මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ සහය කථිකාචාර්ය දේවින්ද බණ්ඩාර අබේකෝන් මහතා සමග කරන සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් ලියන ලද සටහනකි.
අපරාධයක වින්දිතයන් සුවිශේෂ වන්නේ ඇයි?

එමිල් ඩර්ක්හයිම් (Emile Durkheim) නමැති ප්‍රංශ සමාජ විද්‍යාඥයාට අනුව සෑම සමාජයකම පාහේ අපරාධකාරී තත්ත්වයන් දැකගත හැකිය. එය ලොකු කුඩා භේදයකින් තොරව ඕනෑම අයකු දන්නා හඳුනන කාරණයක් වනු ඇත. අපරාධය සේම අපරාධකරුවා යන්න සමාජය තුළ කිඳාබැසගත් නාම පදයන් වුවත් අපරාධ වින්දිතයා යන්න සමාජයෙහි භාවිතා වීම අවම අගයක් ගන්නා බැවින් සිංහල ශබ්ද මාලාවට පවා එය නවමුවකි. අපරාධකරු දෙස සමාජයේ පවත්නා ආකල්පය කුමක් වුවත් අපරාධ වින්දිතයා හා සම්බන්ධ කුමන ආකල්පයක් පවතින්නේ ද? යන්නත් විටෙක ප්‍රශ්නගත කරුණක් වනු ඇත. කෙසේ වෙතත් ගොදුරු විරහිත අපරාධ හැරුණු විට සෑම අපරාධයකින්ම සෘජු අපරාධ වින්දිතයන් බිහිවන බව අපරාධවිද්‍යාත්මක කරුණුවලින් සනාථ කරන ලද්දකි. මේ අනුව අපරාධකරු සේම අපරාධ වින්දිතයා පිළිබඳව ද සමාජය තුළ දැනුවත්භාවයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. වර්තමානයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය, නීති ක්ෂේත්‍රය, අපරාධ යුක්ති ක්ෂේත්‍රය සහ ඇතැම් ක්ෂේත්‍ර කිහිපයක හැරුණු විට වින්දිතයකු යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද/කවුරුන්ද යන්න පිළිබඳ පුළුල් හා පැහැදිලි අවබෝධයක් පුද්ගලයන් අතර ඇති බවක් පෙනෙන්නට නැත.

වින්දිතයා යනු කවුද?

“වින්දිතයා” යන වචනය ඇසෙන විට, බොහෝ විට සිහියට නැඟෙන්නේ අපරාධයකට මුහුණ දුන් තැනැත්තකු පිළිබඳවයි. නමුත් එපමණක් නොවේ. බොහෝවිට රෝගයකින්, රිය අනතුරකින්, ස්වභාවික ව්‍යසනයකින්, යම්කිසි ව්‍යාකූල තත්ත්වයකින් සහ ඇතැම් සමාජ සංස්ථාවන්ගේ ක්‍රියාත්මකවීම නිසා මෙන්ම සාපරාධි ක්‍රියාවක් හේතුවෙන් හානියක්, අලාභයක්, පීඩාවක් අත්විඳ ඇති පුද්ගලයකු හෝ පිරිසක් හැඳින්වීම උදෙසා පොදුවේ මෙම නාමය භාවිත කරයි.

“වින්දිතයා” යන වදනට අමතරව සිංහල භාෂාව තුළ හිංසිතයා, පීඩිතයා, ගොදුර ලෙස ද, ඉංග්‍රීසි බසින් Victim ලෙස ද, සමාජය තුළ කුමන හෝ හේතුවක් නිසාවෙන් මේ ආකාරයට පීඩාවට පත් වූ තැනැත්තන් හැඳින්වීමට විවිධාකාර ව්‍යවහාරයන් භාවිතයට ගනී.

කෙසේ වෙතත්, ඉහතින් දක්වන ලද විවිධාකාර හේතු මත පීඩාවට පත්වන පිරිස් අතර අවධානය යොමු කළ යුතු සුවිශේෂි පාර්ශ්වයක් ලෙස සාපරාධි ක්‍රියාවක් හේතුවෙන් පීඩා විඳින අපරාධ වින්දිතයන් හඳුනාගත හැකිය. මෙසේ අපරාධ තුළින් සෘජු හෝ වක්‍රාකාරයෙන් දුක් විඳින, පීඩා විඳින අහිංසක පාර්ශ්වය වන අපරාධ වින්දිතයන් සම්බන්ධයෙන් අප සියලුදෙනා විශේෂ අවධානය යොමු කළ යුතුය.

අපරාධ වින්දිතයා යනු කවුද?

අපරාධ වින්දිතයා යනු සරලව කිවහොත් අපරාධ ක්‍රියාවක සෘජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස හානියක් අත්විඳින පුද්ගලයන් වේ. මෙම හානිය ශාරීරික, චිත්තවේගීය, මානසික, මූල්‍යමය හෝ මේ සියල්ලෙහි ම එකතුවක් විය හැකිය. ඒ අනුව ඔහු හෝ ඇය අපරාධ ගොදුර වශයෙන් ද හඳුනා ගනු ලබයි.

අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම උදෙසා එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කරන ලද, අපරාධ සහ බලය අනිසි ලෙස භාවිතය නිසා වින්දිතයන් බවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය පසඳලීමේ මුලික ප්‍රතිපත්තීන් පිළිබඳ 1985 එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය මගින් අපරාධ වින්දිතයන් නිර්වචනය කොට ඇත්තේ “සාමාජික රටවල් තුළ ක්‍රියාත්මක වන අපරාධ නීති උල්ලංඝනය කරන ක්‍රියාවන් හෝ අතපසුවීම් හරහා, ශාරීරික හෝ මානසික තුවාල, චිත්තවේගීය දුක් වේදනා, ආර්ථික පාඩු හෝ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සැලකිය යුතු ලෙස දුර්වල කිරීම ඇතුළු තනි තනිව හෝ සාමුහිකව හානියක් සිදු වූ පුද්ගලයන්”යන්නයි.

එමෙන්ම 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ 46 වගන්තිය ප්‍රකාරව අපරාධයක වින්දිතයකු යන්නෙන් හඳුන්වන්නේ

“යම් නීතියක් මගින් දක්වා ඇති උද්දේශිත වරදක් සංයුක්ත වන්නා වූ හෝ යම් ක්‍රියාවක හෝ නොකර හැරීමක ප්‍රතිඵලයක් ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 හෝ 13 (1) හෝ (2) මගින් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකමක් හෝ මානව හිමිකමක් කඩකිරීමක ප්‍රතිඵලයක් ලෙස කායික, මානසික, චිත්තාවේගී, ආර්ථික හෝ වෙනත් අලාභයක්, හිංසාවක්, හානියක්, දුබලතාවක් හෝ හානියක් අත්විඳින යම් තැනැත්තකු ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයකු, දරුවකු හෝ ඔහු හෝ ඇය කෙරෙහි විශේෂිත බැඳිමක් ඇති යම් තැනැත්තකු” යනුවෙන් අදහස් වේ.

අපරාධ වින්දිතභාවයේ ස්වරූප මොනවාද?

අපරාධ වින්දිතභාවයේ ස්වරූප ප්‍රධාන වශයෙන් ආකාර ත්‍රිත්වයකි. එනම් ප්‍රාථමික අපරාධ වින්දිතයා, ද්විතීයික අපරාධ වින්දිතයා සහ තෘතීයික අපරාධ වින්දිතයා වශයෙනි. සාමාන්‍යයෙන් අපරාධයට ගොදුරු වන මුල් පුද්ගලයා හඳුන්වන්නේ ප්‍රාථමික අපරාධ වින්දිතයා වශයෙනි. එනම් අපරාධමය සිදුවීමට ලක්වන පුද්ගලයා ය. එසේම ද්විතීයික අපරාධ වින්දිතයා යනු අපරාධයට ගොදුරු වූ පුද්ගලයා වටා සිටින පිරිස් ය. ඔවුන් අපරාධයට ගොදුරු වූ තැනැත්තාගේ කලත්‍රයා, දූ දරුවන්, මව්පියන්, ඥාතීන් හෝ හිතමිතුරන් විය හැකිය. තෘතීය අපරාධ වින්දිතයන් යනු අපරාධමය සිදුවීම නිසා පීඩාවට පාත්‍රවන තෙවන පාර්ශ්වයයි. ඔවුන් අපරාධමය සිදුවීම රූපවාහිනි, ගුවන්විදුලි, හෝ කුමන හෝ ජනමාධ්‍යයක් මගින් දැක, අසා ඉන් පීඩාවට පාත්‍රවන පිරිස් විය හැකිය.

අපරාධ වින්දිතයන් සුවිශේෂි ද?

සැබවින්ම සමාජය තුළ රෝගයකින්, රිය අනතුරකින්, ස්වභාවික ව්‍යසනයකින් වැනි හේතු මත පීඩාවට පත්වන පිරිස් අතර අපරාධ හේතුවෙන් වින්දිත වන පිරිස සුවිශේෂි වේ. එයට හේතු කාරණා රාශියක් පවතී. එම හේතු සාධක ලෙස,

අපරාධ යනු පුළුල් ලෙස සමාජ ප්‍රතිවිපාක ඇතිකරන සමාජ සංසිද්ධියකි. එබැවින් අපරාධයක් සිදු වූ විට ප්‍රජාව අතර බිය, අවිශ්වාසය සහ අනාරක්ෂිත බවක් ඇති කරයි. නමුත් ස්වභාවික විපත්, අනතුරු හෝ රෝගාබාධවලට ගොදුරුවූවන් ගත්විට එම හානිය බලපාන්නේ සෘජුවම එයට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් වන බැවින් සමාජයේ ප්‍රජාව අතර බිය, අවිශ්වාසය වෙනුවට දුක, අනුකම්පාව හටගනී.

අපරාධයක වින්දිතයන් නිරන්තරයෙන් කලකිරීමට හා මානසිකව කැලඹීමට මෙන්ම ඉච්ඡාභංගත්වයට පත්ව සිටියි. මෙම මානසික තත්වයන් දිගුකල් පැවතිය හැකි අතර එයට හේතුව නම් විශේෂයෙන් යුක්තිය ප්‍රමාද වීම, අමිහිරි සිදුවීම නැවත නැවත සිහිපත්වීම, අනෙකුත් පාර්ශ්වයන්ගේ සහයෝගය නොමැතිකම හෝ අපකීර්තිය වැනි හේතු මත මෙම කම්පන තවත්ත්වයන් සංකීර්ණ විය හැකිය. එබැවින් ඔවුන් දැඩි හුදෙකලා බවකින් පසුවේ. නමුත් අනෙකුත් වින්දිතයන් (ස්වාභාවික විපත්වලින් පීඩාවට පත්වූවන් වැනි) චිත්තවේගීය වශයෙන් ද දුක් විඳිය හැකි නමුත්, සමාජයීය වශයෙන් ඇති සහයෝගය මත ඔවුන් වටා අඩු හු‍ෙදකලා බවක් පවතී.

සමාජයේ පුද්ගලයන් විසින් ඇතැම් විට අපරාධයකට ගොදුරුවූවන් අපකීර්තියට, දොස් පැවරීමට හෝ ලේබල්කරණයට ලක්කිරීම සිදු කරයි. විශේෂයෙන් ලිංගික අපරාධයකට ගොදුරුවූවන් මෙය බරපතළව අත්විඳිනු ඇත. නමුත් ස්වභාවික විපත් හෝ රෝගාබාධවලට ගොදුරුවූවන් ප්‍රජා සහයෝගය, අනුකම්පාව සහ සපයන ලද පහසුකම් මත ඉතා ආරක්ෂිත වටපිටාවක ජීවත් වේ.

අපරාධයකට ගොදුරුවූවන්ට වන්දි ගෙවීම හෝ හානිපූරණය සිදු කිරීම අපහසු මෙන්ම දුෂ්කරය. ඉක්මන් මානුෂීය ආධාර හෝ රක්ෂණ වන්දි ලබා ගත හැකි අනෙකුත් වින්දිතයන් (ස්වභාවික විපත්වලින් පීඩාවට පත්වූවන් වැනි) මෙන් නොව, අපරාධ යුක්ති ක්‍රියාපටිපාටිය තුළ ඇතැම් විට යුක්තිය වෙනුවෙන් අන් අයගේ සහයෝගය නොමැතිව වින්දිතයාට තනිව සටන් කිරීමට පවා සිදු වේ.

අධිකරණ පද්ධතිය තුළ නඩු විභාගයට දිගු කලක් ගතවීම සහ වරදකරුවකු අධිකරණය ඉදිරියේ සැබෑ ලෙස වරදකරු වුව ද සිදු වූ හානිය පූරණය කළ නොහැකි වීම (ජීවිත හානි, ස්ත්‍රී දූෂණ වැනි) අපරාධ වින්දිතයන් මුහුණපාන සුවිශේෂි ගැටළුවකි. බොහෝ වින්දිතයන්ට නීතිමය දැනුමක් හෝ සම්පත් නොමැතිවීම මත යුක්තිය හඹා යෑම අතරමග නවතින අවස්ථා ද ඇත.

අනෙක් අතට අපරාධ වින්දිතයන්, අපරාධ යුක්ති ක්‍රියාපටිපාටියේ සහයෝගය ලබාගැනීමට උත්සාහ කිරීමේදී තමන් මුහුණදුන් අමිහිරි සිදුවීම සිහිපත් කිරීමට සිදුවීම ඔහුට හෝ ඇයට නැවත නැවත වින්දිතයකු බවට පත්වීමට ඉඩ සලස්වයි. මේ හේතුවෙන් ඔවුන් අපරාධ යුක්ති ක්‍රියාපටිපාටියේ සහයෝගය ප්‍රතික්ෂේපකොට, සිදුවීම තනිව විඳදරාගැනීමට ද පෙලඹේ.

ඒ අනුව බලන කළ අපරාධ වින්දිතයන් හානියේ බරපතළකම, චිත්තවේගීය හා මානසික බලපෑම, නීතිමය මැදිහත්වීම, සමාජ බලපෑම මෙන්ම හානිපූරණයේ ස්වභාවය මත අනෙකුත් වින්දිතයන්ගෙන් සුවිශේෂි කණ්ඩායමක් බව සනාථ විය. මෙකී කරුණු දෙස බලන කළ අපරාධ වින්දිතයන් යනු අප සැමගේ ආරක්ෂාව සහ සහයෝගය ලැබිය යුතු පිරිසකි. ක්ෂණික ආරක්ෂාව සහතික කිරීම, චිත්තවේගීය සහ මානසික සහාය ලබාදීම, නීතිමය ආරක්ෂාව සහ යුක්තිය සහතික කිරීමට සහය වීම, ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව ආරක්ෂා කිරීම, නීතිමය දැනුවත්භාවය ඇති කිරීම සහ සහයෝගී සමාජයක් ගොඩනැඟීම වැනි ක්‍රියාවන් තුළින් බියෙන් හෝ ලැජ්ජාවෙන් තොරව ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සහාය ලබාදීමට හැකියාව පවතී.

සටහන තිසාරා රණසිංහ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment