මේ පාර නං කවුරුත් වගේ සන්තෝසෙන් අවුරුදු කෑව කියල කට්ටියක් කියද්දී තව කට්ටියක් කිව්වේ අවුරුද්ද අපිව කෑව කියලයි. අවුරුද්ද විතරක් නොවෙයි ආයුබොවන්ඩ, මේ ලංකාව ඇවිල්ල ඕනෑම දෙයක් රුවිතෙට දකින අය ඉන්න රටක් නොවැ. කොහොම උනත් දවස් තුන්සිය හැට පහකට එක වරක් උදාවෙන අවුරුද්ද කියන්නේ පුළු පුළුවන් විදිහට සතුටින් එක්කහුවෙලා ඉන්න දවසක් නොවැ. අනාදිමත් කාලෙක ඉඳල මේ අවුරුදු චාරිත්තරේ කරල තියෙන වග නම් ඇත්ත ආයුබොවන්.
කාලෙකට ඉස්සෙල්ලා මේ අලුත් අවුරුද්ද ගැන විතරක් නෙවෙයි ඒකට කියන නම ගැනත් හැට හුටහමාරක් වාද විවාදත් තිබුණ නොවැ. කොහොමටත් අපේ රට වාද විවාදවලින්නං සුවයංපෝෂිතයි නොවැ. අම්මප ආයුබොවන්ඩ, සුංගිරාළටත් මතකයි ඒ කාලෙ දිවයින පත්තරෙත් මේ අවුරුද්ද ගැන වාද විවාද කරපු හැටි. නලින් සිල්ව මහාචාර්යතුමත් ඉතිහාසෙනුයි, විiාවෙනුයි සාක්කි සාධක ඇතිව කිව්වෙ මේ සිංහල අලුත් අවුරුද්ද කියල. ඒ උනාට අපිව පාලනය කරපු සුද්දො තමයි මේක සිංහල හින්දු අලුත් අවුරුද්ද කියල ප්‍රසිද්ධ කළේ.
මහප්පරාණ කියල සද්දෙ දැම්මෙ නැතුවට ආයුබොවන්ඩ නිකං බැලූ බැල්මටම පේනව සිංහල හින්දු අවුරුද්ද කියන කොටම අවුලක් තියෙන විත්තිය. මොකද සිංහල කිව්වහම ජන කොටහක් නොව. හින්දු ආගමක් නොව. දැන් කොහොම හරි සිංහල දෙමළ අවුරුද්ද කියල වැඩේ තීන්දු වෙලා නොවැ. මොනව උනත් සිංහල දෙමළ අවුරුද්ද කියන කොට ම ඒක පොදු උත්සවයක්ය කියන කාරණේ පැහැදිලියි. හැබැයි නලින් සිල්ව උන්නැහෙ කියන විදිහට දෙමළ හින්දු අයගේ ප්‍රධාන උත්සවේ දීපවාලි. මොනව උනත් සිංහල දෙමළ දෙගොල්ලට ම තම තමන්ගේ ජාතික සංස්කෘතික ඇවතුම් පැවතුම් එක්ක මේ අවුරුදු චාරිත්තර කරන්ට බාධාවක් නැහැ නොවැ. උන්නැහෙ මේ අවුරුද්ද ගැන පොත්ගෙඩියකුත් ලියල තියෙනව. ඒව හරියි කියන අය වගේම වැරදියි කියන අයත් ඉන්නව.
කොහොම උනත් වාද විවාද කරල හරි, අපේ වටිනාකම් උරුමකම් තහවුරු කරන එක හොඳයි නොවැ. නලින් සිල්ව උන්නැහෙනං ඒකට කිව්වෙ ජාතික චින්තනය කියල. ඒකත් සමරුන්ට දිරව ගන්ට බැරි උනා. ඒ උනත් ජාතියක් ඉස්සරහට යන්නෙ ජාතික චින්තනය කියන දැවැන්ත පදනමත් එක්ක කියල සුංගිරාලටත් හිතෙනව. ජාතිවාදයයි, ආගම් වාදයයි කලවම් කරගත්තු දේශපාලන කැඳ හැළියකුත් තියෙනව නොවැ. හැබැයි දැන් හුඟ දෙනකුට ඒක මහ භයානක දෙයක්ය කියලා තේරිලා නං තියෙනව.
මේ මොනතරං අටුව ටීකා ටිප්පණි තිබුණත් දැන් අලුත් අවුරුද්ද කියන්නෙත් වෙළෙඳාමක්ය කියල සමහරු කියනවනෙ. බලං යන කොට ඒකෙත් ඇත්තක් තියෙනව. ඒ උනාට ආයුබොවන් තවම අපේ කැවුම නං හතරැස් වෙලා නැති විත්තියත් කියන්නට ම වෙනව. ඒ කියන්නෙ මොන හත්තිලව්වක් සිද්ද උනත් අපේ ලකුණු ඔක්කොම වාෂ්ප වෙලා නැහැයි කියන එක නොවැ.
ඒ උනාට ආයුබොවන්ඩ ආණ්ඩුවෙම මාධ්‍යයක තිබුණනෙ මේ පාර අවුරුද්දට අලුත් සෙල්ලමක් මන්දො කරල කියලා. සුංගිරාළට නං ඒක අහල හීන් දාඩියත් වැටුණයි කියමුකො. වාර්තා කරපු විදිහට නං ඒක තුප්පහි කිරීඩාවක්ලු ආයුබොවන්ඩ.
මේ සෙල්ලම අර වැඩිහිටියන්ට පමණයි එහෙමත් නැත්නං ‘ඇඩල්ස් ඔන්ලි’ එකක්දෝ කියලත් හිතුණ. තරුණියන් ටිකක් ළමයින්ට කිරි දෙන බෝතල් කිහිලි ගන්න ගෙන ඉන්නව. තරුණයො දුවගෙන දුවගෙන ඇවිල්ල ඒ කිහිල්ලෙ තියෙන බෝතලේ සූප්පුවෙන් කිරි බොනව. මේ සෙල්ලම ඊළඟ අවුරුද්ද වෙද්දි තවත් සංවර්ධනය වෙන්ටත් බැරි නෑ. කොහොම වුණත් මේක ‘තුප්පහි’ කියල කිව්වෙ මොනව හරි හේතු ඇතිව වෙන්ට ඇතිනෙ. හැබැයි ඉතින් මේ සෙල්ලම කාගෙ හරි මනෝ විකාරයක් ද කියල හිතීමත් වැරදිම නෑ. ඇයි අප්පා මොන තරං සෙල්ලම් ජාති අපට තියෙනවයි කියල ද?
වන්නිල ඇත්තො කිව්ව වගේ අපේ සංස්කුරිත පොජ්ජ රැක ගන්ට තියෙන අවුරුද්දට ඒ ජාතියෙ නඩලං අල්ලන එක නම් හරි නෑ කියල ඇමැති හූරට ම කියන්ට ම වෙනව ආයුබොවන්ඩ. ඒ වගේම අවුරුදු කෑම කියන්නෙ ගම කෑම, හොරා කෑම, උදුරගෙන කෑම, ඉල්ලන් කෑම වගේ කෑමක් නොවෙයි කියලත් ඒ වර්ගයේ අප්පුහාමිලට කියන්ටත් වෙනව. ඒ එක්කම ඒ වගේ මොළේ කචල් අයට කියන්ටත් ඕනෑ. ගොනා උනාට උම්බෑ කියන්ට එපා කියලත්. කොහොම උනත් ආයුබොවන්ඩ ඔය අවුරුදු චාරිත්තරවල ස්නානයත් දාලම තියෙනවනෙ. ඒ උනාට පුරස්නෙකට තියෙන්නෙ අපේ වැඩි දෙනෙක් වැඩිපුරම කරන චාරිත්තරේ තමයි ස්නානය හෙවත් නෑම, බොරුද එහෙනම්!
සුංගිරාළ