අලුත්කඩේ වෙඩිල්ල සහ ජාතික ආරක්ෂාවේ කුලුනු තුන!

745

සමාජ – දේශපාලන මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සියල්ලේම ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තිය හා ජාතික ආරක්ෂාව ය. ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි ආණ්ඩු පාර්ශ්වය පුන පුනා කියද්දී විපක්ෂ නායක සජිත් ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයක් නොමැති වෙනත් දේශපාලන චරිත මෙන්ම සිවිල් ක්‍රියාකාරීහු ද ජාතික ආරක්ෂාව පිළිබඳව ආණ්ඩුවට අධිචෝදනා ඉදිරිපත් කරමින් ද සිටිති. ජාතික ආරක්ෂාව යනු, සමස්තයක් ලෙස රටවැසියාට නිදහස් සිතින් බියක් සැකක් නොමැතිව ජීවත්වීමට සුදුසු වාතාවරණයක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් දැන් සෑහෙන කාලයක සිට අපට වැඩිපුරම ඇසීමට පමණක් නොව, දැකීමට ඇත්තේ ද ගම – නගර වෙනසක් නොමැතිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වය හා සාහසික ක්‍රියාකාරකම් ය. ආණ්ඩුව පවසන ආකාරයට ඒ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයන්ට හේතු වී ඇත්තේ පාතාල කල්ලි අතර ඇතිවන ගැටුම් ද? එහෙත් ඒ ගැටුම් සිදුවන සමාජ අවකාශය තුළ ඒවාට මැදිවන කොටස් ද සිටිති. එපමණක් නොව, එබඳු ම්ලේච්ඡ ක්‍රියාවල විපාක වශයෙන් අහිංසක ජීවිතවලට ද වන්දි ගෙවීමට සිදුවී තිබේ. තවමත් රටම කතා කරන මිද්දෙණියේ ඝාතන සිදුවීමෙන් අහිංසක දරු පැටවුන් දෙදෙනකුට අත් වූ ඉරණම අද මෙරටේ අප දකින සමාජ ඛේදවාචකයේ කොතරම් කුරිරු චිත්‍රයක්ද?

මේ ආණ්ඩුව බලයට පත් කළ ජනතාව අපේක්ෂා කරන දේශපාලන වෙනස නැතහොත් පුනරුදය එක් සැණකින් උදා කරගත හැකි තත්ත්වයක් නොවන බව සැබෑ ය. නව දේශපාලන පුනරුදයක් යනු, පාලකයන් මෙන්ම පාලිතයන් වන ජනතාවගේ ද දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් සාක්ෂාත් කරගත යුතු දුෂ්කර ඵලයකි. එයට දාර්ශනික මඟපෙන්වීම් කළ යුත්තේ ආණ්ඩුව පමණක් නොවේ. ආගමික නායකයන් මෙන්ම බුද්ධිමය ක්ෂේත්‍රවල මැදිහත්වීම් ද එයට වුවමනා වේ. මෑත ඉතිහාසය තුළ ලංකාවේ බරපතළ සමාජ වෙනසකට හේතු වූයේ ජේ. ආර්. ජයවර්ධන පාලන යුගයෙන් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් විධායක ජනාධිපති ක්‍රමයත් බවට ප්‍රබල විවේචනයක් තිබේ. ජයවර්ධන යුගයෙන් පසු මෙරටේ සමාජ – ආර්ථික – දේශපාලන වෙනසක් සඳහා ජනතාව විසින් කරන ලද අත්හදා බැලීම් ද තිබුණි. එහෙත් ජයවර්ධනට පසු බලයට පත් වූ චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල, ගෝඨාභය ආදීන්ට මෙන්ම අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල්ට මේ රටට කළ හැකි වූ දේවල් අප්‍රමාණව තිබුණි. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමට ජනවරමක් ලබාගත් චන්ද්‍රිකාට හෝ සුබ අනාගතයක් රටට ලබාදීමට බලය ලබාගත් මහින්දටත් එහිම දිගුවක් ලෙස රට වියත් මඟක් ඔස්සේ මෙහෙයවීමට පැමිණි ගෝඨාභයටත් මේ රටට දැනෙන සමාජ – දේශපාලන වෙනසක් ලබාදීමට නොහැකි විය. එසේ වුවද රාජපක්ෂවරුන්ගේ දේශපාලන නායකත්වයෙන් මෙරටේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන නම් ඔවුන්ට සතුටු විය හැකි ය. මේ හැර යහපාලනයක් සඳහා බලයට පැමිණි මෛත්‍රි – රනිල් සුසංයෝගය ද අසාර්ථක හා විවාදාත්මක යුගයක් ලෙස හැඳින්වීමට හැකි ය.

වත්මන් ආණ්ඩුව බලය ලබාගන්නේ නිදහසින් පසු මේ රට පාලනය කළ ප්‍රභූ තන්ත්‍රවාදයත් ඔවුන්ගේ වැඩවසම් පක්ෂවලින් රටට සිදු වූ හානියත් පිළිබඳ විවේචනවලට ජනතාව දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි. ජනාධිපති අනුරත් ඔහුගේ ආණ්ඩුවත් අද උරදී සිටින්නේ ඒ දේශපාලන පුනරුදයට බව ඔවුහු පවසති. එහෙත් ඔවුන්ට තවමත් මේ රටට දැනෙන වෙනසක් කළ නොහැකි වූ බවට ද විවේචනයක් තිබේ. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවද අප පිළිගත යුතු ය. අද මේ සමාජ – දේශපාලනය නිවැරදි කළ යුතුය යන අදහස මෙරටේ හැම සාධාරණ පුරවැසියකුගේම හද තුළ නිදන්ව පවතින්නකි. ඉකුත් පාලන යුගවල බලය භාවිත වූ ආකාරයත් පවුල් කේන්ද්‍රීය දේශපාලනයත් දැඩිව මුල් බැසගත් අයුරු පොදු ජනතාව ද දනිති. මහජනයා යන්න බලයට පත්වනතුරු පිදුම් ලබන ඉනික්බිතිව දැහැටි දණ්ඩක් ලෙස ඉවත දමන දෙයක් බවට පත්වූ ආකාරය ගැන අමුතු අටුවා ටීකා අවශ්‍ය නොවේ.

මේ ආණ්ඩුවේ සමීප හිතවතුන් නොවන කණ්ඩායම් තවමත් ජනාධිපති අනුර කුමාර දෙස අපේක්ෂා සහගතව බලා සිටිති. මේ ජනාධිපතිවරයාගේ දේශපාලන ශෛලිය වෙනස් බවද ඔවුහු දකිති. එය කොළඹ සුපිරි පන්තියට, සම්ප්‍රදායි හොරගොල්ලට හෝ ඒවා සමතික්‍රමණය කළ මැදමුලනට ද වඩා වෙනස් වූවකි. සමහරු තඹුත්තේගම ගැන ද සිහිපත් කරති. එහෙත් අප නම් දකින්නේ ඊට වඩා වෙනස් සමාජ – දේශපාලන මෙන්ම පොදුජන ස්තරයක නියෝජනයක් ලෙස ය. එය වාමාංශික සන්නාමයක් සහිත පොදුජන වටිනාකම්වලට වඩාත් නැඹුරු නායකත්වයක් ලෙස ය. ජනාධිපති අනුර පසුගියදා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කළ ආරාධනය පවා සමහරුන්ට දිරවාගත නොහැකි වූ බවද පෙනේ.

ඇත්ත වශයෙන්ම මේ රට විනාශය කරා ඇදගෙන යෑමේ මුල් වග උත්තරකරුවන් ලෙස බලයට පත්වූ දේශපාලන නායකයන් ප්‍රමුඛ ඔවුන්ගේ අධිකාරිත්වය හැඳින්විය හැකි ය. මෙරටේ ජාතික සම්පත් කොල්ලකෑම පමණක් නොව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන සේවය ඇතුළු හැමදෙයක්ම කඩාවැටුණේ ඒ දේශපාලන නායකයන්ට අවශ්‍ය ගැඹුරු සමාජ දැක්මක් මෙන්ම අවංක භාවයක් ද නොවීම නිසා ය. උපාධිය සමත්ව වසර 40ක් ඉක්මවන තෙක් රැකියාවක් නැති උගතුන් සිටින රටක් බවට මෙරට පත්ව තිබේ. දේශපාලන බලයට අභියෝග කළ හැකි පුරවැසි බලයක්, ශක්තිමත් සිවිල් සංවිධානයක් මෙරටේ ස්ථාපිතව තිබුණේ ද නැත. ඉතා කලාතුරකින් ඇතැම් දේශපාලන ක්‍රියාකාරකම් අධිකරණ ඉදිරියෙහි අභියෝගයට ලක් වූ අවස්ථා ද විය. එහෙත් සමස්තයක් ලෙස ජනතාව විසින් මුහුණ දෙන ලද්දේ අනීතිය, අසාධාරණය, පීඩනය වැනි කටුක අත්දැකීම්වලට ය. මේ ආණ්ඩුවට ප්‍රබල ජනවරමක් ලබාදීමට ජනතාව නිහඬ සම්මුතියකට එළඹුණක් මෙන් ක්‍රියාකළේත් අලුත් වෙනසකට ය. එය ජනතාවට සිදුවූ වැරදීමක්, මුළාවක් ලෙස අද විපක්ෂවලින් ප්‍රකාශ වුවද එය තර්කානුකූල අදහසක් නොවේ. දශක ගණනක් මාරුවෙන් මාරුවට තමන් විසින් මුහුණදෙන ලද අමිහිරි ආකාර්යක්ෂම පාලනයක් පෙරළා දැමීම දේශපාලන විඥානයක් නොමැති ජනතාවකට කළ නොහැක.

මේ ආණ්ඩුව ප්‍රතිචාර දැක්විය යුත්තේ ඒ ප්‍රබුද්ධ දේශපාලන විඥානයක් සහිත ජනතාවට විනා වෙනත් දේශපාලන බංකොලොත්කාරයන්ගේ පදනම් විරහිත සරදම්වලට හෝ නොවේ. අප එසේ කියන්නේ රටේ ප්‍රබල ප්‍රශ්න වෙනුවට කුමක් හෝ කොනක් අල්ලාගෙන රඟදක්වන දේශපාලන විගඩම් අපට අනවශ්‍ය වී තිබෙන හෙයිනි. අතීතයෙන් හෝ වර්තමානයෙන් හෝ ගත හැකි සාධනීය යමක් වේ නම් ඒවා බැහැර කළ යුතු නැත. අපගේ අදහස වන්නේ ද කිතු සමිඳුන් විමසූ ලෙසම පළමු ගල ගැසීමට පව් නොකළ අයෙක් නැත්තා සේම දේශපාලන පව් නොකළ අය ද නොසිටින බව ය.

ඉහත සඳහන් කළ පරිදිම දේශපාලන පුනරුදයක් යනු, අහසින් කඩාවැටෙන දෙයක් හෝ කිසියම් ප්‍රාතිහාර්යකින් ලබාගත හැකි දෙයක් හෝ නොවේ. ඒ සඳහා නිශ්චිත හා නිවැරදි දැක්මක් පාලකයන්ට තිබිය යුතු ය. වැඩවසම් දේශපාලන පෙළැන්තිය පරාජයට පත් කර තිබෙන ආකාරයෙන් මෙරටේ පොදු ජනමතය නිවැරදිව දැන මැන ගැනීමට මේ ආණ්ඩුවට හැකිවිය යුතු ය. පෝය දෙක තුනකින් සියල්ල නිවැරදි කළ හැකි යැයි මෙරටේ සිටින කිසිදු ප්‍රබුද්ධ පුරවැසියෙක් කල්පනා කරන්නේ ද නැත. මේ ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළේ ගර්හිත හා දූෂිත දේශපාලනය වෙනස් කිරීම හා නීතිය බලාත්මක කරන රටක් නිර්මාණය කිරීමකි. බරපතළ වැරදි, දූෂණ, අල්ලස් අහෝසි කර රාජ්‍ය පාලනය මෙන්ම පළාත් පාලන ආයතනවලට ද අලුත් වෙනසක් ලබාදීම ජනතාවගේ අරමුණ විය. (එළඹෙන පළාත් පාලන මැතිවරණය එයට විවෘතව තිබේ).

මේ ආණ්ඩුවේ අය-වැය සමාජවාදි අය-වැයක් නොවන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුව සකසන ලද එකක් බවත් විපක්ෂය කියයි. එහෙත් අපට හැඟෙන ආකාරයට ද මේ ආර්ථික දේශපාලන රාමුව තුළ අය-වැය ස්වාධීන හැඩයක් සහිත රැඩිකල් එකක් බවට පත්කිරීමට කිසිදු අයකුට නොහැකි ය. මේ ආර්ථික වාතාවරණය තුළම තම අය-වැය ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල්ට වුවද මූල්‍ය අරමුදලේ සීමා බිඳීමට නොහැකි විය. ඒ සීමා ජනාධිපති අනුරට ද වූ බව නිසැක ය. මෙහිදී ඇතැම් වාමවාදී දුෂ්ටි කෝණයකින් බලා ආණ්ඩුවට කෙරෙන, අපට ද පිළිගත හැකි විවේචන ද තිබේ. එනම් 2025 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු දේපළ බද්ද කල් දැමීමට ජාජබය මැදියත් වූයේ කුමක් නිසාද යන්න අපට ද ප්‍රහේලිකාවකි. දේපළ බද්ද යනු, ඉහළ ආදායම් සහිත වත් පොහොසත් කණ්ඩායමකට සෘජුව බලපාන්නකි. එබඳු ඇති හැකි පිරිසකට පනවනු ලබන දේපළ බද්ද නිසා අඩු ආදායම් ලබන ජනතාවට යම් යම් බදු සහන දීමේ අවස්ථා පුළුල් වන බවද කියති. මෙයට අමතරව ආණ්ඩුව ශ්‍රීලන්කන් ගුවන් සේවයෙහි ණය ගෙවීමට රුපියල් බිලියන 20ක් වෙන් කිරිම සම්බන්ධයෙන් ද විවේචනයක් තිබේ. රාජපක්ෂ පාලන සමයෙහි මෙම ගුවන් සේවය දූෂිත හා අවිධිමත් එකක් ලෙස දැඩි විවේචන නැඟුණි. රට දැඩි ආර්ථික ප්‍රපාතයක හිර වී සිටින මොහොතක එබඳු බරක් ජන හිසමතට නොපැටවීමට ඉඩ තිබුණු බවද සමහරු කියති. පොදුජන ආණ්ඩුවක් ලෙස හැඳින්වෙන පාලනයක් සහන දිය යුත්තේ ජනතාවට බවද ඔවුන්ගේ විවේචනය වී තිබේ.

කෙසේ වුවද මේ ආණ්ඩුවට දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා නැත. එසේම පොදු ජනතාවගේ ජීවිත හා පැවැත්ම කෙරෙහි ආණ්ඩුව මෙයට වඩා සංවේදීව බැලිය යුතු බවද කිව යුතුය. තම මංගල අය-වැය මෙතෙක් පාලකයන් විසින් ගෙන යන ලද නාස්තිකාර වියදම්වලින් නිදහස් කිරීමට ද ජනාධිපතිවරයාට හැකිවිය. අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන් කරන ආණ්ඩුව පොත් සඳහා 18%ක වැට් බද්දක් පැනවීම ද ප්‍රශ්නකාරී වී තිබේ. මේ වැට් බද්ද අහෝසි කරන බවට දුන් ප්‍රතිඥාවක් ද තිබුණි. එහෙත් එය ඉටු කර නැත. ඔවුන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අස්වැසුම ලබන පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා රුපියල් 6000ක් ලබාදීමෙනි.

එහෙත් අස්වැසුම නොලැබුණත් දැඩි ආර්ථික දුෂ්කරතා මැද දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන මව්පියෝ විශාල සංඛ්‍යාවක් ද මෙරටේ සිටිති. ඇත්තටම ජනතාවට මෙන්ම රටටම බරක් වූ ශ්‍රීලන්කන් වැනි ආයතන නඩත්තුවට දක්වන උනන්දුව පොදුජන ජීවිත නැංවීමට යොමු කිරීමට ආණ්ඩුවට බැරි ඇයිදැයි පෙරටුගාමීන් අසන ප්‍රශ්නය ද වැරදි නැත. වාමාංශික සන්නාමයක් සහිත ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකීම පිළිබඳ පරමාදර්ශි ලබාදීමට ජනාධිපති අනුර කුමාර දක්වන අවධානය අපට පැහැදිලි ය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ආකල්ප ජනතාවගේ පැත්තට වඩා වෘත්තිකයන් ඇතුළු ව්‍යාපාරික කොටස්වලට වාසිදායක බවට තිබෙන චෝදනාව ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානිදායක වේ.

මේ වනවිට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලු හා ප්‍රශ්න විසඳීම ආණ්ඩුව භාරගෙන තිබෙන අතරම එය එසේම සිදුවිය යුතුද වේ. මෙහිදී අපට සිහිපත් වන්නේ කලකට පෙර ජයවර්ධන ජනාධිපතිවරයා පැවසූ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුය යන ජයවර්ධන න්‍යායයි. එදා එය හෙළා දුටු ‘දිවයින’ පුවත්පතට එල්ල වූ රාජ්‍ය විරෝධය ද ඉතා දැඩි විය. ඇත්තටම රටේ හා ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ වගකීම ආණ්ඩුව හෙවත් පාලකයන් සතු වූවකි. ඒ වගකීම ඉටුකළ නොහැකි පාලනයක් නපුංසක යන ගර්හිත යෙදුමෙන් හැඳින්වීමට එදා අපට සිදුවිය. මෙරටේ හැම හොඳ දෙයක්ම විනාශ වූයේ දූෂිත දේශපාලනය නිසා බව කවුරුත් දනිති. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පමණක් නොව සදාචාර වටිනාකම්, යුක්තිය හා සාධාරණයත් නීතියත් මුග්ධ දේශපාලන අණට එකඟව ශිෂ්ටත්වයේ ඉවුරු බිඳ නායයෑමේ විපතත් එහි වගඋත්තරකරුවනුත් සම්බන්ධයෙන් පොදු චිත්‍රයක් සමාජයෙහි තිබේ. මේ ආණ්ඩුව ඒ චිත්‍රය වෙනස් කළ යුතු ය. ආණ්ඩුවට ඒ සඳහා ජනවරමක් ද ලබාදී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා කියන ආකාරයට අපරාධ කල්ලි 58ක් සහ එහි සාමාජිකයන් 1400ක් ද හඳුනා ගනු ලැබ ඇත. පොලිසියේ මෙන්ම හමුදාවල සුළු පිරිසක් අපරාධවලට මෙන්ම පාතාලය සමග එක්ව සිටින හෝ ඔවුන්ට අනුග්‍රහය දක්වන පොලිසිය, බන්ධනාගාරය හා ආරක්ෂක අංශවල පිරිස් ගැන ද පොලිසිය දනී. ආරක්ෂක ලේකම්වරයා නියෝග කර ඇත්තේ හමුදාවලින් පැන ගිය අය අත්අඩංගුවට ගැනීමට ය.

ඇත්තටම තවමත් සමාජ – දේශපාලන අංශ මෙන්ම මාධ්‍ය කතා කරන සංජීව ඝාතනය, මිද්දෙණියේ වෙඩි තැබීම පමණක් නොව කොටහේනේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් චූදිතයන් දෙදෙනකු ඝාතනය වීම ද බරපතළ සාහසික ක්‍රියා වේ. නීතිඥ සංගමය මෙන්ම සිවිල් ක්‍රියාකාරීහු ද පොලිසිය පවසන පරිදි මහ පාරේ චූදිතයන් වෙඩි කා මියයෑම පිළිනොගනිති. ඇත්තටම එය අවලංගු වූ පොලිස් රංගනයක් යළි කරළියට ගෙන ඒමකි. අපරාධකරුවා, ඝාතකයා සමාජ වෛරයට ලක්වූවෝ වෙති.

අලුත්කඩේ වෙඩිල්ල සහ ජාතික ආරක්ෂාවේ කුලුනු තුන!

එහෙත් ඔවුන්ට මරණ දඬුවම දීමට පොලිසියට හෝ තවත් ඝාතක කල්ලියකට ඉඩක් තිබිය යුතු නැත. මේ නිසා එදා සිදුවූ ආකාරයට චූදිතයන් පරලොව යෑමේ නාටකය යළි ඉදිරිපත් නොවීමට ආණ්ඩුව වග බලාගත යුතු බවද කිව යුතු ය. විපක්ෂයේ දේශපාලනඥයකු වන පාඨලී චම්පික මතක් කළේ, මේ ආකාරයට ආයුධ පෙන්වීමට ගොස් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ද ඝාතනය වූ බවකි. පාතාලයන්ට, අපරාධකරුවන්ට වුවද මරණ දඬුවම් දීමට පොලිසියට බලයක් නැත. එබඳු සමාජ විරෝධී මැරයන් මියයෑම ගැන සාමාන්‍ය ජනයාට සතුටක් ද තිබිය හැකි ය. එහෙත් එය අතිශය බිහිසුණු ප්‍රතිචාරයකි. මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. කුමක් වුවත් මේ ආණ්ඩුව එබ`ඳාු අමානුෂික හා නීතියට මෙන්ම මනුෂ්‍යත්වයට ද පටහැනි ක්‍රියාකාරකම්වලට ඉඩදිය යුතු නැත. අපරාධකරුවන්, මැරයන්, හොරුන් නීතියෙන් නිදහස් වූ විට (කිසියම් තාක්ෂණ හෝ සාක්ෂි පරස්පරතාවක් නිසා) ඔවුන්ගේ අපරාධ ක්‍රියා මෙන්ම අශිෂ්ට භාවිතාවන් ද නොතකා දේශපාලන වරම් ලබාදුන් කුප්‍රකට නායකයෝ ද මේ විනාශයන්ට වගකිව යුතු වෙති. නිදොස් කර නිදහස් වීම කාටත් එකඟ විය හැකි තත්ත්වයක් වුවද සාක්ෂි වසන් කොට හෝ වෙනත් තාක්ෂණික දෝෂයකින් එබඳු සමාජ විරෝධී චරිත ඉස්මතු කිරීම සුදුසු නොවේ. හොරකම්, මැරකම් සිදුවන්නේ ඒවාට බිය නැති දූෂිත පුද්ගලයන්ට බලය හිමිවීම නිසා බවද අපි දනිමු.

ධනවාදය හා මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටි ඇඩම්ස්මිත් මෙන්ම කාල්මාක්ස් ද මිනිසාගේ බුද්ධිය, දැනුම, අත්දැකීම මත පදනම්ව ඔවුන්ගේ කැමැත්ත අනුව ජීවත්වීම ගැන වෙන වෙනම කරුණු පෙන්වා දී තිබේ. ස්වභාවධර්මයේ සම්පත් පරිභෝජනය ද ඔව්හු අනුමත කරති. එහෙත් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා යන විශ්ව දැක්ම බුදුහු වදාළහ. බෞද්ධ සංස්කාතික උල්පත්වලින් පෝෂණය ලද දේශපාලන ව්‍යුහයක් නොමැති වුවද එබඳු පොදු චර්යාධර්ම අප පිළිගත යුතු බවද කිව යුතුය.

ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිකරගත් එලිනර් ඔස්ට්රොම් (Elinor Ostrom) අවධාරණය කළේ, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ස්වාභාවික සම්පත් විනාශය වළක්වාලීමට රාජ්‍ය පාලනය හා වෙළෙඳපොළ පාලනය සමත් නොවන බවය.

කෙසේ හෝ අද මේ ආණ්ඩුව විසඳිය යුතු සමාජ – ආර්ථික – දේශපාලනයේදී පොලිසිය, බන්ධනාගාරය මෙන්ම අධිකරණ යන ක්ෂේත්‍රවල ක්‍රියාකාරීත්වය අතිශය වැදගත් වනු ඇත. පොලිසිය දූෂිතම ආයතනයක් ලෙසට ප්‍රසිද්ධ චෝදනාවක් ද ඇත. එසේම බන්ධනාගාරය ද පිරිපහදු විය යුතුය. අපරාධ සැලසුම් කරන බන්ධනාගාර ගැන නිතරම ඇසෙයි. අධිකරණ ක්‍රියාදාමයේ උත්තරීතර භූමිකාව භාර විනිසුරුවරු තම ගෞරවනීය ක්‍රියාකාරකම් ඉටුකිරීමට සූදානම්ව සිටිති. එනිසා ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රීය කුලුනු තුන ලෙස පොලිසිය, බන්ධනාගාරය සහ අධිකරණ ක්ෂේත්‍රය සැලකීම නිවැරදි ය.

ගාමිණි සුමනසේකර


advertistmentadvertistment