රූකඩ කලාව අනෙකුත් කලාවන් මෙන් මිනිසාගේ වින්දන ශක්තිය ප්‍රබල කිරීම සඳහා යොදා ගන්නා කලාවකි. ඉතාම කුඩා රූකඩයේ සිට දැවැන්ත රූකඩ දක්වා නිර්මාණය වන මෙම රූකඩ විවිධ අය විවිධ ලෙසින් අර්ථ නිරූපණය කරති. ලතින් බසින් ‘පූපා’ (Pupa) යනුවෙන් ද, ප්‍රංශ භාෂාවෙන් ‘පුපී’ (Pupee) යනුවෙන් ද ඉංග්‍රීසි භාෂාවෙන් ‘පපට්’ (Puppet) යනුවෙන් ද රූකඩ හැඳින්වේ. මේ කුමන ආකාරයකින් හැඳින්වුව ද මෙයින් අර්ථවත් වන්නේ ‘බෝනික්කා’ යන අදහස බව රූකඩ කලා විශේෂඥයෝ පවසති.
රූකඩ වැනි අජීවී වස්තූවකින් මිනිස් හැඟීම් ප්‍රකාශ කරන්නට හැකි දැයි මෙහි දී ප්‍රශ්නයක් පැන නඟී. රූකඩ යනු ‘සම්පූර්ණ රූපයකින් අඩක්’ යන තේරුම ගෙන දෙයි. එහි අනෙක් නොපෙනෙන කොටස වන්නේ රූකඩය ක්‍රියා කරවන්නා ය. ඔහුගේ කාර්යය වෙන්නේ රූකඩයේ ආත්මය ප්‍රේක්ෂකයාට කාවැද්දවීම සඳහා සිදුකරන්නා වූ චලනය අපූර්ව වින්දනයක් බවට පත්කර චමත්කාරයක් මැවීම යි. එකී චමත්කාරය නරඹන්නා තුළ විචිත්‍රවත් එකක් බවට පත්වෙන්නේ කුතුහලය මුල් කර ගනිමිනි.
රූකඩ කලාව ප්‍රධාන වශයෙන් පැවත එන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වන අතර, එහි පාරම්පරික රූකඩ සම්ප්‍රදායක් පවතී. එම සම්ප්‍රදායට අමතරව රූකඩ කර්මාන්තය සිදු කරන ශ්‍රී ලංකාවේ සිටින අනෙක් එකම රූකඩ කණ්ඩායම පිළිබඳව හෙළිදරව් කිරීම මෙම ලිපියේ අරමුණ යි.
ගනේමුල්ල, වැලිපිල්ලෑව පදිංචි ආනන්ද කහඳවආරච්චි මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු එහි අධ්‍යයන කටයුතු සිදු කරන අවදියේ එනම්, 1975 වර්ෂයේ අම්බලන්ගොඩ ‘ජයන්ති’ නම් රූකඩ කණ්ඩායම විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ දී රූකඩ සංදර්ශනයක් පවත්වනු ලැබ තිබේ. මෙම රූකඩ සංදර්ශනය නැරඹීම සඳහා ඔහු සමග එම ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් කිහිපදෙනකු ද සහභාගි වී ඇත.
සංදර්ශනය අවසානයේ දී අම්බලන්ගොඩ රූකඩ ශිල්පීන් හමුවූ ආනන්ද මහතා සහ ඔහුගේ මිතුරු කැල රූකඩ පිළිබඳ සියලුම විස්තර ඔවුන්ගෙන් අසා දැනගත්තේ, ඒ පිළිබඳව තිබූ උනන්දුවත්, රූකඩ කලාව පිළිබඳ තිබූ ලැදියාවත් හේතුවෙනි. නැවත ගම්බිම් බලා පැමිණි මිතුරු කැල ‘වැලිපිල්ලෑව එක්සත් කලා පර්ෂදය’ නමින් සංගමයක් පිහිටුවා ගෙන රූකඩ කලාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් රූකඩ නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ.
‘වැලිපිල්ලෑව එක්සත් කලා පර්ෂදය’ 1976 වර්ෂයේ වෙසක් පොහෝ දින ප්‍රථම වරට ඔවුන් විසින්ම නිර්මාණය කරගන්නා ලද අනර්ඝ රූකඩ නිර්මාණ යොදා ගනිමින් රූකඩ සංදර්ශනයක් පවත්වනු ලැබී ය. ඉන් අනතුරුව 1977 සිට 1983 දක්වා පුරා වසර හයක් නොකඩවා එක දිගට රූකඩ සංදර්ශන පවත්වන්නට ඔවුන් කටයුතු කර තිබේ. එවකට තරුණයන්ව සිටි නිර්මාණකරුවන් වැඩිහිටියන් බවට පත්වීමත් සමග රැකියාවල නිරතවීම, විවාහ වීම, දරුවන්ගේ සහ පවුලේ වැඩකටයුතු වැනි විවිධ කරුණු හේතුවෙන් ඔවුන්ගේ රූකඩ නිර්මාණ කටයුතු එතැනින් නතර වී තිබේ.
ඉන් වසර තිස් දෙකකට පසු එනම් වර්ෂ 2015 දී නැවත මෙම සංගමය පුනරුත්ථාපනය කර වැලිපිල්ලෑව ප්‍රදේශයේ දී අති උත්කර්ෂවත් අයුරින් රූකඩ සංදර්ශනයක් පවත්වා ඇති අතර, එහිදී පැය දෙකහමාරක් පුරා රූකඩ මගින් ‘කාලගෝල කතාව’ පෙන්වා තිබේ.
ඉන් වසර දහයකට පසු මෙම වසරේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන දින තුනක් පුරා වැලිපිල්ලෑව මංසන්දියේ දී රූකඩ සංදර්ශන පැවැත්විණි. මෙවර පැවැති එම රූකඩ සංදර්ශනවල විශේෂත්වය වූයේ දිගු ජාතක කතා වෙනුවට කෙටි නාට්‍ය හා නැටුම් මෙම රූකඩ සංදර්ශනවලට ඇතුළත්ව තිබීම යි. මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දී තිබුණේ එක්සත් කලා පර්ෂදයේ සාමාජිකයන් වන නන්දසිරි විජේතුංග (නීල් විජේතුංග), සෝමදාස තේවගේ, ගුණසිරි බටේපොළ, ආනන්ද කහඳවාරච්චි, සිරිල් මල්ලවාරච්චි හා පියල් රාජකරුණා යන ශිල්පීන් ය.
රූකඩවල එක් එක් චරිතයට අවශ්‍ය දෑ තෝරා ගැනීමේ දී ඒ ඒ ද්‍රව්‍යවල මතුපිට ස්වභාවය, හැඩතල, වර්ණ, ද්වීමාන බව, ත්‍රිමාණ ලක්ෂණ නිරීක්ෂණය කොට ඒ ඒ චරිතවලට පණ පෙවිය යුතු ය. තිර නාටකයක් ලිවීම, එයට රූප ඇඳීම, එම රූප කපා ගැනීම, පාට ගැන්වීම, වෙස් ගැන්වීම හා සැරසිලි කිරීම සිදුකළ යුතු ය. නිර්මාණය කරගත් රූපයේ චරිතයට අනුව නාදමාලා පිහිටුවීම, රංගනය, වේදිකා සැරසිලි, ආලෝකකරණය, තිර යෙදීම ආදි සියල්ලක්ම අන්තර්ගත වන්නේ රූකඩ කලාවට නිසා රූකඩ කලාව බහුවිධ කලා මාධ්‍යයක් ලෙස සැලකේ.
නූල් රූකඩ ලෝකයේ අති පැරණිම රූකඩ කලාව යි. නූල්වලින් මෙන්ම, නූල්වලට වඩා තරමක් ගණකමින් යුත් නූල් වැනි කම්බිවලින් පුරාතන යුගයේ රූකඩ නැටවූ බවට තොරතුරු හෙළි වී තිබේ. කදුරු ලීයක් ගෙන මාසයක් පමණ මඩෙහි ඔබා තබා පදම් කර, එයින් සමානුපාතිකව රූප කපා කොටා වේලා පසුව සාදිලිංගම්, ගොකටුල, ලාම්පු දැලි එකිනෙක මිශ්‍ර කරමින් රූප සායම් කර තිබේ. රූප සායම් කිරීමෙන් පසු වේලා දොරණ තෙල් මිශ්‍ර කොට රූපයේ මතුපිට ගල්වන අතර, එයින් රූකඩ රූපය ආරක්ෂා වේ. පසුව ඇඳුම් පැළඳුම් සැරසිලි කරනු ලැබේ.
යතුරු පුවරු යොදා රංගනයට සුදුසු ලෙස සකසා ඉදිරිපත් කරන රූකඩ නාට්‍ය ‘නූල් රූකඩ කලාව’ යි. මේ ආකාරයේ රූකඩ කැටයම් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් වන සෝමදාස හේවගේ හා ගුණසිරි බටේපොළ යන මහත්වරුන් මෙහි ප්‍රධාන ශිල්පීන් වේ. නූල් යොදා රූකඩ නිමකළ පසු යතුරු පුවරුවේ ආධාරයෙන් රූකඩය අහසේ පාවී යයි. මෙහි දී එම රූකඩවල යටිපතුල්වලට ඊයම් තහඩු යොදනු ලැබේ. ඉන් ස්වභාවික නළුවකුගේ ගමන් මග නිරූපනය වේ. රූකඩයකට අවම වශයෙන් නූල් 4ක් අවශ්‍ය අතර, සංකීර්ණ හැඩ ලබා ගැනීමට නූල් 8, 12, 24ක් ආදී වශයෙන් යොදනු ලැබේ.
මේ සඳහා මෙම ශිල්පීන්ට කිසිදු ආධාර මුදලක් නොලැබෙන අතර, ඔවුන් එවැන්නක් බලාපොරොත්තු වන්නේ ද නැත. තම වියදමින් මෙවැනි සංදර්ශන කටයුතු සිදු කරන්නේ වර්තමාන පරපුරට දැනගැනීමට බව ඔවුහු පවසති. මුල් පරපුරේ ශිල්පීන් මියයෑමත්, වර්තමානයේ ශිල්පය ලබා දීමට කලාවට හිතැති අය නොවීමත් හේතුකොට ගෙන ලොව පුරා ආකර්ශනීය මාධ්‍යයක් වන රූකඩ කර්මාන්තය ඉදිරි අනාගතයේ දී ශ්‍රී ලංකාවට ක්‍රම ක්‍රමයෙන් අහිමි වී යනු ඇතැයි සිතේ.
(විශේෂ ස්තුතිය : මෙම ලිපිය සැකසීම සඳහා තොරතුරු ලබා දුන් රූකඩ ශිල්පී නීල් විජේතුංග මහතාට)
● නිමල්ෂි රත්නායක
පළමු වසර, ශාස්ත්‍ර පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය.