මෙන්න! හරක් ගාල් කරන්නට මිනිසුන් පන්නා දමන ආණ්ඩුවේ බලධාරීන්

555

උපන් බිමේ කල්ලතෝනියන් වූ මඩකලපුව දිවුලපොතාන ජනයාගේ කතා වස්තුව

යුද්ධයෙන් පසු පැමිණි ජනයා පැන්නීම පටන් ගත්තේ මෛත්‍රී ජනපති සමයේ

මෙහි තවමත් තියෙන්නේ ටී.එන්.ඒ. සංවිධානයේ පිල්ලිවලටත්, අන්තවාදීන්ගේ වුවමනාවටත් නැටවෙන කැලෑ නීතිය.

ඡන්ද අයිතිය ඉල්ලන්නට ගිය ජනතාවට මඩකලපුව පොලිස් නිලධාරීන් නගර මැද නිරුවත් කර පහර දීලා

මඩකලපුවෙන් එන ගවයෝ ආපසු යන්නේ වගාවත් කාලා ජීවිතත් උලාකාලා

මේ වන විට යුද්ධය නිමාව ගොස් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇත. ඉන් බැට කෑ බොහෝ දෙනෙකු තවමත් දැඩිසේ පීඩා විඳිමින් සිටිති. ඒ අතරින් මඩකලපුව දිස්ත්‍රික්කයේ තොප්පිගලට නුදුරෙන් පිහිටා ඇති දිවුලපොතාන ගම්මානයේ ජනයා තවමත් දුක් විඳින්නේ අන් කිසිවක් නිසා නොව ඔවුන් සිංහලයන් වීම නිසාය.

කලකට ඉහතදී මීනිමරු කොටින්ගෙන් දිගින් දිගටම බැට කෑ මෙම ගම්වාසීහු සාමය උදාවීමත් සමගම ගම්බිම් බලා පැමිණිය වුන්ය. නමුත් නැඟෙනහිර පළාතේ මඩකලපුවෙහි සිංහලයින් වීම කරුමයක් බවට පත්වීම නිසා දෝ තවමත් සිය දුඃඛිත ජීවිතයෙන් මිදෙන්නට අවස්ථාවක් උරුම වී නැත.

මෙම ප්‍රදේශය මුලින්ම ජනාවාස වී ඇත්තේ රජ සමයේය. ඔමුණු කන්ද පුරාණ රජමහා විහාරය ඇතුළු ඉපැරණි විහාරස්ථාන කිහිපයක නටබුන් අදටත් එහි මෙම අතීත උරුමයන් පිළිබඳව සාක්ෂි දරයි.

හැත්තෑව දශකය පමණ වන විට මෙම ප්‍රදේශයේ දිවුලපොතාන, හික්කාගල, මාරවිල සහ ඕමුණ ලෙසින් ගම් හතරක් තිබුණි. පවුල් 600කට වැඩි ප්‍රමාණයක් එම සමයේ මෙම ගම්මානවල ගොවිතැන් බත් කරමින් විසූහ. දිවුලපොතාන සිට හික්කාගල දෙසින් මහඔයට කිලෝ මීටර් 18 කි. ඒ මග දිගට එදා අපේ පැරණි සිංහල ගම්මාන රැසක් තිබුණි.

බදාදා මහඔය පොළට දිවුලපොතන සිට කෙසෙල්, බඩ ඉරිඟු, කුරක්කන්, කව්පි, වට්ටක්කා, මුං ආදී අස්වැන්න විකිණීම සඳහා ගොන් කරත්තවල පටවා අරන් යෑමට ගොවීන් සූදානම් වන්නේ අඟහාරුවාදා සවස සිටය. අලි සහ වන සතුන්ගේ කරදර වලින් බේරීම පිණිස කරත්ත 10ක් 15ක් එක පෙළට ගමනේ යෙදීම සිරිතය. ඔවුහු ඒ යන අතරමග පිහිටි කිරිමැටිය ගමෙන් රොටි කා තේ බොති. කාටවත් අත නොපා ගොවිතැනින් ජීවිකාව කරගත් පාරම්පරික ජනතාවක් එදා මෙම ගම්මානවල විසූහ. එහෙත් අද ඔවුනට, ඔවුනගේ දරුවන්ට එම බිම්වලට පා තබන්නට අවසර නැත.

දිවුලපොතාන ආර්. එල්. රංජිත් ලියනගේ “ඉරිදා දිවයින”ට පැවසූ ආකාරයට රජයෙන් කිසි සහනයක් නොලැබෙන්නේ එය මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් සිංහල ගමක් නිසාය. ඔහු පවසන පරිදි එකල මෙම ගමෙහි පවුල් 610ක් පදිංචි වී සිටි අතර 1984 දී කොටි ප්‍රහාරවලින් 12ක් මියගොස් තිබේ. ඊට පසුවද විටින් විට කොටි ප්‍රහාර හේතුකොටගෙන ගමෙහි අය ගණනාවත් මිය ගොස් තිබේ.

මේ ආකාරයට කොටි කරදර වැඩි වීමත් සමඟ සියලු ගම්වැසියෝ පණ බේරා ගැනීම පිණිස ගම අත්හැර ගියහ. යුද්ධයේ නිමාවත් සමඟ මෙම ජනතාව යළි පැමිණ, සිය ගම්බිම්වල ස්ථාවර වීමේ උත්සාහයක යෙදුණහ.

“නමුත් බලධාරීන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් අපව පන්නා දාන්න කටයුතු කරනවා”

රංජිත් ලියනගේ මහතා පවසයි.

තවදුරටත් ඔහු පවසන පරිදි තවමත් මෙම ගමට ඒමට නිසි පරිදි සකස් වූ පාරක් නැත. නමුත් දිඹුලාගල හිමියන් සිටි කාලයේ දිවුලපොතාන සිට තොප්පිගල ළඟට යනතුරු පවුල් 35,000ක් පමණ පදිංචි කරනු ලැබ තිබේ. නමුත් යුද්ධය නිසා ඔවුහු ගම අත්හැර ගියහ.

“එම නිසා දැන් නැවත පැමිණි අපට මෙම ගම්මානවල ගෙවල් හදා ගන්න උදව් කරන්න” ඔහු ඉල්ලා සිටියි. “කැලේ හොරෙන් ලී කපන එක වන සංරක්ෂණ නිලධාරීන් බලන්නේ නැහැ. නමුත් අපව මේ ගමෙන් එළවන්න බලධාරීන් උත්සාහ කරමින් ඉන්නවා යැයි රංජිත් ලියනගේ කියයි.

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ටී. එම්. ජයසේන පවසන්නේ නැවත මෙම ගම්මානයේ ජනතාව එළවා දැමීමට පටන් ගත්තේ මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ කාලයේ බවය.

තම පවුලේ සාමාජිකයින් මෙහි පදිංචියට පැමිණියේ තාත්තලා හැත්තෑව දශකයේ ආරම්භයත් සමඟ බවත්, තමා පහේ පංතියට යනතුරු පාසල් ගියේ මෙම ගම්මානයේ වූ මාරවිල පාසලට බවත් ඔහු පැවසීය.

“මිනිස්සු මේ ගම්මාන අත්හැරලා ගියේ යුද්ධය නිසා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නිමා කළ 2009 සිට ඉඳන් අපි ආයේ මෙහි ගොවිතැන් කළා”

ඔහු කියයි.

නමුත් ඉන් අනතුරුව සිදුවී ඇත්තේ කුමක්ද? එය නම් විශ්වාස කළ නොහැකි තාලයේ ඇබැද්දියකි.

“ඊට පස්සේ සිද්ධ වුණේ වන සංරක්ෂණයෙන් විටින් විට අපේ අය අල්ලන් යන එක. මේවා එහෙම වෙන්නේ කොහොමද? මේ අපි කලින් පදිංචිවෙලා හිටිය ඉඩම්” ඔහු කියයි.

ඊළඟට සිදුව ඇත්තේ අලි මදිවාට හරක් කිව්වා සේ කටයුත්තකි. එනම් ගම්මානයේ ජනතාව වගා කරනු ලබන කාලයට මඩකලපුව ප්‍රදේශයේ සමහර දේශපාලනඥයින්ගේ සහ වෙනත් පුද්ගලයින්ගේ හරක් විසි තිස් දහසක් වැනි විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට පැමිණ එම වගාවන් මළුමනින්ම වාගේ විනාශ කර දැමීමය.

මේ අකටයුතුකම් සියල්ලම කරනු ලබන්නේ මෙම ගැමියන් අනවසර ලෙස මෙම ගම්මානයේ පදිංචිව සිටින බව පවසමිනි. නමුත් තමන් මෙහි මුල් පදිංචිකරුවන් බව සහතික කළ හැකි උප්පැන්න සහතික, මරණ සහතික, මුද්දර කාඩ්, ඡන්ද නාම ලේඛන ඇතුළු ලියකිවිලි ළඟ තිබෙන බව ජයසේන මන්ත්‍රීවරයා පවසයි.

මෙම දිවුලපොතාන ඇතළු ගම්මාන කිහිපය පිහිටා ඇත්තේ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුනට මායිම්වය. කොටින්ගේ මහා බලකොටුවක් වූ තොප්පිගල පිහිටා තිබුණේ මෙම ගම්මානයට කිලෝ මීටර් 18 ක් දුරිනි. එකල තිබූ ගම්මානවලින් මාරවිල සහ ඕමුණ යන ගම්මාන මේ වන විට වන ජීවියට අයිති කොටසක් වශයෙන් මාදුරු ඔය වනජීවී උද්‍යානයට එක්කරගෙන තිබේ. මෙම ජනතාවට දැන් වගා කිරීමට ඉතිරිව ඇත්තේ දිවුල්පොතාන සහ හික්කාගල පමණි. අන්තවාදී ටී. එන්. නඩයේ බලපෑම මත මහවැලි නිලධාරීන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව පන්නා දැමීමටද මේ වන විට කටයුතු කරමින් සිටිති.

කවදත් නැගෙනහිර සිංහල ජනතාව වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියා කරමින් ඔවුන් ගැන ළෙංගතුව සොයා බැලීමේ යෙදෙන මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මෙම ප්‍රශ්නය විග්‍රහ කරනු ලබන්නේ උතුරු නැඟෙනහිරට පොලිස් බලතල ඉඩම් බලතල නැතිව තිබියදීත් මෙසේ වන්නේ නම්, ඒවා ලැබුණහොත් කෙසේ වේවිද යන්න ගැන අප බරපතළ ලෙස කල්පනා කළ යුතු බවය.

දිවුලපොතාන ගම්මානය මඩකලපුවට අයිති වුණත් මෙම ගම්මානය ඒ කාලේ පාලනය කළේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. යුද්ධයෙන් පසු මෙම ජනතාව නැවත පදිංචි වී වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ ඉතා දුෂ්කර ආකාරයෙනි.

“එංගලන්තයේ පදිංචිව සිටි හේමමාලා බණ්ඩාරනායක, නන්ද ද සිල්වා, ඇමරිකාවේ ජීවත් වන පුෂ්පා මහත්මිය ඇතළු දෙස් විදෙස් පරිත්‍යාගශීලී මහත්ම මහත්මියන්ගේ සහයෙන්, යුද්ධය ඉවර වුණාට පස්සෙ මෙම ගම්මානයේ විහරස්ථානයක් සහ නිවාස 25ක් මාගේ මූලිකත්වයෙන් ගොඩනඟල දුන්න. ඒ වගේම වගා ආරක්ෂා කරගන්න අවශ්‍ය කටයුතුත් කරල දුන්නා”

සුමනරතන හිමියෝ පවසති.

මෙන්න! හරක් ගාල් කරන්නට මිනිසුන් පන්නා දමන ආණ්ඩුවේ බලධාරීන්

“මේවා අලුතින් හදන ගම්මාන නෙවෙයි. රජකාලේ ඉඳන් අපේ මිනිස්සු ජීවත් වුණ, පරම්පරා ගණනක් ජනතාව ජීවත් වුණ ගම්මාන. මහැවලි අධිකාරිය සහ දේශපාලන අධිකාරිය මේ ගැන ගැඹුරින් සිතිය යුතුයි. මිනිසුන්ට වගා කරන්න ජිවත් වෙන්න ඉඩ දිය යුතුයි. එක්තරා පිරිසක් පුරා විද්‍යා ස්ථාන විනාශ කරනවා. ජනතාව පන්නා දමනවා. මෙහෙම ගියොත් ශාසනික සම්පත් විනාශ කරල අපිවත් සදහටම පන්නා දමාවි. ලංකාවේ අනෙකුත් පළාත්වල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මීට එරෙහිව අපිත් එක්ක එකතු වෙන්න, සහය දෙන්න කියලා. එහෙම වුණොත් අපිට ලොකු ශක්තියක් වෙනවා මේවා රැක ගන්න. ඒ වාගේම බලධාරීන්ට පවසා සිටිනවා, මොන ප්‍රශ්න ආවත් මේ විදියට අහිංසක සිංහල ජනතාව ජීවත්වුණ ගම්මාන කොල්ල කාලා , මේ ගම්මානයේ මා ඉදි කළ පන්සල විනාශ කරලා ඒ මිනිසුන්ව එලවා දමන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.

නැගෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන්ගේ ප්‍රධානම ප්‍රශ්නය වන්නේ මහවැලි නිලධාරීන් සිංහල ජනතාව පන්නා දාන්න කටයුතු කරන්නේ කොහොමද? යන්නය.

“දේශපාලනඥයින් නිලධාරීන්ව සුරතල් කරනවා. නිලධාරින් ජනතාවට හිරිහැර කරනවා. මඩකලපුවේ තවමත් තියෙන්නේ කැලෑ නීතිය. ටී.එන්.ඒ සංවිධානයේ පිල්ලි වලට, අන්තවාදීන්ගේ වුවමනාවට නැටවෙන කැලෑ නීතිය. අපේ පාරම්පරික සිංහල ජනයාට හේනක් කොටාගෙන ජීවත් වෙන්නවත් ඉඩක් නැහැ. අනවසර හරක් ගාල් 20 කට වැඩියෙන් ඔය පළාතේ තිබෙනවා. කෝ ඒවා අයින් කරනවද? කෝ කැලෑ කපන ඒවා නතර කරනවාද? කැලෑ ඇතුළේ අනවසරයෙන් වැව් හදනවා. කෝ ඒවා නතර කරනවාද?”

ඒ හිමියෝ ප්‍රශ්න කරති.

එක් පිරිසකගේ හරකුන්ට තණකොළ කවන්නට අපේ සිංහල ජනයා පාරම්පරිකව භුක්ති විඳින ලද ඉඩම් බිලි දිය යුතුද යන්නත්, ඒ උදෙසා තමන් කුසගින්නේ සිටිය යුතුද යන්නත් අද ඔවුන් නඟන ප්‍රශ්නයයි.

“මඩකලපුව පැත්තේ හරක් දහස් ගණනක් එයාලා වගා කරන කාලේට දක්කන්නේ කෙවිලියාමඩුව, දිවුලපොතාන, මහඔය, අරන්තලාව වැනි සිංහල මිනිසුන්ගේ ගම්මාන වලට, ඒ හරක් ඇවිත් අපේ ජනයාගේ වගාවන් නැත්තටම නැති කරලා ජිවිතත් උලාකාලයි යන්නේ. මේවා මෙහෙම වෙද්දි පාලකයෝ කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා. ඔවුන් වත්මන් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලවා අන්තවාදී ලෙස සිය අශිෂ්ඨ, ජඩ උවමනාවන් ඉටු කරගන්නයි හදන්නේ. ඒ නිසා සාධාරණව කටයුතු කරලා නැඟෙනහිර සියලුම ජන කොට්ඨාශ වල අයිතිය රකින්න කටයුතු කිරීම වත්මන් ආණ්ඩුකාරවරයාගේ යුතුකමක් බව අප අවධාරණයෙන් මතක් කරනවා. අහිංසක ජනතාවට වෙන හානියට එරෙහිව අප සැමවිටම ඔවුන් සමග එක්ව කටයුතු කරනවා. අද අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙම පළාතේ උරුමයන් රකින්නට කරන මහා මෙහෙයට සියලු රට වැසියන් එකතු විය යුතුයි ” පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණෝ පවසති.

පසුගියදා අරුණපුර දිවුල්දමන ශ්‍රී මහින්දාරාම පුදබිමේදී මහා සඟරුවණගේ ප්‍රධානත්වයෙන් දිවුල්පොතාන පදිංචිකරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් එක්ව සංවිධානයක්ද පිහිටුවා ගත්හ. එම අවස්ථාවට එගොඩපත්තුව විහාරාධිපති සංගමයේ සභාපති පූජ්‍ය අඹගස්පිටියේ ආනන්ද නාහිමියන්, අම්පාර, මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන්, එගොඩපත්තුව විහාරාධිපති සංගමයේ ලේඛකාධිකාරි පූජ්‍ය පොල්ගහආරාවේ ඥානානන්ද හිමිපාණන්, පූජ්‍ය මහියංගනයේ විමලකිත්ති හිමියන් ඇතළු හිමිවරුන් රැසක් සහභාගි වූහ.

ඒ අවස්ථාවට සහභාගී වූ පූජ්‍ය පොල්ගහඅරාවේ ඥානානන්ද හිමිපාණන්ගේ කරුණු දැක්වීමට අනුව 1960 දශකයේ සිට මිනිසුන් මෙම ගම්මානයේ පදිංචි වී සිට ඇත. 1978 සුළි සුළං වලටද, මුහුණ දුන් ඔව්හු ත්‍රස්තවාදී ප්‍රහාර දරා ගත නොහැකි වූ තැන අසූව දශකයේ අග භාගය වන විට පණ බේරාගෙන මෙම ගම්මාන අත් හැර යන්නට වූහ. යුද්ධයෙන් පසු මෙම ජනයා ආපසු පැමිණ කිසිදු කරදරයක් නැතිව වසර ගණනක් වගා කටයුතු වලද යෙදුණහ. දැන් මෙසේ රජයේ බලධාරීන් විසින් පන්න පන්නා දමන්නට පටන් ගෙන ඇත්තේ ඒ ජනතාවය. මෙයට මුහුණ දීම පිණිස මේ වන විට ඉඩම් අහිමි ජනතාව විසින් සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබේ.

මෙන්න! හරක් ගාල් කරන්නට මිනිසුන් පන්නා දමන ආණ්ඩුවේ බලධාරීන්

“අපි මේ හදන්න හදන්නේ අලුත් සිංහල ගම්මාන නෙවෙයි. අපේ ජනතාවගේ කුසගින්න නිවා ගන්න. ගිණියම් අව්වේ මහා පොළවත් සමග ඔට්ටු වෙලා අස්වද්දපු බිම් ටිකම තමයි අපි මේ ඉල්ලන්නේ. එක එක්කෙනාට හිතන හිතන විදිහට නීතිය වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අප ඉල්ලීමක් කරනවා අදාළ වගකිව යුත්තන්ගෙන් අසාධාරණ වැඩ කරන්න එපා කියලා යැයි පූජ්‍ය පොල්ගහආරවේ ඥානානන්ද හිමියෝ පැවසූහ.

කොටි කරදර තිබූ සමයේ මෙම ගම්මානවල සිටි ගම්වාසීන් පිරිසක් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේත් බොරවැව ගම්මානයෙත් පදිංචි වූහ. නමුත් බොරවැව ගම්මානයටද කොටින් පැන ගැමියන් කපා කොටා මරා දැමීම නිසා එලෙස ගිය බොහෝ දෙනෙකුද මරුමුවට පත් වූහ. එතැනින්ද පලාගිය සමහරෙක් තමන්ට පළු ප`ුඑවන් තැන් බලා ගොස් අන්ත අසරණ ලෙස දිවි ගෙවූහ. මේ අද කබලෙන් ලිපට වැටෙමින් සිටින්නේ එදා එලෙස ගිය ජනයා සහ ඔවුන්ගේ දරු පරම්පරාවන්ය.

මෙම විමසුමේදී අපට හමුවූ ජේ. ඒ. චන්දන කුමාර ජයසිංහ යනු මෙකී පීඩාව පිළිබඳව හොඳම සාක්ෂිකරුවෙකි. ඔහු පවසන්නේ තමා ඇතුළු ගැමියන්ට සියලු වගා කටයුතු නවතා මෙම අගෝස්තු 22 වන විට මෙයින් පිට විය යුතු බවට කියලා මහවැලි නිලධාරීන් දැනුම් දී ඇති බවය.

“මගේ අම්මයි තාත්තයි වසර 15කට වැඩි කාලයක ඉඳන් මෙම දිවුලපොතාන ගම්මානයේ හේන් ගොවිතැන් කරනවා. ඒ අයට දැන් හේන් වගා කරන්න විදියක් නෑ. මේ දවස් හේන් වැඩ පටන් ගන්න කාලේ. නමුත් දැන් මහවැලි නිලධාරීන් නිසා අපට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඉන්න අයට පිට වෙන්න කියලා මහවැලි නිලධාරින් දැනුම් දීලා තිබුණාට මඩකලපුවෙන් එන දෙමළ මුස්ලිම් අයට හරක් ගාල් ගහන්න, කැලෑ කපන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසා අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අහිංසක ජනතාවට නිදහසේ ජිවත් වෙන්න ඉඩ ලබා දෙන්න කියලා චන්දන පැවසුවේය.

මෙම නැවත පදිංචි කිරිම පිළිබඳ දෙමළ සහ මුස්ලිම් ජනයාගේද මහා කතිකාවක් ඇත. බලධාරීන්ට සිංහල ජනයා නැවත පදිංචි කිරිමට කිසිම වුවමනාවක් නොමැත. ඔවුනට මෙහි වෙසෙන සිංහල ජනයාගේ දුක පෙණුනද නොපෙනුනාසේ සිටිති. මඩකලපුවේ ඇතැම් සිංහලයිනට අද ඡන්ද අයිතිය පවා නැත. සමෘද්ධියද නැත. ග්‍රාම සේවක සහතික ලබා ගැනීමටද නොහැකිය. ඇතැමුන්ට ආදායම් වාර්තාවක් ලබා ගන්නටද මඩකලපුවට ගොස් උද්ඝෝෂණය කළ යුතුය.

මේ අද දවසේ බොහෝ දෙනකු නොදන්නා උපන් බිමේ අනාථයින් පිරිසකගේ කතාවයි. රජයෙන් ලැබෙනා කිසිදු ප්‍රතිලාභයක් මඩකලපුවේ මෙම අහිංසක සිංහල ජනයාට නොලැබේ. එදා ඡන්ද අයිතිය ඉල්ලන්නට ගිය සිංහල ජනයාට මඩකලපුව පොලිසියේ ඇතැම් නරුමයෝ නගර මැද නිරුවත් කර පහර දී තිබේ. මෙලෙස හතර වටින්ම බැට කන ඔවුන්ට ඇති එකම පිළිසරණ සහ ශක්තිය වී ඇත්තේ මඩකළපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු හිමිවරු කිහිපදෙනෙකි. දෙස් විදෙස් කාරුණික හිතවත් පරිත්‍යාගශීලින් පමණි. මඩකලපුව සිංහල ජනයා පිළිබඳව පාලකයන්ගේ අඳ වූ දෙනෙත් දැන්වත් පෙනී සහනයක් ලැබෙනු ඇතැයි එම ජනයා බලාපොරොත්තුවෙන් සිටිති.

පසුගිය සමයේ සිටි අනුරාධ යහම්පත් ආණ්ඩුකාරවරිය රූකඩයක්සේ නැටවීමට අන්තවාදීන්ට නොහැකි වූහ. ඇය අභීතව නිසි ආකාරයෙන් කටයුතු කළ බැවිනි. නමුත් වත්මන් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා, තව නොබෝ දිනකින් මඩකලපුවෙන් සිංහලයා සහ ඉපැරණි බෞද්ධ උරුමය නැති භංගස්ථානවී ගොස් අළුත් ඉතිහායක් ලියවෙන තෙක් බලා සිටිනවා විය යුතු යයි සිතා ගන්නවා හැරෙන්නට ජනතාවට වෙනත් අදහසක් නම් නැත.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment