රුහුණු රටට අරක්ගත් කතරගම දෙවියෝ

237

(කඳ සුරිඳුගේ හා වල්ලි කුමරියගේ විවාහ අභිෂේකය සංකේතවත් කරමින් පවත්වනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දෙවොලේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙනි)

ලංකාරක්‍ෂිත දේව සභාවේ අග්‍රස්ථානයේ වැජඹෙන දෙවියෙකි. කතරගම දෙවියෝ ශ්‍රී ස්කන්ද දෙවියන් හා කඳ කුමරු ලෙසද හැඳින්වේ. කතරගම දේවෝත්පත්තිය පිළිබඳව විවිධ මත පවතින අතර කතරගම දෙවි උපත පිළිබඳව පිළිගත හැකි පුරා වෘත්තයකි මේ.

මීට අවුරුදු පහළොස්දහසකට පමණ පෙරාතුව ලක්දිව දක්‍ෂිණ දේශයේ පාලකයකු ලෙස ජීවත් වෙමින් ඉන්දියාවේද ප්‍රාන්ත කිහිපයක් සිය අණසකට ගනු ලැබූ තාරක නමින් මහා බලසම්පන්න අසුරේන්ද්‍රයෙක් විය. ලක්දිව විසූ මෙම තේජාන්විත අසුර රජුගේ බල පරාක්‍රමය බිඳ ඔහු මර්දනය කරනු පිණිස එකල ජම්බුද්වීපයේ විසූ මහා වික්‍රමාන්විත සේනාධිපතියෙකු මෙන්ම රණ ශූරයෙකු වූ දෙව්සෙනෙවි නොහොත් කඳ කුමරුවන් ලංකාවට ගොඩ බැස ඔහුගේ ආයෝමය රණකාමීත්වයෙන් හා තීක්‍ෂණ ඥානයෙන් තාරක අසුරේන්ද්‍රයාගේ බල බිඳ ඔහු හා යුද්ධ කොට මරා කතරගමට හෙවත් රුහුණු රට කදිර පුරවරයට අධිපති විය. ඒ බව වදන් කවි පොතෙහි මෙසේ දැක්වේ.

‘කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරා නන්
සකල සිරිලක දෙව් නරන්හට පැවත එන සොමි සදා නන්’

එතැන් පටන් තාරක නම් අසුරයාගෙන් දුක් ගැහැට වින්දවුන් එයින් ගලවා ගත් බැවින් වීර චරිතයක් වී ලක්දිව කතරගම පුර රාජධානිය කරගෙන විසූ කඳ කුමරුන් කතරගම දෙවියන් නමින් ජනතාව අතර දේවත්වයට පත් වන්නට විය. මනුෂ්‍යයන් විසින්ම යහපත් චරිත ඇත්තකු දේවත්වයට පත් කළේ ඒ අයුරිනි. ඇතැමුන් කතරගම දෙවියා මුහුණු හයයි අත් දොළහක් වන සේ මූර්තිමත් කර ඇත්තේ ඔහුගේ තේජස වර්ධනය කිරීමේ අභිප්‍රායෙනි.

ලක්දිව ආක්‍රමණික රජෙකු වූ එළාරගෙන් ත්‍රී සිංහලය මුදාගෙන එක්සේසත් කිරීමට දැඩි වීර්යයකින් සේනා සංවිධානය කරමින් සිටී. ගැමුණු කුමාරයා පොහොය දිනයක අෂ්ට ශීලය සමාදන්ව රුහුණු රට කතරගම මැණික්

ගංඟාවේ ඉවුර සමීපයෙහි භාවනානුයෝගීව සිටියදී නින්දකට පත්වූ බවත් එම අවස්ථාවේදී කතරගම දෙවියන් සිහිනයෙන් එළැඹ නොබියව සටන් වැදීමට උපදේශ හා ආශීර්වාද කර ඊට තමන්ගේ උදව් උපකාර නිරන්තරයෙන් කරන බවත් කියා අතුරුදන් වනවාත් සමගම ගැමුණු කුමරු නින්දෙන් ඇහැරී දැඩි අධිෂ්ඨානයකින් තම මාළිගයට ගොස් සියලු සේනා සන්නද්ධව එළාර හා යුද්ධ කොට ජයගෙන සිංහාසනාරූඪ වූ බව ඉතිහාස කතාවලින් හෙළිවේ. ඊට කෘතගුණ සැලකීමක් වශයෙන්

දුටුගැමුණු නිරිඳුන් තමාට පිහිටවූ කතරගම දෙවියන් උදෙසා රුහුණු කතරගම මහා දෙවොල ඉදිකරවූ බව ඓතිහාසික ලේඛනවලින් සනාථ වේ.

තවද කතරගම දෙවියන්ගේ උත්පත්තිය පිළිබඳව විමසීමේදී කතරගම දෙවියන් යනු කඳිරපුරය සිය රාජධානිය කොටගෙන ලක්දිව රජකම් කළ මහාසේන නම් බෞද්ධ රජෙකුගේ පුනරුත්පත්තියක් බවද කියවේ.

බලගතු කතරගම දේව (ස්කන්ද දේව) කන්නලව්වක්

අත නගා දොහොත් මුදුනේ තබා නමස්කාරයෙන් සැලකර සිටින්නේ තේජෝබල පරාක්‍රමයෙන් දස දිගත කීර්ති දාරා ලෝකයෙන් බබුළුවා ස්වර්ණ මයුර වාහනාරූඪව රුහුණු පුර කතරගම රුවන් දෙව් විමනට අධිගෘහිතව පතර තෙද බල ඇති කතරගම දෙවි මහාරාජෝත්මයාණන් වහන්ස! කුඩා කතරගමට, මහා කතරගමට, සෙල්ලංදූවට, මඩම්දූවට, මැණික් ගංඟාවට, කිරි වෙහෙරට, වැඩිහිටි කන්දට, කඳු හතට, සිංහාසනේට, මුතුකුඩේට, හත් පළිහට, ගෝන රැලට, මුව රැලට, කළු හරක් ගාලට, සුදු හරක් ගාලට, වල්ලි අම්මාට, චාමරේට, රණමයුර වාහනේට, රුහුණු පස් පත්තුවට, මෙම මුළු දිවියනටම යහතින් දිවස් කරුණාකර බලා වැඩ වදාරමින් සකල ලෝක සත්ත්වයන්ගේ දුක සැප දිව නෙතින් බලා ශාන්ති දානයෙන් මවිත කරන මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා යනාදී චතුර්විධ සම්පත්තියෙන් ගුණෝපලක්‍ෂිත ඔබ දෙවි හාමුදුරුවන්ගේ ශ්‍රී නාමයට කියා සිටින කන්නලව්ව දිවස් එළියේ දිව සවනට ගෙන දිව්‍ය කරුණාවට ගෙන ඔබ වහන්සේගේ දිව්‍ය තේජානුභාවයෙන් සකල ලෝකවාසීන්ට සියලු අපා දෙපා සිවුපාවුන් ඇතුළුව සියලු සත්ත්වයන්ට වැදී වැළඳී එන්නාවූ ග්‍රහ දෝෂාන්ධකාරද, යක්‍ෂ, භූත, ප්‍රේත, පිශාච, දෝෂාන්ධකාරද, ඇස්වහ, සිත්වහ, කටවහ දෝෂාන්ධකාරද, අවොල්-දෙවොල් හදි හූනියම් දෝෂාන්ධකාරද මෙකී නොකී සකල දෝෂාන්ධකාරම අද මෙවේලෙන් පසු දුරීන් භූත කරදී මෙවැනි මේ පූජෝපහාරයන් කැප බාරගෙන ඔබ වහන්සේගේ දෙපාමුල වැඳ වැටී ඔබට සැළකර සිටින සකල අභිමතාර්ථයන් ඉෂ්ට කරදී වැඩ වදාරණවයි, පිනට පිහිට වෙනවයි, පින් ගන්නවයි ඔබ වහන්සේ කීර්ති පස්වාන් දහසක් ආයුබොහෝ වේවා.

චිරං ජයතු

ජ්‍යොතිෂ – ගුප්ත විද්‍යාධර
කොත්මලේ නාරද
ඩී. ලියනආරච්චි
දු.ක.අ 0779508443

advertistmentadvertistment
advertistmentadvertistment