මට අභියෝග ගොඩක් තිබුණා

තත්පරයක් දෙන්න, සික්ස් පැක්, වියළි වැනි ටෙලි නිර්මාණ තුළින් ඔබ හමුවට එන ඇය නමින් තරින්දි ප්‍රනාන්දුය. සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘My Red Comrade’ සිනමා නිර්මාණයේ ද තරින්දි විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඇගේ සිනමා නිර්මාණය ගැන වගේම ටෙලි නාට්‍ය රංගනය ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහට ලක්කරනවා. ඉතින් අතිශය කාර්යබහුල රංගන දිවියක නිරතවන තරින්දි සමග අපි පුංචි සංවාදයක පැටලුණා. මේ එහි පෙළගැස්මය.

තරින්දිව මේ දවස්වල වෙනස් වෙනස් චරිත ඔස්සේ වෙනස්ම නිර්මාණවලින් පුංචි තිරයේ දකින්න ලැබෙනවා?

ඇත්තටම මම මේ ආපු ගමන ගැන හදවතින්ම සතුටු වෙනවා. මේක එකපාරටම අහසින් පාත්වෙච්ච ගමන් නෙමෙයි. ක්ෂේත්‍රයේ කිසිම සම්බන්ධතාවයක් නැතිව, මගේ මහන්සියෙන් වගේම, මගේ එකම හීනය රංගනය හින්දා මම මෙතනට ආවා. කැපවීම සහ ඉවසීමේ ප්‍රතිඵල තමයි අද මම මේ භූක්ති විඳින්නේ. අනික ඉක්මනින් ජනප්‍රිය වෙන්න සහ වැඩවලට හදිසියකුත් තිබුණේ නෑ.

අභියෝගයක් නැතිනම් මේ ගමන රහක් නැහැ - තරින්දි ප්‍රනාන්දු

මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතාබහ වෙන්නේ ‘තත්පරයක් දෙන්න’ පූජනී ගැනයි?

තත්පරයක් දෙන්න සුපුන් රත්නායක මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මම මීට කලින් ඔහුගේ නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. නමුත් ඒවා විකාශය වුණේ නැහැ. සුපුන් අයියත් එක්ක කරපු වැඩවලින් මුලින්ම විකාශය වුණු නාට්‍ය තමයි තත්පරයක් දෙන්න.

පූජනී ගැන මොකද හිතෙන්නේ?

මම හිතනවා මට මේතාක් කල් ලැබුණු චරිතවලින් මගේ රංගන පරාසය තුළ විශාල පරාසයකට ගමන් කරන්න පුළුවන් චරිතයක් තමයි පූජනී කියන්නේ. රංගන ශිල්පිනියක් හරි ආසයි ලස්සන චරිත නිරූපණය කරන්න. මාත් චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න හරි ආසාවෙන් කාලයක් බලාගෙන ඉන්න කොට මට මේ පූජනීගේ චරිතය සුපුන් රත්නායක මහත්මයා ලබාදුන්නා. රසික අයියා මගේ රංගන පරාසය හොඳින් හඳුනාගෙන ලස්සනට එහාට මෙහාට යන්න පුළුවන් ආකාරයට පිටපත ලියලා තිබෙනවා. තත්පරයක් දෙන්න කියන්නේ මගේ රංගන ජීවිතයට අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබුණු තැනක්. කෙටියෙන් කිව්වොත් තත්පරයක් දෙන්න දර්ශන තලය නනිකරම වැඩමුළුවක්.

ඔබ රංගනයෙන් දායක වුණු My Red Comrade චිත්‍රපටයත් තිරගත කිරීම ආරම්භ කළා?

රංගන ශිල්පිනියක් වුණාට පසුව අපේ හීන පියවරෙන් පියවර දියුණුවෙනවානේ. ඉතින් බැංකුවේ වැඩකරන කාලේ මම ආසාවෙන් හිටියේ රඟපාන්න. ඉතින් ඒ කාලේ හිතුවේ මම කොහොම හරි රඟපාන්න යනවා කියලා. රඟපෑමට ආවට පස්සේ මම හිතුවා මොකක්ම හරි නිර්මාණයක රඟපාන්න. ඉතින් ඊට පස්සේ හිතුවා විවිධ වූ චරිත ලැබෙනවා නම් හොඳයි කියලා. මට ඒ අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් මම වැඩ කළා වගේම ඉවසුවා. එතැනින් පසුව මගේ හීනය තිබුණේ සිනමාවට පය තබන්න. ඒ අවස්ථාවත් මට සුරංග අල්විස් මහත්මයාගේ ද ගේම් වගේම උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ චිත්‍රපට හරහා ලැබුණා. එතැනිනුත් එහාට මට ඕනෑ වුණේ මිනිස්සුන්ට ආදරයක් වෙන, මට අභියෝගයක් වෙන සහ ක්ෂේත්‍රයේ අනෙක් නිර්මාණවලට අභියෝගයක් වෙන නිර්මාණයක් තුළින් චරිතාංග නිළියක් විදිහට සිනමාවෙන් ඉදිරියට යන්න. ඉතිං මම හිතනවා මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය My Red Comrade කියලා. ඉතිං මට ඒකට ආරාධනා කළේ සුදත් මහදිවුල්වැව මහත්මයා. ඒකට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මොකද මම ඔහුත් සමග වැඩ කරලා නැහැ. ඔහු අවුරුදු 19කට පසුව තමයි මේ සිනමා නිර්මාණය කරන්නේ. අවුරුදු 19ක් කියන්නේ මගේ වයසින් භාගයක්. මම බැංකු ක්ෂේත්‍රයේ හිටපු හින්දා ඔහුව දැනගෙන හිටියේ නැහැ.

ටෙලි නාට්‍යවල දකින තරින්දි නෙමෙයි රිදී තිරයෙන් අපි දුටුවේ?

මම රඟ පෑ එක නාට්‍යයක් නරඹලා ඒකෙන් විනිශ්චය කරලා තමයි ඔහු මාව මේ සිනමා නිර්මාණයට තෝරා ගත්තේ. ඒ වගේම ක්ෂේත්‍රයේ විවිධ කතා පැතිරිලා තියෙද්දී විවිධ අධ්‍යක්ෂවරු තරින්දි හැම චැනල් එකකම තියෙන ටෙලි නාට්‍යයක ඉන්නවා කියලා කියද්දීත් ඔහු මාව මේ නිර්මාණයට ගත්තා. ඒ වගේම ඇයගේ

මූණ දැන් කොමන්, ඇයව අරගෙන කොහොම ද චිත්‍රපටයක් දුවවන්නේ කියලත් යන කතා තියෙද්දි සුදත් අයියා ඒ අභියෝගය භාරගෙන ටෙලි නාට්‍ය තරින්දිව වෙනම විදිහකට අඹලා My Red Comradeහි ඇයගේ චරිතයෙන් මිනිස්සුන්ට දුන්නා.

ඔබ කොහොමද මේ අභියෝගයට මුහුණ දුන්නේ?

මේක දවස් දෙකකින් තුනකින් සැලසුම් කරලා ක්ෂණිකව කරපු චිත්‍රපටයක් නෙමෙයි. සුදත් මහත්මයාගේ නිර්මාණවලදී අගය කරන්න ඕනෑ දෙයක් තමයි ඔහුගේ සැලසුම්කරණය ඉතාමත් විශිෂ්ටයි. මේ නිර්මාණය කරන්න කලින් ඔහු මුළු නිෂ්පාදක කණ්ඩායමටම වැඩමුළු පවත්වල රැස්වීම් ගණනාවක් තිබ්බා. අන්තිමේ මේක රූගත කිරීම් ආරම්භ කරනකොට අපිට ලොකු මැජික් එකක් වුණේ නැහැ.

පිටපත අතට ලැබුණහම බය හිතුණේ නැති ද?

බය හිතුණා. එකපාරටම මට හිතුණා මේක හීනයක් ද කියලත්. මොකද සුදත් මහදිවුල්වැව මහත්මයා ගැන මට මහ ලොකු දැනුමක් තිබුණේ නෑ. මොකද අවුරුදු 19කට කලින්නේ ඔහු නිර්මාණකරණයේ යෙදුණේ. එතකොට මම ක්ෂේත්‍රයට එන්න හිතලවත් නෑ. මම දන්නේ නැති නිසා ඔහු ගැන විපරම් කරලා බැලුවා, හැමෝම කිව්වේ දෙපාරක් හිතන්නේ නැතිව නිර්මාණය භාරගන්න කියලයි. මොකද මේක හැමෝටම හම්බවෙන්නේ නැති අවස්ථාවක්.

My Red Comrade සිනමා නිර්මාණයේදී ඔබ හැම තත්පරයක්ම ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයට ලක්වෙනවා. ප්‍රේක්ෂකයාගේ ඇස ඉවතට ගන්න දෙන්නේම නැහැ?

මට අභියෝග ගොඩක් තිබුණා. සුදත් මහත්තයා මට මේ චරිතය කරන්න පුළුවන් ද කියලා ඇහැව්වහම ඒ වෙලාවේ මම දුන්නු උත්තරය රැකගන්න ඕනෑ. ඊළඟ අභියෝගය ක්ෂේත්‍රයේ පැතිරෙන කතා ටික, මම නැති කරනවා කියන අභියෝගය.

ටෙලි නාට්‍ය තරින්දිට චිත්‍රපට කරන්න පුළුවන් කියන අභියෝගය. ඉතිං ඒ අභියෝග සියල්ල මැද මම මේ චිත්‍රපටයට සූදානම් වුණා. ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට ගිහිල්ලා ඇවිල්ලා නිදිවර්ජිතව චිත්‍රපටයේ ඩයලොග් ටික පාඩම් කරලා ආපසු පහුවෙනිදාට රූගත කිරීම්වලට ගියා. මට ඕනෑ වුණේ සුදත් අයියා මා ගැන තියපු විශ්වසනීයත්වය ආරක්ෂා කරන්න. මේක අපිට ලොකු අභියෝගයක්. මොකද මේකේ තියෙන්නේ චරිත දෙකයි. අනික ගොඩක් චිත්‍රපටවලට කාන්තාවන් ගොඩක් ඉන්නවා. දැන් මේ චිත්‍රපටයේ ඉන්නේ මම විතරයි. එතකොට මම තමයි මුළු ප්‍රේක්ෂකාගාරයටම ආකර්ෂණීය වෙන ආකාරයට හැසිරෙන්න ඕනෑ. ඉතින් ඔහු මට ඒ සියල්ලම කියලා දුන්නා. මේ චිත්‍රපටය මේතරම් සාර්ථක වුණේ මුළු නිෂ්පාදන කණ්ඩායමම සාමූහික කැපවීමෙන් සිදුකළ නිසා.

ඔබ ලංකාවේ ටෙලි නාට්‍යවල කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක් හින්දා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක රඟපෑම ගැන බියක් ආවේ තැනි ද?

බයක් කියලා කියන්න බැහැ. නමුත් පොඩි සැකයක් තිබුණා, මොකද තරින්දි කියලා කියන්නේ අභියෝග සමග ඉදිරියට යන්න කැමැති චරිතයක්. මම මේවනතෙක් ආපු ගමන තුළ හැමදේම සාර්ථකව සිදුකර ගත්තේ අභියෝගත් එක්ක තමයි. ඇත්තටම අභියෝගයක්, කුතුහලයක්, බයක් නැතිනම් අපේ මේ ගමනේ කිසිම රහක් නැහැ. ඉතින් අභියෝගයත් එක්ක යන ගමන තමයි රස. මට මුලින්ම ඒ දර්ශනය දැකලා පොඩි බයක් ආවා. ගොඩක් අය ඉක්මනින් ජනප්‍රිය වෙන්න නෙගටිව් මාර්කටින් තෝරා ගන්නවා. කියන්නන්වාලේ වාගේ අභියෝග භාර ගන්නවා තමන් පොරක් කියලා පෙන්වන්න ඕනෑ නිසා. නමුත් මම අභියෝග භාරගන්නේ මගේ ප්‍රතිපත්ති රාමුව ඇතුළේ ලැබෙන චරිත පමණයි. මම චරිතාංග නිළියක් වුණාට සමස්තයක් විදිහට මුලින්ම මම ගැහැනියක්. ගැහැනියක් විදිහට මම මගේ සීමාමායිම් වලින් ඔබ්බට නොගිය දර්ශනයක් තමයි මේ චිත්‍රපටය ඇතුළේ තිබුණේ. මේ චිත්‍රපටයෙන් කතාබහ වෙන දර්ශනය සහ ගැඹුරු බව හින්දා ඒ දර්ශනය කතා නොකළ යුතු පුංචි දර්ශනයක්. ඒකට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය ලොකු පණිවුඩයක් මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයාට ලබාදෙනවා.

දිනේෂ් විතාන
ඡායාරූපය – චේතිය ලහිරු

advertistmentadvertistment
advertistmentadvertistment