අපේ මුහුදට පැන්න ඉන්දීය ධීවරයන් අල්ලන්න ගිය නාවික සෙබළා අනතුරකින් මරුට

320

උතුරු මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා නිලධාරියකු අනතුරකින් මරුමුවට පත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල, ඉබ්බාගමුව පදිංචිව සිටි 40 හැවිරිදි නාවික හමුදා විශේෂ බළගණයේ නාවිකයෙකි.

යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (25දා) අලුයම ක්‍රියාත්මක කර තිබිණි.

එම මෙහෙයුමට උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා යොදාගෙන තිබිණි.

එහිදී අනවසර ධීවර කටයුතුවල නිරත වී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ධීවරයන් 10 දෙනකු නාවික හමුදා භාරයට ගත් අතර එම අවස්ථාවේ එම ඉන්දීය ධීවරයන් අනතුරුදායක ලෙස සිය යාත්‍රාව හැසිරවීමට කටයුතු කර ඇත. එහිදී නාවික හමුදා විශේෂ බළගණයේ නාවිකයකු බරපතළ තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසට ද හානි සිදුවී ඇතැයි නාවික හමුදාව පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment