අයි.එම්.එෆ්. එකෙන් ඉවත් නොවී නිදහස දිනා ගන්න බෑ

127

ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ

“අයි.එම්.එෆ්. එකෙන් ඉවත් නොවී ජනතාවට නිදහස දිනාදිය නොහැකි” යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

“ජනතාවගේ ප්‍රතිපත්තිය වැඩ කරන ජනතාවට” මැයෙන් සිය පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව 27 දා මරදාන සී.එස්.ආර්. ශලාවේදී පැවැති සංවාදයට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

නුවන් බෝපගේ මහතා මෙසේ ද කීවේය.

ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නෙ, හුදු මැතිවරණ පොරොන්දු මල්ලක් නෙවෙයි. ඒ ප්‍රතිපත්ති ඇතුළේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතිහාසයේ ඉඳලම අරගලවල හිටපු අය තමයි මෙතැන ඉන්නේ. මේ ප්‍රතිපත්තිය ඇතුළෙ තියෙන්නෙ ඔබ වැඩ බිමේ, අරගල බිමේ නියෝජනය කළ සටන් පාඨ.

දැන් අයි.එම්.එෆ්. එපා කිව්වම හැමෝම තක්බීර් වෙලා බලන්නෙ අපි දිහා. හැබැයි මෙතැන ඉන්න අය දන්නවා ඇයි ටෙලිකොම් පුද්ගලීකරණය කරන්නෙ, ඇයි විදුලිබල මණ්ඩලය විකුණන්න යන්නෙ, ඇයි ඊටීඑෆ් – ඊපීඑෆ් අරමුදල් කොල්ලකන්න සැලසුම් සකස් වෙන්නේ කියලා. මේ ඔක්කොම අයි.එම්.එෆ්. කොන්දේසි.

අපි ජනතාවගේ ප්‍රතිපත්තිය ඇතුළේ ඔබේ වැටුප් ප්‍රශ්නය කතා කළා. ඒක මඟහැරල යන්න අපිට බෑ. අපි මේවා ප්‍රතිපත්ති විදිහට ඉදිරිපත් කළාම ඔන්න දැන් සජිත් කියනවා එයා ආවාම 57,000ක් දෙනව ලු. ඒවගේම වතුකරයේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වෙච්ච 2,000 වැටුප් සටන් පාඨය අපිට මඟහැර යන්න බෑ. අපි ඒක අපේ ප්‍රතිපත්ති ඇතුළේ සඳහන් කරල තියෙනවා.

දැනට වැඩ කරන ජනාතාවගේ වෘත්තීය සමිති එකට එකතුවෙන්න සහ ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර ඇතුළේ තීරණ ගැනීමේ බලය නෛතිකව පිළිගත යුතු බව අපි කතා කරල තියෙනවා.

අපි දන්නවා කම්කරු නීති වෙනස් වෙන්න ඕන. හැබැයි රනිල් වික්‍රමසිංහ තනි කම්කරු නීතියක් ගෙනැල්ලා වැඩ කරන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය කොල්ලකන එකට අපිට එකඟ වෙන්න බෑ. වැඩ කරන ජනතාවගේ වැඩ දිනය පැය 8 ඉඳන් 6 දක්වාවත් අඩු කරන තැනටයි අපි දේශපාලන අරගලය මෙහෙයවන්න ඕන.

දැන් සමහරු ලංකාව දකුණු කොරියාවක් කරන්න, සිංගප්පූරුවක් කරන්න කතා කරනවා. ඒගොල්ලන්ට අමතක වෙලා ඒ රටවල කම්කරු ජනතාවගේ නිදහස අහිමි කරමින් ක්‍රියාත්මක වන ම්ලේච්ඡ නීති. ඒ ජනතාවගෙන් මරව මරවා වැඩ ගන්න හැටි.

අයි.එම්.එෆ්. එකෙන් ඉවත් නොවී කොහොමද වැඩ කරන ජනතාවට නිදහස දිනා දෙන්නෙ. අපි කොහොමද වැඩ කරන ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ. ඒ නිසා දැන් මෙතැන තියෙන්නෙ අයි.එම්.එෆ්. ප්‍රතිපත්තිය සහ ජනතාවගේ ඉල්ලීම් අතර ඝට්ටනයක්. අපිට මෙතැනදි බැහැ වැඩ කරන ජනතාව අමතක කරලා අයි.එම්.එෆ්. ප්‍රතිපත්ති පස්සෙ යන්න.

දැන් පාර්ලිමේන්තුව ඇතුළෙ සම්මත වුණා ආර්ථික පරිවර්තන පනත. ඒක ඇතුළේ ජනතාවගේ ජීවත අගාධයට ඇදල දාන්න, සමාගම් පෝෂණය කරන්න තමයි නීති ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් ඒ මජර නීතියට අපි එරෙහි වෙන්න ඕන නැද්ද?

අපි කියනවා මේ වැඩපිළිවෙළ ඔබ විසින් හදපු ප්‍රතිපත්තියක්. පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ කම්කරුවන් පිළිබඳ කරුණු ඔබ විසින් තමයි හැදුවේ. ඒ නිසා ඔබේ සැබෑ ප්‍රශ්න තමයි ඒ ප්‍රතිපත්තිය ඇතුළෙ තියෙන්නෙ.

මේ මැතිවරණය ඇතුළේ ජනතාවගේ වැඩපිළිවෙළ හැර වෙන ඕනෑම වැඩපිළිවෙළක් ජයග්‍රහණය කළොත් අයි.එම්.එෆ්. උගුලේ මේ රට හිර වෙන එක ස්ථිරයි. ඉන්දියානු මැදිහත් වීම්වලට මේ රට යටවෙන එක ස්ථිරයි. ඒක නිසා මේ ජනතාවගේ වැඩපිළිවෙළ වැඩකරන ජනතාව අතරට ගෙනියමු. ජනතාව අතර මේ සංවාදය තවදුරටත් වර්ධනය කරමු.

එළැඹෙන මැතිවරණය ඇතුළේ ජනතාවගේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න ජන අරගල සන්ධානය වෙනුවෙන් ඔබ ලබා දෙන හැම ඡන්දයක්ම ඉදිරියේදීත් අරගල බිමේ ඔබේ සටන් පාඨ නියෝජනය කරන්න අපිට ලැබෙන ශක්තියක්.


advertistmentadvertistment