියාවට අයත් කාශ්මීර කොටසේ සිටින ජනතාව පාකිස්තානය සමග එකතු වීමට මතවාදී වශයෙන් කැමැත්ත පළ කරති. ඒ මතවාදී කැමැත්ත ත්‍රස්තවාදී වශයෙන් ද ක්‍රියාත්මක කරන කොටසක් සිටිති. ඉන්දියාවට භාගයකුත්, පාකිස්තානයට භාගයකුත් යනාදී වශයෙන් කාශ්මීරය දෙකඩ කරන ලද්දේ සුදු අධිරාජ්‍යවාදීන්ය. ඉන්දියාවට නිදහස දෙන අවස්ථාවේ දී එංගලන්තයේ යටත්විජිත ලේකම්ගේ සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යුව රජු වශයෙන් කටයුතු කළ මවුන්ට් බැට්න් සාමිවරයා ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන දේශසීමාව සලකුණු කිරීමේ දී කාශ්මීරය දෙකඩ වන පරිදි ඉරක් ඇන්දේය. මෙයින් පසු ඉන්දියාවේ තිබෙන පාකිස්තාන් කොටස වෙනුවෙන් පාකිස්තානය හැමදාම සටන් කළේය. එම සටන්කාමියා කියන්නේ කාශ්මීරය ඉන්දියාවට ඈඳා දුන්නොත් මරාගෙන මැරෙන බවය. අධිරාජ්‍යවාදියා යනු ගිය ගිය තැන පැහැරූ කාලකණ්ණියෙකි. ඔවුහු තමන් ගිය හැම රටක්ම වර්චස් කළහ. අධිරාජ්‍යවාදීන්ගේ මේ නීච ක්‍රියාව නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර විශාල රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් පහළ වී ඇත. මෙය මේ වනවිට අවුරුදු හැත්තෑවකටත් වඩා පරණ අර්බුදයකි. පාකිස්තානය කොතරම් ඉල්ලුවත් ඉන්දියාව තම කාශ්මීර කොටස ඔවුන්ට ලබා දෙන්නේ නැත. කාශ්මීර කොටස සුරැකීම සඳහා ඉන්දියානු කාශ්මීරයත්, යාබද බලුකිස්තානයත් තුළ මිලියන 1.2 ක් වූ ඉන්දියන් හමුදාවක් රැඳී සිටිති.

පාකිස්තාන හමුදාපති අසීම් මුනීර්ගේ ජාතිකවාදී ප්‍රකාශයෙන් පැය 48 ක් ගතවීමටත් පෙර කාශ්මීර ගරිල්ලන් පිරිසක් ඉන්දියානු කාශ්මීරය පිහිටි සංචාරකයන් ගැවසෙන භූමියකට කඩා වැදී හින්දු ජාතික සංචාරකයන් 27 දෙනකු මරා තවත් 40 කට පමණ බරපතළ තුවාල කළහ. මේ සමස්ත මෙහෙයුම සඳහා පැමිණියේ කාශ්මීර ගරිල්ලන් හතර දෙනකු පමණි. මේ මාරක ප්‍රහාරයෙන් පසු බලවත් කෝපයට පත් ඉන්දියාව එරට තිබෙන පාකිස්තාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයන් සහ සියලුම හමුදා නිලධාරීන් පාකිස්තානයට පලවා හැරියේය. ඊළඟට දෙරට අතර තිබෙන සාම ගිවිසුම් සියල්ලම අහෝසි කළේය. එතැනින් නොනැවතී දෙරට අතර පවත්නා ජල සැපයීම් ගිවිසුමක් ද අවලංගු කළේය. ඉන්දියාවෙන් පටන් ගන්නා ගංගාවන් කිහිපයක් පාකිස්තානය හරහා ගමන් කරයි. පාකිස්තානයේ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් එම ගංගාවල ජලයෙන් ගොවිතැන් කරති. ඉන්දියාව එකතැනකින් වේල්ලක් වැහුවොත් පාකිස්තානයට තවදුරටත් වතුර යන්නේ නැත. මේ වතුර ප්‍රශ්නය නිසා අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්දියානුවෝත්, පාකිස්තානු ජාතිකයෝත් මිනී මරා ගත්හ. අන්තිමේ දී ඉන්දියන් ආණ්ඩුව පාකිස්තාන් ආණ්ඩුව සමග එක්වී ගංගාවල ජලය බෙදාගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර මිනී මරා ගැනීම නතර කළේය. ඉන්දියාව විසින් ඒ ජල ගිවිසුම අත්හිටුවනවා යන්නෙන් අදහස් කරන්නේ පාකිස්තානයේ පළාතකටම ජලය නොගොස් එම ප්‍රදේශය ගොවිතැන් කර ගත නොහැකිව වියැළී විනාශයට පත් වීමය. මේ අනුව ඉතා නරක ගිනියමක් හටගෙන තිබේ. කාශ්මීර ගරිල්ලන් ඉන්දියානු කාශ්මීරයේ සංචාරකයන් මරා දැමුවේ පාකිස්තානයේ අනුග්‍රහයෙන් බව ඉන්දියාව කියා ඇත. මේ නිසා පාකිස්තානයට හැකි උපරිම දඬුවම් දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. මේ දෙරට අතර යුද්ධයක් ඇතිවනු දැක්ම අපගේ අභිලාශය නොවේ. එය අප රටට ද විශාල කරදරයක් වනවා ඇත. පාකිස්තානය යනු අපට ඉතා හිතවත් රටකි. ඔවුහු මේ රටේ වර්ගවාදී යුද්ධය පවතින අවස්ථාවලදී අපට විශාල සහයෝගයක් ලබාදුන්හ. එසේම ඉන්දියාව ද අපගේ අත්‍යන්ත මිතුරාය. ලංකාවට කරදරයක් වූ විට ඔවුහු නැව් පුරවා අප වෙත ආධාර එවති. කාශ්මීර ගරිල්ලන් ඉන්දියානු සංචාරකයන් මරා දමන ලද්දේ පාකිස්තාන් යුද හමුදාපතිගේ කතාවෙන් උත්තේජනයක් ලැබීමෙන් යැයි අපි නොසිතමු. එය අහම්බයකි. පාකිස්තාන් හමුදාපති ජාතිකවාදී කතාව කිරීමට පෙර සිටම කාශ්මීර ත්‍රස්තවාදීන් මේ ප්‍රහාරය සංවිධානය කරන්නට ඇති. ඔවුන් ප්‍රහාරය ක්‍රියාත්මක කළේ පාකිස්තාන් හමුදාපතිවරයා සිය කතාව පැවැත්වීමෙන් පසුවය. පාකිස්තානය සහ ඉන්දියාව අතර තිබෙන අලුත්ම ප්‍රශ්නය වහාම විසඳී දෙරට අතර සාමය ඇතිවනු දැක්ම අපගේ අරමුණ වේ. මන්ද අප නැවතත් සඳහන් කරන්නේ මේ දෙරට අතර යුද්ධයක් ඇති වුණොත් එහි පරිප්පුව අපටත් කෑමට සිදුවන නිසාය.


advertistmentadvertistment