සී.අයි.ඩී ලොක්කන්ගේ රථ ගාලෙත් හරක්කටාට පනින්න යතුරුපැදියක් හංගලා

2861

අතුරුදන් කොස්තාපල්ගේම වැඩක්

සීසීටීවී අක්‍රිය නිසා ගෙනාපු හැටි නෑ

ආරක්‍ෂක නිලධාරීන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමේ උත්සාහය සාර්ථක වූයේ නම් ඉන් පසු හරක්කටාට පලායෑමට අධිවේගී යතුරු පැදියක් එම මූලස්ථානයේ රථ ගාලේ සඟවා තබා ඇත්තේ මේ වනවිට අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

රුපියල් දසලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් මෙම නවීන පන්නයේ යතුරු පැදිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ සහ අධ්‍යක්‍ෂකවරයාගේ නිල රථ නතර කර තබන ස්ථානයට නුදුරින් නවතා තිබිය දී පෙරේදා සොයාගෙන තිබිණි.

හිමිකරුවකු නොමැති අති නවීන යතුරු පැදියක් සති කීපයක් තිස්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ රථ ගාලේ නතර කර තිබිය දී ඒ පිළිබදව සොයා බලන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දී ඇත.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ මෙම යතුරු පැදිය හරක්කටාට එම දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට සූදානම් කර තිබූ එකක් බවයි. යතුරු පැදියේ ඉන්ධන ටැංකිය පුරවා ඇති අතර ඊට ව්‍යාජ අංකයක් ද යොදා තිබී ඇත.

හරක්කටාගේ පලා යෑමේ උත්සාහයට සහාය වූ පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම යතුරු පැදිය හොර රහසේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ගෙනැවිත් සඟවා තබා ඇති බව අනාවරණය කර ගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සී සී ටී වී කැමරා පද්ධතිය කාලයක සිට අක්‍රියව තිබීම නිසා මෙම යතුරු පැදිය රැගෙන එන පුද්ගලයා හඳුනාගැනීමට නොහැකි බව පොලිසිය පවසයි.

එහෙත් මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලින් හෙළිවී ඇත්තේ යතුරු පැදිය හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට සැලසුම් කළ දිනට පෙර දින සැකකාර කොස්තාපල්වරයා විසින් එහි ගෙනැවිත් තබා ඇති බවයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගියේ නම් හරක්කටාට සහ කොස්තාපල්වරයාට මාතරට පලා යෑමට මෝටර් රථයක් ද සූදා නම්කර තිබූ අතර එම මෝටර් රථයට සහ ඔවුන් රැගෙන යෑමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි සැකකරුවන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හරක්කටා ට පලා යෑමට උපකාර කළ කොස්තාපල්වරයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment