අපරාජිත සී හෝර්ක්ස් බ්ලූ ස්ටාර්ස්ට පරදී

105

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹදී ක‍්‍රියාත්මක කෙරෙන සුපර් ලීග් වෘත්තිය පාපන්දු තරගාවලිය තුළ මෙතෙක් අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටී සී හෝර්ක්ස් සමාජය පරාජයට පත් කරන්නට කළුතර බ්ලූ ස්ටාර්ස් පිල නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ඒ පෙරේදා (16දා) රාත‍්‍රී රීඞ් මාවත පැරණි තුරඟ තරග පිටියේදී පැවති 28 වැනි තරගයේදීය.

ප‍්‍රථම භාගය නිමාවන විට ගෝල් 01- 00 ක් ලෙස පෙරමුණ ගත් බ්ලූ ස්ටාර්ස් පිල තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ගෝල් 03 – 00 ක පෙරළිකාර ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

අපරාජිත සී හෝර්ක්ස් බ්ලූ ස්ටාර්ස්ට පරදී

තරගය ආරම්භ කළ 14 මිනිත්තුවේ දී ‘අරපාදේ ජෙරී’ පළමු ගෝලය වාර්තා කළේය. ඒ අනුව යමින් බ්ලූ ස්ටාර්ස් ජයග‍්‍රහණය සනාථ කිරීම සඳහා ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ ‘ෂෙනාල් සංදේශ්’ දෙවන ගෝලය 71 මිනිත්තුවේ ද තෙවන ගෝලය 88 මිනිත්තුවේ ද රැුස් කරමින් කැපී පෙනිණි.

මෙම තරගය තරංග පුෂ්පකුමාර මහතා විසින් විනිශ්චය කරන ලදී.

මෙම ජයග‍්‍රහණයත් සමගම 13 දක්වා ප‍්‍රසාද ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට බ්ලූ ස්ටාර්ස් පිලට හැකි විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඊයේ (17දා) වන විට බ්ලූ ස්ටාර්ස්, සී හෝර්ක්ස් සහ කොළඹ යන කණ්ඩායම් ත‍්‍රිත්වය ලකුණු 13 බැගින් ලබා ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම පසු වෙති.

මේ අතර වාරයේ පානදුර රෙඞ් සන් සමාජයට එරෙහිව ඊයේ (18) සවස කොළඹ රිනවුන් සමාජය තරග වැදුණු අතර එහිදී ගෝල් 03 – 01 ක ජයග‍්‍රහණයක් අත් කර ගැනීමට රිනවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට දෙපිලම ගෝල් 01 – 01 බැගින් රැස් කර ගනිමින් සම තත්ත්වයක පසු විය.

එහෙත් දෙවන භාගයේදී සංවිධානාත්මක ක‍්‍රීඩා රටාවක නිරත වීමට සමත් වූ රිනවුන් පිල ට ගෝල් 03 – 01 ක ජයග‍්‍රහණයක් හිමි විය.

ජයග‍්‍රාහි පිල වෙනුවෙන් දිලිප් සුරාජ් පීරිස් 01, මොහොමඞ් අමාන් 01 සහ මොහොමඞ් මුජීබ් 01 බැගින් ගෝල් වාර්තා කළ අතර පරාජිත පිල වෙනුවෙන් එකම ගෝලය මොහොමඞ් රහාමාන් රැස් කළේය.

රීඞ් මාවතේ පැරණි තුරග තරග පිටියේදී පැවති මෙම තරගය ලක්මාල් වීරක්කොඩි මහතා විසින් විනිශ්චය කරන ලදි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment