අපේ නීති කාලය අනුව නවීකරණය කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

154

රට බංකොළොත් කරපු ආණ්ඩුවකට නැවත රට ගොඩගන්න බෑ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල
මා ගැන කැලෑ උසාවියකිනුත් තීන්දුවක් දුන්නා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
පුද්ගලයන් ලක්‍ෂ පහක් මතට ඇබ්බැහි වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

සිවිල් වැරැදි සම්බන්ධයෙන් සිරගත කෙරෙන සිරකරුවන්ට බන්ධනාගාරයේදී ඉල්ලා සිටිය හැකි වෙනම කුටි සහ පහසුකම් සැපයීම, අපරාධ සම්බන්ධයෙන් වැරැදි කළ සිරකරුවාට ලබාදීම අහිමි කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව අංක 27-2 යටතේ පක්ෂ නායකයන් විසින් අසා තිබූ විශේෂ ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

අනතුරුව සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන), අන්තරායකර සත්ත්ව (සංශෝධන), බන්ධනාගාර ආඥා පනත යටතේ රීති, ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග තුනක් පිළිබඳ විවාදය ඉන්පසුව ආරම්භ විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා –

අද අපේ රට බංකොලොත්. රට බංකොලොත් වුණාම ඉබේම මිනිස්සු බංකොලොත් වෙනවා. එතකොට හිරගෙවල් පවා පිරෙනවා. මේක තමයි අද රටේ

තියෙන තත්ත්වය. ඇත්ත වශයෙන්ම මේ අයට පොදු සමාවක් ලබා දෙන්න ඕනේ. මහෙස්ත්‍රාත්වරුන්ට උපදෙස් ලබා දෙන්න ඕනේ සුළු සුළු වැරදි කරන අය නිදහස් කරන්න කියලා. අද රටේ තියෙන තත්ත්වය මත අපරාධ වැඩිවෙලා. හේතුව තමයි දුප්පත්කම. ඇත්ත වශයෙන්ම අපේ රට බංකොළොත් කරපු ආණ්ඩුවකට නැවත රට ගොඩගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. 2019 අපි රට භාරදෙන කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 7900 ක් සමගයි රට භාර දුන්නෙ. දැන් ඒක බිංදුවට බැහැලා. රස්සාවල් නැතිවෙලා. අද ඩොලර් නෑ. රුපියලුත් නෑ. අද දුප්පත්කම නිසා සිරගෙවල් පිරෙනවා. ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුව කල්ඉකුත් වූ පාර්ලිමේන්තුවක්. කිසිම ජවයක් නෑ. ඇමතිවරු කීදෙනාද ඉන්නේ?

පළාත් පාලන මැතිවරණය අභියස අපි ඉන්නේ. මම දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාට පණිවිඩයක් යැව්වා, අද මම එතුමාගේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුව ගැන කතා කරනවා ඉන්න කියලා. නමුත් එතුමා ආවේ නෑ. 2012 මහින්ද රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන පත්කළා. යහපාලන ආණ්ඩුව වශයෙන් අපිත් කිව්වා එතුමාට ඒ වැඩේ කරගෙන යන්න කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවමත් ඒ වැඩේ කරගෙන යන්න කියලා කිව්වා. අවුරුදු 10ක් ගතවුණා. 2012 වසරේදී 2000 ට තිබුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංඛ්‍යාව 4000 කළේ එතුමා. යහපාලන ආණ්ඩුවෙන් ඒක 8000 කෙරුවා. 8000 කරල දැන් කියනවා ගාන වැඩියි කියලා. විපක්ෂයක් හැටියට අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න සූදානම්. අපි සහයෝගය දුන්න නිසා තමයි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ. නැත්තම් සම්මත වෙන්නේ නෑ. හතළිස් අටේ සිට ආණ්ඩු ගණනාවක් තිබ්බා. එක ආණ්ඩුවක්වත් රට බංකොලොත් කළේ නෑ. ලෝකයේ පසුගිය වසර 100 ඇතුළත රටවල් 7 යි බංකොලොත් කියලා ප්‍රකාශ කළේ. ලැජ්ජ නැද්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

අපේ නීති කාලය අනුව නවීකරණය කිරීම ඉතාමත් වැදගත්. රටේ නීතිය නවීකරණය කරන්න අපි අධිකරණ ඇමැතිතුමාට භාරදීලා තිබෙනවා. ඉන් කොටසක් අද අධිකරණ ඇමැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ වගේම එන අවුරුද්දෙත් ඒ සියල්ල ඉදිරිපත් කරලා අවසන් කරයි කියලා. අපි වැඩිපුර දවසක් හරි රැස්වෙලා මේවා අවසන් කරමු කියලා ඉල්ලනවා. නීති නවීකරණය කිරීම වැදගත් කාරණයක්. අපි දවස් දෙකක් පරිසර ඇමැතිතුමාත් ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති ඒ කොප් සමුළුවට සහභාගී වුණා. මා සමග පරිසර උපදේශක රුවන් විජේවර්ධන වගේම අපට උදව් කරන මාලදිවයිනේ හිටපු ජනාධිපති සහභාගී වුණා. 2015 දී මීට අපේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වුණා. ඒ ගිවිසුමට එකඟ වුණා. අපේ විදුලි බලාගාර සීමා කරන්නත් අපි එහිදී එකඟ වුණා. ඒ අනුව අපි එකක්වත් ඉදිකරලා නෑ.

අපි බලන්න ඕනා අපේ හැත්තෑපස්වෙනි සංවත්සරය

වනවිට අපේ ප්‍රශ්න ටික විසඳගන්න. අපේ ප්‍රශ්නවලට කාටවත් ඇඟිලි ගහන්න දෙන්න බෑ. අපි 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය වගේම දැන් 21 වැනි සංශෝධනයත් සම්මත කළේ විපක්ෂයේත් සහාය ඇතිවයි. අර ව්‍යවස්ථා සභාවට සිවිල් පත්කිරීම ගැන එකඟ වූ විදිහට සංශෝධනය කළා. ඒ සිවිල් නියෝජිතයන් පත්කිරීම ඉක්මනින් කරන්න ඕනා. ඒ වගේම මට ඒ සම්මේලනයට ගිය පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකාව මුණ ගැහුණා. සාකච්ඡා කළා. ඉතින් කිසිම බයක් තියාගන්න එපා. ඒ සහයෝගය ලැබෙනවා. අපට තිබෙන්නේ ඉන්දියාවයි, චීනයයි එක්ක කතා කරන්න. චීනය අපට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පසුව කටයුතු ආරම්භ කරන්න කියලා. අපි ඒක කරනවා. ඉන්දියාව සමගත් සාකච්ඡා කරනවා.

මම හිතන්නේ මෙතන එක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි අර සිවිල් සමාජයේ තුන්දෙනා නම් කරන්නේ අගමැතිතුමයි විපක්ෂයේ නායකතුමයි එකතුව එක සහතික කර කරන්නේ කථානායකතුමා. කොහොමද පාර්ලිමේන්තුවේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කරන්න අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහයෝගය නෑ. විපක්ෂ නායකතුමාට විපක්ෂයේ සහයෝගය නෑ. කතානායකතුමාට දෙපැත්තම නෑ. එහෙනම් තුන්දෙනාම ඉල්ලා අස්වෙන්න තියෙන්නෙ. ඕක කරන්නෙ නෑනේ. කරන්න බැරි එකක්නේ. ඒත් නායකයෝ දෙන්නා එකඟ වෙලා කථානායකතුමා එකතු වුනාම මේ නිල වශයෙන් දාන්න පුලුවන්.

මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ විපක්ෂයේ සජබෙට අයිති නොවන මන්ත්‍රීවරයා කවුද කියලා අපි ද්‍රවිඩ පක්ෂවලින් නම් කරනවා නම් දෙවනුව විශාලම කණ්ඩායම් තියෙන්නේ එතන. ද්‍රවිඩ පක්ෂවලින් නම් එහෙනම් සිවිල් සමාජයේ තුන්දෙනා ගැන. අපි ගිය සැරේ ද්‍රවිඩයි කාන්තාවොයි දෙකම දැම්මා. එහෙනම් කාන්තා ගැන බලන්න පුළුවන් මුස්ලිම් එක්කෙනෙක් ගැන බලන්න පුළුවන්.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

අපට මේ අයවැය විවාදයට කලින් මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

ගිය සැරේ අපට ඒ සාකච්ඡා අවසන් කළහම අපට යන්න තිබුණේ අයි.එම්.එෆ්. එකට පමණයි. නමුත් අපට මේ සැරේදී ඒ සාකච්ඡා කළ පසුව අපට ඒක අරගෙන රටවල් එක්ක කතා කරන්න ඕනා. විශේෂයෙන්ම දැනට ජපානය සමග කතා කරලා තිබෙනවා. ඉන්දියාවයි, චීනය එක්කයි කතා කරන්න ඕනේ. එතැනදීත් සංශෝධන වෙන්න පිළිවන්. ඒ ඔක්කොම කළ පසුව මම කියන්නම්.

විමල් වීරවංශ මහතා –

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රට රටවල් අතර පමණක් නොවෙයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ගත්තු ණයත් තිබෙනවා. ඒ ණයත් ප්‍රතිව්‍යුහගත කරණයට යනවාද? ඒක සාර්ථක කර ගන්න පුළුවන් මට්ටමක තිබෙනවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

පෞද්ගලික ණයයි, අයිඑස්බී ණයයි, ජාත්‍යන්තර සංවිධානවලින් ගත් ණයයි ඒ රටවල් සමග ඇති කරගත් ද්විපාර්ශ්වික ණයයි ඒ සියල්ලම සලකා බලනවා. විශේෂයෙන්ම ද්විපාර්ශ්වික ණය ගැන එකඟත්වයකට ආවහම පෞද්ගලික ණය ගැන ප්‍රශ්නයක් එන එකක් නෑ.

විමල් වීරවංශ මහතා –

රට රටවල් සමග සාකච්ඡා කිරීමේදී යම් රටක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුණහොත් සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කරනය බිඳ වැටෙනවාද? එහෙම වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත යම්කිසි ප්‍රතිලාභයක් අහිමි වෙනවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

අපි සාකච්ඡා කරලා තිබෙනවා එක රටක් විරුද්ධ වුණොත් මොකක්ද වෙන්නේ කියලා. ණය කපාහැරීමක් හෝ ණය ගෙවීමට කාලය දික්කරන එකනේ. අපිට ඔය විකල්ප දෙකෙන් එකකට යන්න පිළිවන්.

චන්දිම වීරක්කොඩි මහතා –

අපි අයවැය ඉදිරිපත් කරනකොට අය සහ වැය ගැන දළ අදහසක් තිබෙන්න ඕනා. අයි.එම්.එෆ්. යෝජනා දන්නේ නැතුව අයවැයක් ඉදිරිපත් කරනකොට ඒ ලබාදෙන සහන වලට ගැලපෙන ලෙසද යෝජනා ඉදිරිපත් කරන්නේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

අපි අයවැය සකස් කරන්නේ අර රාමුව තුළ. ඒ රාමුවෙන් පිට යන ප්‍රශ්නයක් මතුවුණොත් අපි ඒ පිළිබඳව දැනුම් දෙන්නම්. ජනතාවට බර දානවද? නැත්නම් රජයේ වියදම් පාලනය කරන එකයි කරන්න තිබෙන්නේ.

පත්කළ මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා (ශ්‍රී.පො.පෙ) – මත්ද්‍රව්‍ය පිළිබඳ අද තිබෙන මේ පනත ගැන අපි උනන්දුවෙන් බලන්න ඕන. මේ රට සමාජය විනාශ වන විදිහට මත්ද්‍රව්‍ය පැතිරීගෙන යනවා. මේක පැතිරෙන්නේ පාසල් දරුවන් අතරේ. ඒක තමයි භයානකම තත්ත්වය. අයිස් අවුරුදු දෙක තුනක් ගත්තොත් ඔහුගේ ජීවිතය විනාශ වෙනවාලු. පාසල් දරුවන් මේවට පුරුදු වුණොත් මොකද වෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා –

අපේ රටේ නීති, අධිකරණ, බණ්ධනාගාර තිබෙනවා. නමුත් යුක්තිය පසිඳලනවාද කියන ගැටලුව තිබෙනවා. මොකද මා සම්බන්ධයෙනුත් කැලෑ උසාවියකින් තීන්දුවක් දුන්නා. හිරගත කළා. මට චෝදනා ඉදිරිපත් කරලා නඩු තීන්දුව දීලා ඊට අත්සන් කළෙත් එවකට හිටපු ජනාධිපතිවරයායි. මට මාස තිහක දඬුවමක් දුන්නා. මම හිරෙන් එළියට එනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට

ගිහින් මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නත් ක්‍රියා කළා. මේ ආයතන පිරිසිඳු කරන්න ඕන. නැත්නම් කොපමණ නීති ගෙනාවත් වැඩක් වෙන්නේ නෑ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ශ්‍රී.පො.පෙ) –

අපේ රටේ මත්කුඩු සඳහා තරුණයන් ශීඝ්‍රයෙන් ඇබ්බැහි වෙමින් සිටිනවා. මේ මත්කුඩු විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපේ රටේ පුද්ගලයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් මේ මත්කුඩුවලට ඇබ්බැහිවෙලා තිබෙනවා. පැසල් දරුවන් දැන් ඉතා සීග්‍ර ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙලා තිබෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න ඕනා. කුඩු භාවිතා කරන දරුවන්ව පුනරුත්ථාපනය කළ යුතුයි. ඒ සඳහා කාර්ය සාධක බළකායක් හදන්න ඕන.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා (සජබ) –

අධිකරණයේ නව නීති සංශෝධනය කරන්න කටයුතු කර තිබෙනවා. එහිදී මානව හිමිකම් ගැන මානව අයිතීන් ගැන සිතා කටයුතු කරන්න. ඒ අය ගැන තීන්දු ගැනීමේදී නිශ්චිත තීන්දු ගන්න ඕනා. ජනාධිපති නිදහස දෙනවා අපි දකිනවා. ඒවා ගැන සාධාරණයක් තිබිය යුතුයි. ඉදිරියේදීවත් අපේ රටේ ප්‍රතිරූපය හොඳ වෙන්න ඕනා. අපේ ආර්ථිකය විනාශ කරලා දාලා. ඒවා මානව හිමිකම් සමුළුවලත් කතා කරනවා. දැන් ශිෂ්‍ය නායකයන් ත්‍රස්ත නීති යටතේ රඳවා ගෙන ඉන්නවා. ඒ අයට මරණ බය දෙනවා. මේවා කළ යුතු දේවල් නොවෙයි. අද ඒකාධිපති වියරුවකින් කටයුතු කරනවා වගේ මෙම ආණ්ඩුව මර්දනය යෙදවීම නවත්වන්න ඕනා.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා –

මේ සියළුම සංශෝධන මාගේ කාලයේදී කැබිනට් අනුමැතියට යොදවපු ඒවායි. දැන ඒවා අලුත් පනත් වෙලා ඇවිත් තිබෙනවා. ඒ ගැන මට සතුටුයි. අපි යම් යම් වෙනස් කිරීම් කළා. ක්‍රෙඩිට් කාඩ් ගැනත් නඩු තිබෙනවා. මිලියන ගණන් චංචා ගැන හොයන නඩුත් කල්යනවා හා සමානව මේවාත් කල්යනවා. මේක පොදු ප්‍රශ්නයක්. අපි සුළු හිමිකම් අධිකරණ ඇතිකර තිබෙනවා. උදාහරණයක් ලෙස ක්‍රෙඩිට් කාඩ් නඩුවක් නම් ඒවා හරිහැටි තේරුම් අරගෙන කටයුතු කළොත් මේ පොඩි නඩුවලින් සියයට අසූවක් වත් ඉතා ඉක්මනින් විසඳගන්න පිළිවන්. දැන් මත්ද්‍රව්‍ය

ගන්න අය ලක්ෂ පහක් විතර අය ඉන්නවා. අපි කරන්නේ ඒ අයව අල්ලලා හිරේ දානවා. නමුත් ඉහළින් ඉන්න ඒ ජාලය හඳුන ගන්නේ නෑ. ඒ ජාවාරම්කරුවන්ගේ නඩු ඉක්මනට අහන්න ඕනා. ඒ සඳහා වෙනම අධිකරණ තිබෙන්න ඕන. අර ලක්ෂ පහ නොවෙයි අල්ලලා හිරේ දාන්න ඕනේ. ඒ තෝර ගත්තු පිරිසගේ ජාලයයි කඩන්න ඕනේ.

පාර්ලිමේන්තුව අද (11 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන


advertistmentadvertistment