ජනතා අරගලයෙන් පසු දිග හැරෙන මාවත

356

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛ ආයතනයවන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනීෂියස් ප්‍රනාන්දු මහතා අරගල ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සෑමවිට ම රටේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටිනු ලබන බව පවසා ඇත.

එසේම පසුගිය මාස කිහිපය පුරාවට නිර්පාක්ෂික පුරවැසියන් විසින් දියත් කරන ලද අවිහිංසාවාදී අරගලයට හා එයින් ලද ජයග්‍රහණයට අපි සුබ පතමු. මෙහිදී විශේෂයෙන්ම මහජනතාව අපේක්ෂා කරන්නේ රටට ගැළපෙන ක්‍රමවේදමය වෙනසක් බව අප කර්මාන්ත මණ්ඩලයේ අදහසයි. තවද පුරවැසියන් විසින් දූෂණයට හා වංචාවට එරෙහිව සිය විරෝධය මෙලෙස ප්‍රකාශ කරමින් ඉල්ලා සිටින්නේ පවත්නා තත්ත්වයේ සාධනීය වෙනසකි. ඉසිලිය නොහැකි අධික ජීවන වියදමත්, ජන ජීවිතයට ඍජු බලපෑමක් එල්ල කරන විදුලිය, ගෑස්, ඉන්ධන හා ඖෂධ යනාදිය නිසා මාස ගණනාවක් පුරාවට පීඩාවිඳි ජනතාවට තිබූ එකම විකල්පය පාලනයේ වෙනසක් පතා වීදි බැසීම ය. ඒ අහිංසක අරගලය ඔවුන් විසින් ජයගෙන ඇත. තවද ජනතා අරගලයේ සංකේතාත්මක ජයග්‍රහණ ලෙසින් ජනතාව විසින් අත්පත් කරගන්නා ලද ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය යන මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන රජයේ ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා පත්වන ඕනෑම පාලකයකුට අවශ්‍යවන නිසා, එම රාජ්‍ය දේපළ කඩිනමින් නිසි බලධාරීන් වෙත නැවත ලබාදීමට අරගලයෙහි නියතු ජනතාව විසින් ගනු ලැබූ තීරණයට ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සිය සතුට ප්‍රකාශ කරනු ලබයි.

කෙසේ වුවද, ජනතා අරගලයේ ජයග්‍රහණයෙන් පසු රට අපේක්ෂිත ප්‍රශස්ථ මට්ටමකට රැගෙන ඒමට නම්, මුලින්ම රටේ ව්‍යවස්ථානුකූල දේශපාලන ස්ථාවරභාවයක් ස්ථාපනය විය යුතුයි. ඉක්බිතිව, ජනතාවගේ මූලික මෙන්ම දැවෙන ප්‍රශ්නවන අධික ජීවන වියදම පහත හෙළීම හා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන බෙහෙත්, ඉන්ධන, ගෑස් සහ විදුලිය අඛණ්ඩව ලබාදීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුය. ඒ හා සමගාමීව පාර්ලිමේන්තුව තුළ පමණක් නොව, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය හා රාජ්‍ය ව්‍යවසායක ආයතන සියල්ල නිසි ක්‍රමවේදයකට අනුව ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට ද කාලය එළඹ ඇත. සෑම ආකාරයකම අකර්යක්ෂමතාවයන්, අනිසි වරප්‍රසාද, අල්ලස්, දූෂණ, දුර්වල කළමනාකරණය, දේශපාලන අතපෙවීම් ආදී විෂමාචාරයන්ගෙන් රට නිරුද්ධ කිරීමට අභිනවයෙන් පත්වන නායකත්වය කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම එවැනි ක්‍රමවේදමය වෙනසක් තුළින් රටේ කර්මාන්ත අංශයේ ප්‍රගමණයක් ඇතිවන බව අප හුදෙක්ම විශ්වාස කරන්නෙමු. ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් බිහිවීම මත රට නව පුනරුදයක් කරා ගමන් කරනු ඇත.

ජනතා අරගලයෙන් පසු විවර වන්නේ අක්‍රමවත්ව පැවැති ක්‍රියාපිළිවෙත් වඩා ක්‍රමවත් හා විනිවිදභාවයෙන් මෙන්ම වගවීමක් සහිතවත් සිදුකිරීමට ඇති අවස්ථාවයි. එහි දී කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් තුළින් උසස් ජනතා සේවයක් ලබාදීමට කටයුතු කරනවා සේම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායක ආයතන අඛණ්ඩව පාඩු ලබන තත්ත්වයෙන් මුදාලීමට කටයුතු කළ යුතුය. රාජ්‍ය සේවයේ අතිරික්තයන් හඳුනාගෙන එම අතිරික්තය සේවක අවශ්‍යතා ඇති අංශ හෝ ඒකක වෙත අනුයුක්ත කිරීම සිදු කළ යුතුය. විශේෂයෙන්ම දේශපාලන පත්වීම් ලෙස රැකියා ලබාදීම සෑම ආණ්ඩු කරවන පක්ෂයක් විසින්ම නිතිපතා සිදුකළ බව නොරහසකි. මේවායේ අනිසි හා අහිතකර ප්‍රතිඵල ශ්‍රී ලන්කන්, ලංවිම, ඛනිජ තෙල්, වරාය අධිකාරිය, ලංගම, දුම්රිය වැනි ආයතන මනාව පැහැදිලි කරයි. දිගින් දිගට ම පාඩු ලබන මෙම ආයතන අප ආර්ථිකයට දැරිය නොහැකි බරකි. මෙම ආයතන ඉක්මනින්ම ප්‍රතිව්‍යුහගත කළ යුතුය. රටේ අපනයන අදායම වැඩිවිය යුතුය. සංචාරක ක්ෂේත්‍රය දියුණු විය යුතුය. දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ හා සේවා සඳහා රටින් පිටවන විදේශ විනිමය නැවැත්වීමට උත්සාහ කළ යුතුයි. උදාහරණ වශයෙන් උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සඳහා අප විසින් විශාල විදේශ විනිමයක් වැය කරයි.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය වශයෙන් අප සෑමවිටම කර්මාන්ත ක්ෂේත්‍රයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය වීම අපේක්ෂා කරමු. එය ළඟා
කරගැනීමට නිරතුරුව වෙහෙසෙමු. දේශීය කර්මාන්ත සංවර්ධනය තුළින් රටෙහි දළ දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමකට රැගෙන ඒමට හැකිවන අතර ආර්ථික වර්ධනයක් රටට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. තවද කර්මාන්ත අංශයේ ප්‍රගමනය නිසා රටෙහි අපනයන ප්‍රමාණය ඉහළ යෑම සහ ආනයන සීමාවීම මත විදේශ විනිමය අර්බුදයට සුවිසල් විසඳුමක් ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇත.

අරගලයේ සැබෑ ජයග්‍රහණයට සහ අනාගත සිහිනයට අරුතක් දීමට නම් ව්‍යවස්ථාදායකයේ අව්‍යාජයත්වය සහ ව්‍යවස්ථාවට අනුකූලව එහි සංයුතිය, කැපවීම සහ වගවීම මෙන්ම රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණ යාන්ත්‍රණය ද සාධනීයව වෙනස් විය යුතුය.

අබේරත්න මුතුගල
මහලේකම්
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය

advertistmentadvertistment
advertistmentadvertistment