අලුත් නඩුවකට සූදානම් – අගමැතිනිය කියයි

534

හකීම් විවාදයක් ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නව නඩු කටයුත්තක් ගොනුකිරීමට කටයුතු කිරීමට සූදානම් බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) කීවාය.

වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ විමර්ශන සම්බන්ධයෙන් සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳව ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් එවූ ලිපිය පිළිබඳව අදහස කුමක්දැයි මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා විසින් අගමැතිවරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියාය.

එහිදී අදහස් පළකරමින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියාසිටියේ එම ඝාතනය සහ ඊට අදාළ විමර්ශන කටයුතු මෙන්ම නඩුව සම්බන්ධයෙන් කතා කිරීමට පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරිය කියාසිටියේ ඒ සම්බන්ධව එක් දිනක පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට ක්‍රියාකරන බවය.

එහිදී අගමැතිනිය මෙසේ ද කීවාය.

“ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් එවූ ලිපිය මට ලැබුණා. එම නඩු කටයුත්තට සාධාරණය ඉටුකිරීම ඉතා වැදගත් කාරණයක් ලෙස අපේ රජය සලකනවා. මුළු රටම යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින කාරණයක්. ඔවුන් මේ දෙස ඕනෑකමින් බලන් ඉන්නවා. අපේ රජයෙන් බලාපොරොත්තු වූ ඒ යුක්තිය, සාධාරණය ඉටුවන්නේ කොහොමද කියා බලාගෙන සිටින ජනතාවක් සිටිනවා. මේක හරිම සංවේදි කාරණයක්. ඒ නිසා අප සම්පූර්ණ දිනයක විවාදයක් කිරීමට සූදානම්. මේ ගැන අපි ඉතාමත් අවධානයෙන් සිටිනවා. නැවත වතාවක් නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන ග්‍රහණයට ලක් නොකොට ආණ්ඩුවක් ලෙස යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට අපි අවධානයෙන් යුක්තව වැඩ කරනවා.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය එවූ ලිපියට ප්‍රතිචාර දැක්වීමට කටයුතු සැලසුම් කරගෙන යනවා. මේ නඩු කටයුත්ත ගැන අපේ රජය ඉතා පැහැදිලි ස්ථාවරයකයි ඉන්නේ. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන නීතියේ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඒ ස්ථාවරයේ අපි අතීතයේ පටන්ම මේ දක්වාත් සිටිනවා. අහිම්සා වික්‍රමතුංගගේ හැඟීම් මට තේරුම් ගත හැකියි. මම ඇයට සහතික වෙනවා නීතියේ සාධාරණත්වය ඉටුකිරීමට සියලු කටයුතු යොදන බව. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් වුවත් නීතියේ සාධාරණත්වය ඉටු විය යුතුයි. එය අපේ රජයේ වගකීමක්. නීතිය ආරක්ෂා විය යුතුයි. මේ පිළිබඳ අපි විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ මේ කටයුත්තට සම්බන්ධ නිලධාරීන් සමඟ පැවැත්වූවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව ගණනාවක් පරීක්ෂණ පවත්වා තිබෙනවා. සාක්ෂි තිබෙනවා. මේ ගැන නව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සුදුසුයි.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment