අපේ කෙල්ලෝ ඉන්දියාවට වැඩ පෙන්වති

42

ඉන්දියාවට එරෙහිව වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තාවන්ට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කාන්තා එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට හර්ෂිතා සමරවික්‍රමගේ සහ නිලක්ෂිකා සිල්වාගේ ප්‍රවේගකාරී පිතිකරණය සහ අනුෂ්කා සංජීවනීගේ සහ සුගන්ධිකා කුමාරිගේ ඉවසිලිමත් පිතිකරණය නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා, ඉන්දියා, දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිව්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විණි.

අපේ කෙල්ලෝ ඉන්දියාවට වැඩ පෙන්වති

වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ ප්‍රථම අවස්ථාවවීම ද විශේෂත්වයකි. අවසන් වරට ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කර ඇත්තේ 2018 වසරේදීය.

තවද මෙය වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගයකදී හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට අවතීර්ණ වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරගයෙන් සුපිරි ජයක් ලබාගැනීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව මුහුණදුන් තරග දෙකෙන් එකක් ජයගෙන තිබූ අවස්ථාවක ඉන්දියාව සමග තරගයට එක්වූයේ ඉතා හොඳ ජයග්‍රහණයක් අපේක්ෂාවෙනි.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවෝ සියලුමදෙනා ඊයේ තරගයටත් ක්‍රීඩා කළහ. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ මුලින් පන්දු රැකීම තම කණ්ඩායමට වාසිදායක ප්‍රතිඵලයක් වනු ඇති බවටයි.

ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකාරිනියන් පිටියට පිවිසියේ තමන් මුහුණ දුන් තරග 2 කම ජයග්‍රහණය කර ඇති මොහොතක ඉතා හොඳ මානසිකත්වයක සිටය.

ප්‍රාතිකා රොවෙල් සහ ස්මිත්‍රි මන්දනා එක්ව ඉන්දියාවේ මූලික අඩිතාලම දැමූ අතර ඉතා ඉවසිලිමත් ආකාරයෙන් පන්දුවට පහරදුන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ස්මිත්‍රි මන්දනා දුවද්දී දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 51 ක් සටහන් වී තිබියදීය. කෙසේ වෙතත් හර්ලීන් ඩියොල් එක්වී වැඩි වේලාවක් පන්දුවට පහරදීමට ප්‍රාතිකා රොවෙල්ට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා දුන්නේ නැත.

ප්‍රාතිකා රොවෙල් ලකුණු ලකුණු 35 ක් ලබා සිටියදී දැවී ගියාය. කෙසේ වෙතත් ජෙමීමා රොඩි්‍රගස් මුහුණ දුන් පළමු පන්දුවටම උඩ පන්දුවක් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අතින් ගිලිහී ගියේ රොඩි්‍රගස්ට පිටියේ රැඳී සිටීමට වාසනාව උදා කරමිනි. එම අවසරයෙන් ඇය සිය ඉන්දීය ඉනිමට ලකුණු 37 ක් එක් කළාය. තවද ඉන්දීය ඉනිමේ විශාල ලකුණු සංඛ්‍යාවට ඉඩ හසර ලබාගැනීමට රිචා ගෝෂ් ලබාගත් ලකුණු 58 ඉතාමත් ඉවහල් විය. කෙසේ වෙතත් ඉන්දීය මැද පෙළ ශක්තිමත්ව ලකුණු ලබා ගනිමින් සිටි අතර සිය ඉනිමේ 40 වැනි පන්දුවාරයේදී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගෙන සිටියාය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් පන්දුවාර 10 තුළදී තවත් ලකුණු 70ක් ලබා ගනිමින් ඉතා ඉහළ ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අසීරු ඉලක්කයක් ලබා දෙමිනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 275ක් ලබාගත්හ. ඒ වනවිට ඉන්දියාවේ කඩුලු 9ක් දැවී ගොස් තිබුණි.

ශ්‍රී ලංකා පන්දු යැවීම ඊයේ තරගයේ චමරි අතපත්තු ලකුණු 43 කට කඩුලු 3ක් සහ සුගන්ධිකා කුමාරි ලකුණු 44 කට කඩුලු 3ක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කම් අතරට පැමිණියහ.

කෙසේ වෙතත් ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර පිට පිට තරග 8ක් ජයගෙන සිටි අතර මෙම තරගය ජයගතහොත් 9 වැනි තරගය ද වනු ඇත.

අනතුරුව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සාර්ථක හඹා යෑමක නිරත වන බව පෙන්නුම් කළහ. එහිදී හර්ෂිතා සමරවික්‍රම සහ නිලන්තිකා ද සිල්වා අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රාහී මාවත සැකසූ අතර හර්ෂිතා සමරවික්‍රමගේ ලකුණු 53 ට හයේ පහරවල් 5ක් එක්වූ අතර වඩාත්ම ප්‍රවේගකාරී ලෙස ඉන්දීය පන්දු යවන්නියන් මෙල්ල කරමින් පන්දුවට පහර දුන්නේ නිලක්ෂිකා ද සිල්වාය. නිලක්ෂිකාගේ ලකුණු 56 ට අගනා හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 5ක් එක් විය. තවද කවිෂා දිල්හාරි ලකුණු 35 ක් රැස් කළාය. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සුරැකිව අවසානය වෙත රැගෙන ගිය අනුෂ්කා සංජීවනී සහ සුගන්ධිකා කුමාරිගේ ඉවසිලිමත් ක්‍රීඩා විලාසය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් හිමි විය. තරගයේ වීරවරිය නිලක්ෂිකා ද සිල්වා.

තරගයේ වීරවරිය ලෙස නිලක්‍ෂිකා සිල්වා සම්මාන ලැබුවාය.

ලකුණු සාරාංශය

ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 275යි.

ප්‍රාතිකා රාවල් 35, ස්මිත්‍රී මන්දනා 18, හර්ලීන් ඩියෝල් 29, හර්මාන්ප්‍රීට් කවුර් 30, ජෙමීමාහ් රොඩි්‍රගවුස් 37, රිචා ගෝෂ් 58, දීප්ති ශර්මා 24, කාෂ්වි ගෞතම් 17, අරුන්දතී රෙඩ්ඩි 09, ස්නේ රානා 10, අතිරේක 08.

(සුගන්ධිකා කුමාරි 44/3, චමරි අතපත්තු 43/3, දෙව්මි විහංගා 54/1, ඉනෝකා රණවීර 42/1.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 278යි.

හසිනි පෙරේරා 22, විශ්මි ගුණරත්න 33, හර්ෂිතා සමරවික්‍රම 53, චමරි අතපත්තු 23, කවිෂා දිල්හාරි 35, දෙව්මි විහංගා 1, අනුෂ්කා සංජීවනී 23, සුගන්දිකා කුමාරි 19, අතිරේක 13.

(ස්නේ රනා 45/3, අරුන්දතී රෙඩ්ඩි 55/1, ප්‍රාතිකා රාවල් 32/1, ශ්‍රී චරනි 69/1)

සුසිල් ජයකොඩි


advertistmentadvertistment