ටෙලිකොම් පෞද්ගලික කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නෑ- මහාචාර්ය රොහාන් සමරජීව

164

රජයේ දත්ත පිටතට යනවා කීම මහා මුලාවක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා, ජාතික ආරක්ෂාව නමැති වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් පැවසීය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

කිසිදු විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බව පෙන්වා දුන් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේද සඳහන් කළේය.

වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමක් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල් හි කොටසක් තිබුණත්, කළමනාකාරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ටේ්‍රලියානු සමාගමකටයි. ආණ්ඩුවේ සම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබා ගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතනය විසින් තමයි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබුණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්.

යුද්ධයක් තිබූ කාලයේදීත් ජංගම දුරකථන සමාගම් හතරක් සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරි විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ. ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියව යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.

ටෙලිකොම් ආයතනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට අයිති වෙලා තිබූ කාලයේ සියලුම ජාත්‍යන්තර ඇමතුම් ගියේ කොළඹ ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මූලස්ථානයෙන්. ඒකට යම්කිසි හානියක් වුණොත් ලංකාවම ජාත්‍යන්තරයෙන් වෙන් වෙනවා. වයර් සහ සැටලයිට්වලින් වුණත් මෘදුකාංග පද්ධතියට හානි වුණොත් සමස්ත ජාලයම ඇනහිටිනවා. මුළු මෘදුකාංග පද්ධතියට විකල්ප ක්‍රමවේදයක් නැහැ.

ආණ්ඩුව ටෙලිකොම් පාලනය කරද්දිත් එහෙම තර්ජනයක් ජාතික ආරක්ෂාවට තිබුණා. එදා එල්ටීටීඊ සංවිධානය අවස්ථා දෙකකදී බෝම්බ ප්‍රහාර එල්ල කළා. පෞද්ගලීකරණයෙන් පසුව අපි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ජපන් සමාගමට උපදෙස් දුන්නා. ඔවුන් වහාම අවශ්‍ය ආයෝජනය කරලා විකල්ප ක්‍රමවේදයක් වෙනත් ස්ථානයක ස්ථාපිත කළා. සියයට සියයක් ආණ්ඩුවට අයිති කාලයේත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාව ගැන එදා පාලකයන් නොසලකා හැරියා. අවදානම් තැන අපි එදා හඳුනා ගත්තා. ඒ නිසයි ජපන් ආයෝජනය යටතේ විකල්ප ස්ථානයක බැකප් සයිට් එක හැදුවේ.

හුදෙක් රජයේ ආයතනයකින් කරන්න බැරි වූ දෙයක් ජපන් සමාගම කළා. රජයේ ආයතනවල යටිතල පහසුකම්වල ආරක්ෂාව ගැන බහුතරයක් සොයා බලන්නේ නැහැ. රජය සතු ආයතනවලට ආයෝජනය කරන්නත් බැහැ. සල්ලිත් නැහැ. මේවා පෞද්ගලීකරණය කරන්නේ යම් නියාමනයක් සහිතවයි. ඒ වගේම ඔවුන් අපි කියන දේවල් අහන්න ඕනෑ. උදාහරණයක් විදිහට එදා ටෙලිකොම් සහ ජපන් සමාගම විසින් කළ වරදක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකක අලාභයක් විඳින්න සිදුවුණා. නෛතික වශයෙන් දඩයක් නොවුවත් එම මුදල යළි පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කළා.

ඇමතුම් ලබා ගන්නේ වට්ස්ඇප්වලින්. වට්ස්ඇප් අයිති කාටද? වට්ස්ඇප්වලින් හුවමාරු වන දත්ත ගබඩා වෙලා තිබෙන්නේ විදෙස් රටවල. එනිසා ටෙලිකොම් වෙන්න පුළුවන් වෙනත් පෞද්ගලික ආයතනයකින් වෙන්න පුළුවන්, ඔවුන්ගෙන් අන්තර්ජාල සබඳතාව ලබා ගත්තා කියලා ඒ සමාගම්වලට දත්ත යන්නේ නැහැ. අනික් එක තමයි මේ හැම එකක්ම වෙනත් අයට පිවිසෙන්න බැරි විදිහට මුරපද සහ වෙනත් ක්‍රමවලින් අගුලු දමා තිබෙන්නේ. ඒ නිසා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළා කියලා රජයේ දත්ත පිටතට යනවා කීම මහා මුලාවක්.

ශ්‍රී ලංකාව තුළ ඩේටා මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. එකක් ටෙලිකොම් සමාගමට. අනිත් එක ඩයලොග් සමාගමට. මේවාවල රජයේ දත්ත ගබඩා කිරීම සඳහා කුලියට අරන් තිබෙනවා. හරියට බැංකුවක තිබෙන ආරක්ෂිත සේප්පුවකින් කිසියම් කෙනෙක් කොටසක් කුලියට ගන්නවා වගේ. එතකොට ඒ සේප්පුව පාලනය කරන්නේ කවුද? අදාළ බැංකුව ද? නැහැ. ඒ සේප්පුව කුලියට ගත් කෙනා ගාව තමයි යතුර තිබෙන්නේ. ඒ වගේ රජයේ දත්ත ගබඩාවලටත් පිවිසෙන්න පුළුවන් අදාළ නිලධාරියාට විතරයි. ජාත්‍යන්තර ක්‍රමය තමයි එය.

ෆයිල් කියන්නේ පරණ චින්තනයක්. දැන් තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කරගෙන තිබෙනවා. ආරක්ෂාව තර කර ගැනීමට පිටපතක් ලංකාවෙන් පිට තිබීමෙන් තමයි වැඩි ආරක්ෂාවක් තිබෙන්නේ. නමුත් එයට ප්‍රවේශ විය හැක්කේ අපට පමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment