අලි කරදර මැද ෂූට් කරපු – රීකන්ඩිෂන් කෙල්ල

89

අනුර ඒකනායක තිර රචනාව සහ අධ්‍යක්ෂණය සිදුකළ රීකන්ඩිෂන් කෙල්ල මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වේ. වෙනස් තේමාවක් රැගත් රීකන්ඩිෂන් කෙල්ල ගැන මේ දිනවල ගොඩක් දෙනෙක් කතාබහ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මෙවර මීවිත වෙනුවෙන් රීකන්ඩිෂන් කෙල්ල අධ්‍යක්ෂ අනුර ඒකනායක සමග කතාබහක නිරත විය.

අලි කරදර මැද ෂූට් කරපු - රීකන්ඩිෂන් කෙල්ල

ඔබ අධ්‍යක්ෂණය කළ රීකන්ඩිෂන් කෙල්ලට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

විවිධ ප්‍රතිචාර වගේම විවිධ අදහස් තියෙනවා. ඊට අමතරව බොහෝ පිරිසකට මේ නාට්‍ය අහුවෙලා තියෙනවා. අහුනොවුණු පිරිසකුත් ඉන්නවා. ප්‍රතිචාර විදිහට බුද්ධිමත් අදහස් දැක්වූ ගොඩාක් තිබුණා. එක දිගට නාට්‍ය නරඹන පිරිස දක්වන ප්‍රතිචාර එක්ක මට හැඟෙනවා මගේ වැඩේ යම්කිසි පිරිසක් අතරට ගිහිල්ලා කියලා. ඒ පිරිස නාට්‍ය අතහරින්නේ නැතිව අදටත් ඉදිරියට අරගෙන යනවා. ඒ පිරිස අපි හදපු පිරිසක් නොවේ. සත්‍ය වශයෙන්ම රීකන්ඩිෂන් කෙල්ල එක්ක ඉන්න පිරිසක් කියලා තමයි මට හැඟෙන්නේ.

අලි කරදර මැද ෂූට් කරපු - රීකන්ඩිෂන් කෙල්ල

අධ්‍යක්ෂ අනුර ඒකනායක

මේ පිටපත නිර්මාණය වුණේ කොහොමද?

මේ නිර්මාණය කරන්න කලින් මම අවසන් වරට නිර්මාණය කළේ 2009 වසරේ ජනතාවට හුළං ගහන්න කියන වේදිකා නාට්‍ය. යුද්ධය ජයග්‍රහණය කරලා එවකට පැවැති රජය ඒ උන්මාදයෙන් කටයුතු කරන කාලේ තමයි මේ නාට්‍ය පිටපත ලියැවෙන්නෙ. පිටපත අනුව සම්පූර්ණයෙන් සුදු වෑන් එකක් ස්ටේජ් එකට අරගෙන එතැන ඉඳලා යන නිර්මාණයක් තමයි තිබුණේ. ඒ නාට්‍යයෙන් පසුව මම අවුරුදු දාහතරකට පසුව තමයි මේ වගේ දෙයක් හිතලා ලංකාවට ඇවිත් රීකන්ඩිෂන් කෙල්ල පටන් ගන්නේ. මම අවුරුදු දහයක් fදාළහක් විදේශගතවෙලා හිටියේ. ඒ වෙලාවේ නැවත කොතැනින්ද පටන්ගන්නේ කියලා හිතනකොට තමයි ඔය පිටපත මේ විදිහට ලියැවෙන්නේ. සංස්කෘතිය හැඩයක් සහ පොඩි දේශපාලන කියැවීමක් එක්ක දෙයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාව හැමදාම මගේ ලියැවීම අතරේ වගේම මම කරන වැඩ අතරේ තිබුණ කාරණාවක්. මේකත් ඒ විදිහට ආපු අදහසක්. මුල් කාලයේ ඉඳලම ගැහැනිය සම්බන්ධව වගේම ගැහැනියගේ දෘෂ්ටිවාදය සම්බන්ධව යම් තැනක ඉඳලා නිර්මාණය කළා. මේකත් ඒ ගැහැනියගේම දෘෂ්ටිකෝණයෙන් එළියට එන වෙන අමුතුම හැඩයක වැඩක් විදිහට තමයි රීකන්ඩිෂන් කෙල්ල නිර්මාණය කරන්න ඕනෑවුණේ.

ඇත්තටම රීකන්ඩිෂන් කෙල්ලට මොකද වෙන්නේ?

ඇත්තටම ඒ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්. එක පැත්තකින් නාට්‍ය පැත්තෙන් වගේම නාට්‍යයෙන් පිට ඇහෙන්න ඕනෑ ප්‍රශ්නයක් විදිහට තමයි මම ඒක දකින්නේ. නාට්‍ය ඇතුළේ රීකන්ඩිෂන් කෙල්ලගේ කතාන්දරයට යනකොට අපි නිකං ව්‍යවහාර විදිහට ගත්තොත් ‘අර ගමෙන් ආපු කෑල්ලගේ ප්‍රශ්නයට මොකද වෙලා තියෙන්නේ කියලානේ අහන්නේ.’ ඒ සමහර ජීවිත ඇතුළේ තියෙනවා ගමෙන් ආව කියන එක හංගන්න ඉන්න කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවානේ. නමුත් අපේ ලොකුවට නාගරික කියන සංකල්පයක් නැතිවුණත් කොළඹ කියන පරිසරය ඇතුළේ යම් මට්ටමකට ගමේ ජීවිතය හංගාගෙන කොළඹ ජීවත්වෙන පිරිස් ඉන්නවා. ඉතිං ඒක එකක්. රීකන්ඩිෂන් කෙල්ලට මොකද වෙන්නේ කියන කාරණාවට රියල් එක එළියේ තියෙනවා. එහෙම එන කෙල්ලෝ මොන මොන වටිනාකම් හදාගෙන මොන මොන විදිහේ රස්සාවල් කරගෙන කොළඹ ජීවත්වෙනවාද කියන එක. එතකොට ඒ ගොල්ලන්ට විශාල විදිහේ නඩත්තු කිරීම් කරන්න සිද්ධවෙනවා. අනෙක් පැත්තෙන් ඔවුන්ද ආදරය, ජීවිතය ගැන දැනෙන හැඟීම් අපිට හොයන දේට වඩා වෙනස් හැඩතලවලට අනුව තමයි මේ අලුත් පරපුරට එය හමුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඊට වඩා වෙනස් හැඩතලවල තමයි ප්‍රේමය හෝ ජීවිතය ගැන කටයුතු කරමින් යන්නේ. මේ පිරිසට අවශ්‍ය රසවිඳින්න දේවල් කොහෙන්ද හොයාගන්නේ කියන කාරණාව රීකන්ඩිෂන් කෙල්ල ඇතුළේ තියෙනවා. ඇත්තටම මේ තියෙන ආර්ථික පීඩනයත් එක්ක තරුණ තරුණියන්ගේ ජීවිතයට සහ ආදරය කියන කාරණාවල ජයග්‍රහණයක් මොනවිදිහේ යයිද කියන එක අපටත් ප්‍රශ්නයක්. මොනවිදිහට මොවුන්ගේ ජීවිතවල ප්‍රශ්න විසඳේවිද කියන එක අපටත් ප්‍රශ්නයක්. සංස්කෘතික විදිහට අපි මේ ප්‍රශ්න ටික කියවාගත්තොත් සමස්තයක් හැටියට මේ ජීවිත කොහේටද යන්නේ කියන එක කිසිම වගකීමකින් කටයුතු වෙන ආකාරයක් අපට පෙනෙන්නේ නැහැ. ඇත්තටම රීකන්ඩිෂන් කෙල්ලන්ට මොකක්ද වෙන්නේ කියන ප්‍රශ්නය එහෙම්ම ඉතුරු වෙනවා. මගේ නාට්‍ය ඇතුළේ යම් මට්ටමක උත්තර ටිකක් දීගෙන යන ලක්ෂණ ටිකක් තියෙනවා.

යුරේනිව ඔළුවේ තියාගෙනම ද පිටපත ලිව්වේ?

ඇත්තටම මේ නාට්‍ය ලියන්න සූදානම් කරගෙන ලියාගෙන යනකොට මැදක් හරියට යනකොට මට පොඩි අභියෝගයක් ආවා කොහොමද මම මේ චරිතය හොයාගන්නේ කියලා. මට ප්‍රධාන වශයෙන් ඕනෑවෙලා තිබුණේ මේ චරිතයේ පෞර්ෂය. ඉතිං ඒකෙදී මට වෙන හැඩයක් ඕනෑවෙලා තිබුණා. ගමකින්නේ මේ කතාව පටන්ගන්නේ. එතකොට මේ කෙල්ල ඕවර් ඇක්ට් එකක් තියෙන කෙල්ලෙක්. ගමේ තියෙන සංස්කෘතියට සෙට්වෙන්නේ නැති ගතියක් තියෙනවා මේ චරිතය. ඒ ගැන පිටපතෙන් පවා කතාබහ වෙනවා. පන්සලේ පෙරහැරට පවා එයාව තෝරාගන්නේ වැදි නැටුමක් නටන්න. හරි ලස්සනට ඒ නැටුම නැටුවා කියලා එයාගේ අම්මා එතැනදී කියනවා. හැබැයි එයාව තෝරාගන්නේ නැහැ කළගෙඩි නැටුමට. ඒකයි මේ චරිතයේ වෙනස. ඒ නිසාම තමයි යුරේනිව තෝරාගත්තේ. මේ නාට්‍යයේ මුලින්ම ෂූටින් පටන්ගන්නකොටත් ගොඩක් කට්ටිය කිව්වා ගමේ චරිතයට යුරේනිව ගැලපෙන්නේ නැහැ කියලත්. හැබැයි මෑතකදී ගොඩක් ප්‍රතිචාරවල කියලා තිබුණා යුරේනිගේ ඒ චරිතයේ ස්වභාවය හොඳයි කියලත්. යුරේනිට තමයි මේ වැඩේ හරියට කරන්න පුළුවන් කියන අදහස මගේ හිතට මුලින්ම ආවා. ඒක අන්තිමේ සාර්ථක වුණා.

රූගත කිරීම්වල අත්දැකීම් මොනවගේද?

විවිධ දර්ශනතලවල කාලයක් මේ රූගත සිදුකරන්න සිද්ධ වුණා. මගෙත් පළමුවැනි අත්දැකීම හින්දා මටත් ලොකු අභියෝගයක් වෙලා තිබුණා. ප්‍රවීන් සමරක්කොඩි කියන සහෝදරයාගෙන් තමයි දර්ශනතලවලට ලොකු සහයෝගයක් ලැබුණේ. අභියෝග රැසක් මැද කරපු වැඩක්.

කැලෑබද ප්‍රදේශවල රූගත කිරීම්වලදී බිහිසුණු වගේම රසබර අත්දැකීම් එහෙමත් ඇති නේද?

අපි මෙහි රූගත කිරීම් සිදුකළේ තිස්සමහාරාමයේ දෙබරවැව ප්‍රදේශයේ. හවස හයවෙනකොට ලයිට් මොකුත් නැහැ. රාත්‍රී දහය එකොළහ වෙනකම් රූගත කිරීම් සිදුකළා. දිනූගේ බාප්පාගේ හේනේ රාත්‍රී දහය වෙනකම් ෂූටින් කරනකොට ආරංචියක් ආවා අලි රංචුවක් ඇවිත් එතැන බන්ට්එක කඩනවා කියලා. යාලේ දුවන ජීප් දෙක තුනක් එතැනට ඇවිත් අපිව අරගෙන ගියේ. තව හයෙන් පස්සේ අලිවැටට විදුලිය සම්බන්ධ කරනවානේ. අපි රූගත කිරීම් සිදුකළ දිනූගේ ගෙදරටත් හවස හය හත වෙනකොට අලිවැටට කරන්ට් එක දානවා. කල්පනාවක් නැතිව ආවොත් අනිවාර්යයෙන්ම කරන්ට් එක වදිනවා. පළමුවෙන්ම අපේ තේ හදන මල්ලිට වැදිලා තිබුණා. මනුස්සයෙකුට වදිනකොට අලියෙකුට වදින තරම් හානියක් වෙන්නේ නැහැ. අන්තිමේ කිහිපදෙනෙකුට අලිවැටේ කරන්ට් එක වැදුණ අවස්ථා තියෙනවා. ඔය වගේ අත්දැකීම් රැසක් තියෙනවා.

දිනේෂ් විතාන


advertistmentadvertistment