නවක වධ සංස්කෘතිය සහ වධකාගාර සංස්කෘතිය

806

නවක වධය යනු කුමක්ද? ඒ පිළිබඳව දැන ගැනීමට ඒ පරිප්පුව කා මානසිකව පීඩාවට ලක්වුණු කෙනෙකුගෙන් හෝ නවක වධයෙන් මියගිය සරසවි සිසුවියකගේ හෝ සිසුවකුගේ භූතාත්මයෙන් හෝ විමසිය යුතුය. නවක වධය නමැති ක්‍රියාකාරීත්වය 18 වැනි ශතවර්ෂයේදී යුරෝපයේ උසස් අධ්‍යාපන ආයතනවලත් යුද හමුදාවේත් පටන් ගත් බව දැන ගැනීමට තිබේ. එකල නවක වධය හිංසාකාරී නොවන සරල විහිළුවලට පමණක් සීමා විය. එබැවින් එකල නවක වධය පැතිර තිබූ සමාජය, එය ඒ හැටි ගණන් ගත්තේ නැත. එහෙත් 18 වැනි සියවස 19 වැනි සියවස වී, 19 වැනි සියවස 20 සියවස වී, 20 වැනි සියවස 21 වැනි සියවස බවට පත් වී ඇති මේ මොහොතේ දී නවක වධය කුපාඩි මිනීමරුවන්ට පමණක් විශේෂ වූ දුෂ්ට ක්‍රීඩාවක් බවට පත්වී තිබේ. ඔබ ලෝකයේ නවක වධය වැඩියෙන්ම පවත්නා රට කුමක් ද යන්න අන්තර්ජාලය හරහා විමසනු ලබන්නේ ද ඔබට ලැබෙන උත්තරය වන්නේ ශ්‍රී ලංකාව බව ය. මෙය අත්දැකීමෙන් ම තහවුරු කර ගත හැකි දෙයකි. ඒ අතර WIKIPEDIA විශ්වකෝෂය සඳහන් කරන පරිදි නවක වධය යනු ඉන්දියානු උප මහාද්වීපයේ රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන ප්‍රදේශවල පවත්නා, නවකයන් පිළිගැනීම සඳහා සිදුකරන වධ බන්ධන ක්‍රමයකි.

ලංකාව හා ඉන්දියාව යන රටවල් දෙක අතර නවක වධ සිද්ධීන් පිළිබඳ සංඛ්‍යාත්මක ගණන් බැලීමකදී පෙනී යන කාරණයක් තිබේ. එනම්, ලංකාවේ නවක වධ සිද්ධීන්ට වඩා ඉන්දියාවේ නවක වධ සිද්ධීන් ගණන වැඩි බවය. එහෙත් වඩා අමානුෂික නවක වධය පවතින්නේ ශ්‍රී ලංකාවේ ය. ඉන්දියාවේ නවක වධයෙන් අවුරුදු 10 කට මරණයක් වාර්තා වන්නේ නැත. එහෙත් ලංකාවේ නවක වධයෙන් අවුරුදු පතාම එකෙක් දෙන්නෙක් මරණ, නො එසේ නම් එකෙක් දෙන්නෙක් සියදිවි නසා ගන්නා තත්ත්වයක් මතු වී තිබේ. මනෝ විද්‍යාඥයන්ගේ මතය අනුව නවක වධය යනු පරපීඩා කාමුකත්වය නමැති රෝගයේ එක් අවස්ථාවකි. පරපීඩා කාමුකයා දුර්වලයෙකුට වධ දීමෙන් ලිංගික උත්තේජනයක් ලබයි. එහෙත් තමන් ලබන උත්තේජනය ලිංගික උත්තේජනයක් යන්න හඳුනාගැනීමට ඔහුට නොහැක. මේ නිසා නවක වධය යන සාධකය ෆන් එකක් ගැනීමට කරන ක්‍රියාවක් සේ සැලකීමට නවක වධකයා සහ නවක වධ සංස්කෘතියේ සාමාජිකයෝ පුරුදු වී සිටිති.

මේ රටේ විශ්වවිද්‍යාලවල නවක වධය අමානුෂික තත්ත්වයට පත්වන්නේ 1970 න් පසුවය. එම යුගයේදී මේ රටේ වාමාංශික දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තමන් අතර බෙදාගන්නා ලදි. නවක ශිෂ්‍ය කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට පැමිණි සැනින් පෙර කී වාමාංශිකයෝ එම ශිෂ්‍ය ප්‍රජාව තම තමන්ගේ දේශපාලන පක්‍ෂ අතර බෙදා ගත්හ. මෙසේ බෙදාගැනීමේදී නවක ශිෂ්‍යයන් ඉදිරිපිට බලය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය විය. ශ්‍රී ලංකාවේ නවක වධය මෙකී බල සංදර්ශනය නිසා ඉතාම නරක තත්ත්වයකට පත්විය. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විශ්වවිද්‍යාලවල බලය පැතිරවීමට ගත් උත්සාහයේදී වැඩේ නරක අතට හැරිණ. ඉන්පසු ජේවීපිය දෙකට කැඩී, පෙරටුගාමී පක්‍ෂය බිහිවී, විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල බලය එම පක්‍ෂය අතට ගිය විට වැඩේ තවත් අල විය. මේ පක්‍ෂ දෙකේ ප්‍රතිපත්තිමය ගැටලුවක් අපි නොදකිමු. මේ පක්‍ෂ දෙකටම ප්‍රගතිශීලී වාමාංශික මත තිබේ. එහෙත් විශ්වවිද්‍යාල තුළදී ඒවා ක්‍රියාත්මක කිරීමට යන විට විවිධ අර්බුද හටගනී. ඒවා පුද්ගල බද්ධ ප්‍රශ්න මිස ජවිපෙට සම්බන්ධ හෝ පෙරටුගාමීන්ට සම්බන්ධ ප්‍රශ්න නොවේ. දැනට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය බලය ලබාගෙන සිටින සියලු දේශපාලන පක්‍ෂ එකට එකතු වී නවක වධය සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් කළොත් නවක වධයෙන් විය හැකි හානි අවම කරගැනීමට පුළුවන.

1970 ගණන්වලදී මේ රටේ නවක වධයට අදාළ නරකම ආරම්භය ඇති විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවක වූ රූපා රත්නසීලී නමැති ගැමි දැරිය නවක වධයට ලක්කළ එම විශ්වවිද්‍යාලයේ සිසුහු ඇය දූෂණය කිරීමට සූදානම් වූහ. එවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රාමනාදන් නේවාසිකාගාරයේ දෙවැනි මහලට දිවගිය රූපා රත්නසීලී ස්ත්‍රී දූෂක සිසුන් පිරිස තමා ග්‍රහණයට ගැනීමට සූදානම් වෙද්දී බිමට පැන්නාය. රූපා රත්නසීලී සිද්ධිය සම්බන්ධයෙන් නොවිසඳුණු මත කීපයක් තිබේ. ඉන් පළමුවැන්න නම් ඇය දූෂණයට ලක් වූ බවය. ඇය ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇත්තේ එබැවිනි. දෙවැනි මතයට අනුව ඇය දූෂණයට ලක් නොවුණ ද එම තත්ත්වයට මුහුණදීමට ඇති බිය නිසා බිමට පැන්නාය. කෙසේ වුව ද, බිමට පැනීමෙන් පසු ඇගේ කොන්ද බිඳුණු අතර, ඇයට යළි කවදාවත් දෙපයින් නැගිටීමට නොහැකි විය. එදා සිට ඇය රෝද පුටුවක ජීවත් වූවාය. පසු කාලයේදී කුලියට ඇඳුම් මසා ජීවත් වූ රූපා රත්නසීලී අධික කලකිරීම දරාගත නොහැකිව රෝද පුටුවෙන්ම ගෙවත්තේ ළිඳ වෙත ගොස් එහි පැන දිවි නසා ගත්තා ය. එදා සිට මේ දක්වා ම නවක වධය නිසා විශාල පිරිසක් මරණයට පත්ව ඇත. එසේම සිහිවිකල් වූ පිරිස ද බොහෝ ය.

මෙයට ඇති හොඳම විසඳුම විශ්වවිද්‍යාල පද්ධතියෙන් දේශපාලනය බැහැර කිරීම බවට අදහසක් තිබේ. එය ඉතා හොඳ අදහසක් නමුදු කිසි කලෙකත් ක්‍රියාත්මක කිරීමට බැරි අදහසකි. සරසවියට යන සිසු සිසුවියන් සියලුම දෙනා පාහේ වයස අවුරුදු 18 ඉක්ම වූ අය වෙති. ඔවුනට ඡන්ද බලය ඇති අතර ඔවුහු නිතැතින් ම දේශපාලන ජීවීහු වෙති. මේ නිසා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය ඉවත් කිරීම පසෙක තබා නවක වධය පිටුදැකීම සඳහා මානුෂික ක්‍රමවේදයක් හඳුන්වාදීම නවක වධයට සම්බන්ධ සියලු පාර්ශ්වවල වගකීම වන්නේය. විශ්වවිද්‍යාලයක් යනු වධකාගාරයක් නොවේ. මේ රටේ විශ්වවිද්‍යාල වධකාගාර බවට පත්වන්නේ 88, 89 භීෂණයේදී පමණි. ඉන් පසු රට තුළ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් හේතුවෙන් විශ්වවිද්‍යාල විටින් විට තාවකාලික අරගල භූමි බවට පත්වුවද, වධකාගාර බවට පත් වූයේ නැත. විශ්වවිද්‍යාල කිසි ලෙසකින්වත් වධකාගාර නොවිය යුතු බව අපගේ විශ්වාසයයි. මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ විශ්වාසය ද එයම ය.

advertistmentadvertistment
advertistmentadvertistment