අහංගම වැල්හේන්ගොඩදී අඹුසැමි යුවළක් කපා කොටා මරා දමලා

52

අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ වයෝවෘද්ධ අඹුසැමි යුවළක් කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අහංගම පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ඝාතනය ඊයේ (04 වැනිදා) අලුයම් කාලයේ සිදුකරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 67 හැවිරිදි පී. ජයසිංහ හා 63 හැවිරිදි කමනි වීරතුංග යන අඹුසැමි යුවළ බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. ගැබිනියක වන මෙම යුවළගේ දියණිය ප්‍රතිකාර සඳහා පෙරේදා (03දා) හෝමාගම ගොස් තිබේ. ඒ අතරේ ඊයේ (04දා) එම දියණිය අහංගම නිවසේ සිටින පියාගේ දුරකථනයට ඇමතුමක් ලබාගෙන තිබේ. එහෙත් සිය පියා ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ ගැන ඥාතියකුට පවසා තිබේ. අනතුරුව එම ඥාතියා අදාළ නිවසට ගොස් සොයා බලනවිට එම වයෝවෘද්ධ යුවළ ගෙල කපා නිවස තුළ මරා දමා තිබෙනු දැක තිබේ. පසුව ඔහු මේ ගැන දියණියට ද දැනුම් දී පොලිසියට පවසා තිබේ. අනතුරුව පොලිසිය එම නිවසට පැමිණ විමර්ශන ඇරඹීය.

ඝාතනයට සම්බන්ධ කිසිවෙකුත් ඊයේ සවස් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. ඝාතනයට ලක්වූ යුවළගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. මේ පිළිබඳව අහංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment