යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය බලරහිත කරන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට අභියාචනාධිකරණය ඊයේ (31දා) වගඋත්තරකාර පාර්ශ්වයට කල් ලබා දුන්නේය.
එම පෙත්සම මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර මන්ත්‍රිවරයා මේ වනවිට වැඩ තහනමට ලක්කොට ඇති බව විනිසුරු මඬුල්ලට පැවැසීය. සිය සේවාදායකයාට එරෙහිව එකී පෙත්සම මගින් අතුරු තහනම් නියෝග කීපයක් ඉල්ලා ඇති බැවින් විරෝධතා ගොනුකිරීම සඳහා දින ලබාදෙන ලෙස වගඋත්තරකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ලබන 28 වැනි දිනට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඬුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා මාර්තු 30 වන දිනට පෙර ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය. පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි 14 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියම කළහ.
ඒ.ජේ.ඒ. අබේනායක