නිවසේ වාස්තු දෝෂවලින් බොහෝ පීඩාවට ලක්වන ගෙදර බිරිඳ

491

ගෘහයක් නියම සොඳුරු වාසස්ථානයක් වීමට නම් එම නිවසේ කාන්තාවක් සිටිය යුතුය. නිවසක ගෘහනියකට නැතිනම් බිරිඳට, භාර්යාවට කිරීමට ඇත්තේ සුළුපටු සේවයක් නොවේ. එය වැටුපකට ගණනය කළ නොහැක. හිමිදිරි අලුයම අවදි වන ඇය නිවස මිදුල අතුපතුගා නිවසේ දොර ජනෙල් විවෘත කරන්නේය. වාස්තු විද්‍යාවේදී පදිංචි නිවසක කළ යුතු ප්‍රථම කාර්ය වන්නේ නිවස පිළිවෙළට අතුපතුගා මුළුතැන්ගෙය පිරිසිදුව තබා ගැනීමත් නිවසට සූර්යාලෝකය කැන්දවීමත්ය. එය බිරිඳක් විසින් සිදුකරන්නේ අලුයම මුළුතැන්ගෙයි දොර ජනේලය විවෘත කිරීමෙනි. බොහෝ නිවාසවල මුළුතැන්ගෙය පවතින්නේ ගිනිකොන දිශාවෙනි. එය වාස්තු නියමයකි. ගිනිකොන පිහිටි මුළුතැන්ගෙයි ජනේලය බොහෝ විට පවතින්නේ නැගෙනහිර දිශාවෙනි. මෙම නැගෙනහිරින් ගලනා රවි හෙවත් සූර්යාගේ ආලෝකය ප්‍රථමයෙන් නිවසට ගන්නේ නිවසේ වෙසෙන ගෘහනියයි. ඉන් ලැබෙන සූර්ය ශක්තිය මුළු නිවසට ගෙන එන්නේ ප්‍රභල ධන ශක්තීන්ය. ඒවා නිවසේ පවතින සියලුම අශුභ ශක්තීන් පලවාහැරීමට තරම් ප්‍රභල විශ්වයේ ශක්තීන්ය. මෙම කාර්යන්ට අනුග්‍රහය දක්වන්නේ එම නිවසේ වෙසෙන මව, හෙවත් ගෘහනියයි. අලුයම සිට රාත්‍රිය දක්වාද රාත්‍රියේ සියලු දෙනා නින්දට ගිය පසු තම සේවා මුරය අවසන් කරන නිවසේ ගෘහනිය දිනක් දෙකක් අසනීපයක් පැමිණිය හොත් එම දින කීපයට මුළු නිවසම අක්‍රිය වේ. මිදුලේ රොඩු කුණු නිවසේ දූවිලි, මුළුතැන්ගෙයි ඉඳුල් භාජන ගොඩගැසේ. නිවස පාලුවේ. නිවස හඬා වැටේ. එසේ නම් නිවසක ගෘහනිය නිරෝගීව සිටීම අත්‍යවශ්‍යයි. ඇයගේ ලෙඩවීම ගෘහ හිමියාගේ ඉපැයීම් ශක්තිය රැකියාව කර ගැනීමට නොහැකිවීම නිසා ආදායම පහත වැටීම, දරුවන්ගේ කටයුතු කරගත නොහැකි වීම ආදී විශාල ගැටලුවලට එම නිවසේ අය මුහුණ දේ. ඒ දිනක දින කීපයක ලෙඩ රෝගයකටයි. නමුත් නිවසේ ගෘහනිය සුව නොවන රෝගයකට සදාකාලික ලෙඩ ඇඳට යොමු වුවහොත් එම නිවස අපායක් බවට පත්වේ.

