ආමිස පූජා ප්‍රතිපත්ති පූජා අර්ථවත් ලෙස සිදුකරමු

646

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම ඉතාමත් දුර්ලභ කාරණයකි. එබැවින් බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලබා ඇති අපි වාසනාවන්ත වෙමු.

වෙසක් සමය උදා වනවිට ලොකු කුඩා සිත් සතන් තුළ වෙනදාට වඩා දැහැමි සිතුවිලි පහළ වේ. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ලොව පුරා බෞද්ධ ජනතාව වෙසක් සමය තුළ ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවන බව දක්නට ලැබේ.

‘අග්ගො හමස්මි ලෝකස්ස” යනුවෙන් මම ලොවට අග්‍රවෙමි. මේ මාගේ අන්තිම භවයයි යන උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් වෙසක් පෝදින මොලාව බිහිවූ සිදුහත් බෝසතාණන් වහන්සේ පිරූ පාරමිතා බලයෙන් ගිහි ජීවිතයේ ඇති නිස්සාරත්වය තේරුම් ගෙන සිටින අතර සතර පෙර නිමිති දැකීමෙන් ඒ බව වඩාත් තහවුරු කරගෙන ගිගි ජීවිතයෙන් සමුගෙන සත්‍ය ගවේෂණයේ යෙදුණි. සත්‍ය ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස සියලු කෙලෙස් “ප්‍රහානයකොට ග්‍රහකාරක දිට්ඨොසි’ යනාදී උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් උතුම් බුද්ධත්වයට පත් වූයේද වෙසක් පුර පසළොස්වක් පෝ දිනකය.

බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ශානික බවට පත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අසංවර අවිනීත මිනිසුන් ශාන්ත බවට, දැමුණු අය බවට පත්කිරීම සඳහා මහා කරුණාවෙන් කටයුතු කළහ. වසර 45ක් මුළුල්ලේ ගම් දනව් සැරි සරමින් සුවහසක් ලෝ දනන් සසර කතරින් එතෙරෙ කරවීම සඳහා ශාස්තෲන් වහන්සේ නමක් වශයෙන් කළ මෙහෙය අපරිමිතය. බුද්ධත්වයට පත් වුවද ලෝක ස්වභායට අනුව වයෝවෘද්ධත්වයට පත් අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යන බුදු වදන ප්‍රකාශ කරමින් සියලු සංස්කාර ධර්මයන් විනාශවන සුළු බවත්, නොපමාව කුසල් දහම් ප්‍රගුණ කර මේ දුක්ඛිත සසරින් එතෙර වීම සඳහා අප්‍රමාදීව කටයුතු කරන ලෙස අන්තිම බුද්ධ වචනය ද දේශනා කරමින් උපවත්තන සල් උයනේ දී පරිනිර්වාණයට පත් වූයේ ද උතුම් වෙසක් පුර පසළොස්වක පෝදිනකය.

බුද්ධ චරිතයේ මෙම අසිරිමත් සිදුවීම සිදුවූ උතුම් වෙසක් පුර පසළොස්වක පෝදින අර්ථවත් ලෙස ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී අප සිත් සතන් ශාන්ත බවට පත් කර ගැනීමට අදිටන් කර ගනිමු.

තෙරුවන් සරණයි

ආමිස පූජා ප්‍රතිපත්ති පූජා අර්ථවත් ලෙස සිදුකරමු

ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි

ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාමය

කොළඹ 03

advertistmentadvertistment
advertistmentadvertistment