ලෙඩට දුකට පත්වීම මේ ලෝකයේ සියලුම සත්වයන්ට උරුම දෙයකි. එය කර්මය විපාක දීමක් බව බුදුන්වහන්සේ දේශනා කර ඇත. එයින් බේරී පලා යා නොහැක. බුදුරජාණන් වහන්සේ ද බුද්ධත්වයට පත්ව රෝගී තත්ත්වයන්ට පත්ව ඇත. එසේ නම් අන් අයට කවර කතාද? යම් අයකු මාරක ලෙඩ රෝගවලට පත්වීම තම ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් මත සිදු වේ. රාහු ග්‍රහයා වෘෂභ රාශියේ නීච වීම, සෙනසුරු හෙවත් ශනි මේෂ රාශියේ නීච වීම හා තත්කාල ග්‍රහ ගමන අනුව ද සිදුවිය හැක. නමුත් නව නිවසකට පදිංචි වී එදින සිටන් තම පදිංචි නිවසට කොටස් එකතුකර ගැනීම හෝ තම ඉඩමට තවත් යාව ඉඩමකට කොටස් එකතු කිරීම ආදී ඉඩමේ මෙන්ම තම නිවසේ වාස්තු දෝෂයන්ට ලක්වීම තුළින් එම නිවසේ ගෘහනියව මාරක ලෙඩ රෝගවලට පත්විය හැකිය. එවැනි මාරක ලෙඩ රෝග, සුව නොවන ලෙඩ රෝගවලට පත්වූ වාස්තු දෝෂ හා එවැනි නිවෙස්වල ගෘහනියන් මාගේ නිවාස පරීක්‍ෂණවලදී ප්‍රයෝගිකව මා හට මුණගැසී ඇත. එවැනි මා ලත් ප්‍රධානම වාස්තු දෝෂයකි.

  1. ඊශාන දිශෘවේ වැසිකිළිවළ හා මුළුතැන්ගෙය

නිවසක ඊශාන දිශාව යනු අති පූජනීය කලාපයයි. ඉන්දියාවේ බොහෝ නිවාසවල ඊශාන කාමරය යොදාගන්නේ පූජා කාමරය ලෙසින් වැඳුම් පිදුම් සඳහායි. මෙය වාස්තු පුරුෂයාගේ හිස ආශ්‍රිත කලාපයයි. ආපෝ හෙවත් ජල ධාතුවට සම්බන්ධ වීමෙන් මෙම ඊශාන කලාපය නිවැසියන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපානවා. එම නිසා මෙම කොටස තුළ වැසිකිළි වළ, වැසිකිළිය, මුළුතැන්ගෙයි පෝරනය පැවතීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවැටේ. රෝග සුව නොවේ.

  1. ගිනිකොන දිශාවේ වෙනත් ඉදිකිරීම් ගිනිකොන අවහිරවීම

නිවසක මූල්‍ය ශක්තිය ළඟාවෙන දිශාව ගිනිකොන දිශාවයි. මුළුතැන්ගෙය, විදුලි මීටර, ජෙනරේටර් ආදී ගින්දරට සම්බන්ධ දේ සුදුසුම දිශාව වන්නේ මෙම තේජෝ කලාපයට අයත් ගිනිකොන දිශාවයි. ගිනිකොන දිශාව දික්වීම, කෙටිවීම, වගේම නිවසක ගිනිගොන දිශාව අවහිර වන ආකාරයට ගොඩනැගිලි ඉදිකිරීම ගිනිකොන දිශාවේ සිදුකරන කටයුතු වලින් (නිවසේ පිටත කරන) ඍජු බලපෑම සිදුවන්නේ නිවසේ බිරිඳටයි. විශේෂයෙන්ම ගිනිකොන දිශාව නිවසේ බිරිඳගේ දිශාවයි. මෙම දිශාව අවහිර වීම තුළින් බිරිඳගේ දරුඵල කෙරෙහි, බඩ ආශ්‍රිතව, වකුගඩු, ගර්භාෂ ගෙඩි, පිළිකා වගේම අකල් මරණයට ද පත්විය හැකිය. ගිනිකොන දිශාව තුළ නාන කාමරය, වැසිකිළිවළ ද, නිවසට නිවසේ බිරිඳට අවාසනාව ළඟා කරයි. ගිනිකොන දිශාව නිවසින් අත්තිවාරමෙන් ශුන්‍ය වීම ප්‍රධාන දොර පිහිටීම බෑවුම් වීම නිසා නිවසේ බිරිඳට එයද ඍජුව බලපෑම් ඇති කරයි. ඒවා අතර ගිනි ගැනීම්, මානසික පීඩනය, ගිනි අනතුරු, විෂඝෝර සර්පයන්ගෙන් පීඩා, විශාල ධන හානි, රැකියාව අහිමිවීම, ආර්ථික දුෂ්කරතා, බිරිඳ සැමියා රහස් සබඳතාවලට යොමුවීම, දික්කසාදය, ජීවිතය හානිකර ගැනීම් යන සියල්ල බිරිඳට මේ දිශාවේ අවහිරවීම් වලින් හා අනෙකුත් දෝෂ ඇතිවීමෙන් බලපානු ඇත.

  1. නිවසේ වැසිකිළි බට මුළුතැන්ගෙය හරහා වැටීම

මේ මෑතකදී නුවර ප්‍රදේශයේ නිවසක් මා පරීක්‍ෂාවට ගියෙමි. නිවසට ගිය මොහොතේ මාගේ සේවාදායකයා පැවසුවේ තමාගේ බිරිඳ දැනට වසර 1 1/2 පමණ සිට තදබල ස්නායු ආබාධයකට ලක්ව ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක ඇති බවත් පේරාදෙනිය හා කොළඹ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා කොපමන වෛද්‍ය වාර්තා ගත්ත ද ඒවායේ කිසිම ලෙඩක් සඳහන් නොවන බවයි. වෛද්‍යවරුන්ට ද මෙය ගැටලුවක් වී ඇති බව පැවසීය. දන්නා හඳුනන යකැදුරන් හමුවී කීප වතාවක් හූනියම් කපා ඇත. එය දේවාල කීපයකින් පවසා තිබුණ නිසාය. කරුණු පරීක්‍ෂා කිරීමේදී නිවසේ ගෘහහිමියා වන මා සේවාදායකයා පැවසුවේ ගෙයි කුස්සි කාමරය මෙයට වසර 2කට පෙර ඉදිකළ බවයි. එය පිහිටියේ ද වයඹ දිශාවේ වූ අතර මුළුතැන්ගෙයි වාස්තු දෝෂයක් තදබල ලෙස නොතිබුණි. බස්නාහිර පිහිටි නාන කාමරයේ වැසිකිළිවළ වයඹ පිහිටා තිබුණි. නමුත් වැසිකිළි බටය පිටතින් තිබුණ කලුගලක් නිසා එය කුස්සිය මැදින් දමා තිබුණි. දෝෂය තිබුණේ එතනය. වැසිකිළි වළක බටයක් කුස්සියේ බිමින් හෝ දෙමහල් නිවසක නම් එම බටය කුස්සියට උඩින් ගමන් කිරීම නිවසේ බිරිඳට ස්නායු ආබාධ ඇතිකරවයි. පසු දිනම එය ඉවත්කර නිවසේ තව පැවති දෝෂ ද ඉවත් කළ පසු ඇයට සුවය ලැබුණි. ඒ වගේම යම් නිවසක කුස්සියේ දොර ඍජුව වැසිකිළි වළට වැටී ඇත්නම් එය ද නිවසේ බිරිඳව එක්තැන් කිරීමට හැකි වාස්තු දෝෂයක් වේ.

භූමියේ හැඩය

වයඹ දිශාවට දික් වූ ඉඩම් පිහිටි විට කාන්තාවන්ට විශේෂයෙන් නිවසේ බිරිඳට අශුභ ගෙන දේ. මානසික රෝග, මානසික පීඩා ඇතිවේ. ඇයගේ කීර්තිනාමය ද විනාශ වේ. දෙපැත්ත පළල් වී මැද හීනි වී ඩොල්කි බෙරයක හැඩය ගත් භූමිවල පදිංචි බිරිඳට අකල් මරණ, හදිසි අනතුරු ඇති වේ. මුර්ජාකාර භූමි හෙවත් බෙරයක හැඩය ගත් භූමිවල පදිංචි බිරිඳට ද නිතර රෝග පීඩා සෞඛ්‍ය පිරිහීම ඇති වේ. නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටීම ද නිවසේ බිරිඳට අශුභ වේ. ඊශාන නිරිත විශ්ව ශක්ති රේඛාව දුර්වල වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී සුව නොවන රෝග ඇති වේ. ඒ වගේම නිවසක උළුවහු තැබීමේදී ප්‍රධාන උළුවස්ස පර්ජන පාදයේ පිහිටවීම ද නිවසේ ගෘහ බිරිඳට අපල දේ. නිවසේ දිශාවන් පරස්ව පිහිටා තිබීම ද බලපාන්නේ ගෙදර බිරිඳටයි.

ඒ වගේම කූප ශාස්ත්‍රයේදී දකුණේ ළිඳ පිහිටීම නිසා ස්ත්‍රී විනාශය ඇතිවෙන බව වාස්තු විද්‍යාවේ පෙන්වා දේ.

මාතෘ බිත්තිය දෝෂයට ලක්වීමද බිරිඳට විපත් ගෙන දේ. මේ ආකාරයට මේ සියලුම දෝෂ වැඩිහරියක් නිවසේ බිරිඳට බලපාන හේතුව කුමක්ද යන්න මේ කියවන ඔබට ප්‍රශ්නයක් පැනනැගීමට හැක. නිවසක අලුයම අවදිවන තැනැත්තා එම නිවසේ ගෘහ බිරිඳයි. ඇය කොතරම් ප්‍රමාද වී නින්දට ගියද අලුයම අවදිව දිවයන්නේ නිවසේ කුස්සිය වෙතටයි. එතැන සිට රාත්‍රිය, සමහර විට මැදියම් රෑ වනතුරු ද ඇය මුළුතැන් ගෙයි කටයුතුවල නිරත වෙයි. නිවසේ ස්වාමියා, දරුවන්,

රැකියාවටත් දරුවන් පාසල වෙතටත් ගිය පසු නිවසේ ඉදිරිපස දොර යළි විවෘත වන්නේ ඔවුන් නිවසට පැමිණීමෙන් පසුවය. එතෙක් නිවසට පැමිණෙන ඥාතීන් අමුත්තන් හිත මිතුරන්ගේ සතුටු සාමීචිය පවතින්නේ කුස්සියේ කෑම මේසය හා ඒ පුටුවලය. කුස්සියේ පවතින දෝෂ දිශා දෝෂ ඇතුළු සියලුම වාස්තු දෝෂවල ඍණ ශක්තීන් ඇයගේ ඕරාව පලුදු කරන අතර මුළුතැන්ගෙයි සින්ක් එක ලිප එක ළඟ පිහිටි විට ඒවායේ නිකුත් වන වායුන් එකිනෙකට විපරිත වී නිකුත්වෙන විෂ වායූන් ද ආග්‍රහනය වන්නේ නිවසේ බිරිඳටයි. එම නිසා වාස්තු දෝෂයන්ට ලක්වන නිවසේ සියලුම අශුභතාවයන්ගෙන් පීඩාවට ලක්වන්නේ ඇයයි. එය කාලාන්තරයක් පැවතීමෙන් ඇයගේ ශරීරයේ භෞතික ශරීරය හෙවත් ඕරාව ඉතා හොඳ ප්‍රභලව පැවතිය ද කාලයක් ගතවන විට පැමිණෙන ඍණ ශක්තීන් තුළින් ඕරාවේ ධන ශක්තියට ඇදී ඒමෙන් සමස්ත ඕරා පද්ධතියම දුර්වල වේ. එය පලුදු වේ. ඉන්පසු එයට නොපෙනෙන බලවේග යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය දෝෂ පහසුවෙන් ඇතුල් වී ඇයව රෝගී වේ. විශේෂයෙන් ඊශාන, නිරිත විශ්ව ශක්ති රේඛාව දුර්වලවීමෙන් ඇයගේ ස්නායු පද්ධතිය දුර්වල වේ. ඵ්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවැටී සුව නොවන රෝගවලට භාජනය වී මරණය ඉක්මන් වේ.

නිවසේ වාස්තු දෝෂවලින් බොහෝ පීඩාවට ලක්වන ගෙදර බිරිඳ


දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment