‘ආකාස කුසුම්’ මුලින්ම විකසිත වූයේ අවුරුදු 17 කට පෙර ය. අවුරුදු 17 ක් වැනි දීර්ඝ කාලයක් පුරා සුපුෂ්පිතව පවතින්නට හැකිවන්නේ ‘පරසතු මල්’, ‘මදාරා මල්’ වැනි මල් විශේෂයනට බව අපට අසන්නට ලැබී තිබේ. එහෙත් ඒවා සුපිපෙන්නේ යැයි කියන්නේ දෙව්ලොවෙහි ය.
එහෙත් අද අප මේ කතා කරන්නට සැරසෙන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ නම් වූ චිත්‍රපටය පිළිබඳව ය; ඒ චිත්‍රපටයේ අලුත්ම ප්‍රවේශය සමග පෙනී යන කරුණු හා එහි වෙනත් වෙනත් මානයන් ගැන ය.
සාමාන්‍යයෙන් නම් දශක එකහමාරකට කලින් තිරගත වූ චිත්‍රපටයක් නැවත වරක් නරඹන්නට ප්‍රේක්ෂකයාට අවකාශයක් විවර වන්නේ දුර්වර්ණ (Fade) වී, හේබා ගිය රූපරාමු ද සමගිනි. එහෙත් ඉකුත් දා (අප්‍රේල් 30) පී.වී.ආර්. හිදී ‘ආකාස කුසුම්’ විශේෂ දර්ශනයක් අපට නරඹන්නට ලැබුණේ එදා තිබූ පරිද්දෙන්ම හා ඊට ද වඩා තියුණු යැයි කිව හැකි නවතාවකිනි.
මෙදා යළිත් වරක් ‘ආකාස කුසුම්’ තිරයට නැගුණේ විශේෂ සිදුවීම් දෙකක් ප්‍රස්තුතව ය. එකක් නම් සිනමාපටය ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වී, (නිවැරදිවම කියන්නේ නම්) ප්‍රතිෂ්ඨාපනය වී තිබීම ය. දෙවැන්න වන්නේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව (සන්ධ්‍යා රාණිගේ චරිතය) නිරූපණය කළ හා නිළි රැජින ලෙස පොදුවේ පිළිගැනෙන මාලිනී ෆොන්සේකාගේ 78 වන ජන්ම දිනය එදිනට යෙදී තිබීම ය.
චිත්‍රපටයක් ‘ඩිජිටල්කරණය වීම’ යැයි කියන්නේ සිනමාවේ මෙන් ම ප්‍රේක්ෂකාගාරයේ ද සුවිසල් ජයග්‍රහණයකට ය; සැබැවින්ම එය තාක්ෂණික ප්‍රාතිහාර්යයකි. තාක්ෂණය ඇතැම් විට මිනිසාගේ මානවීය ස්වභාවයට අභියෝග එල්ල කරන අවස්ථා ද ඇතැයි යම් යම් අවස්ථාවලදී පෙනී යන මුත්, ඒ නම් මිනිසාගේ බුද්ධිමයේ ප්‍රසාරණය සඳහා ඍජුවම දායක වන්නකි.
‘ආකාස කුසුම්’ අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ නම් වූ සිනමාවේදියාගේ අවධාරණයකට අනුව, ඔහුගේ එක් අභිලාෂයක්ව පවතින්නේ සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ගෙනයෑම ය. අපගේ පෞද්ගලික අදහස වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන් ම ජාත්‍යන්තර තලය ජයගත හැකි තවත් බොහෝ කලා සාහිත්‍ය කුසලතා, ශක්‍යතා ද මේ රට තුළ වන බව ය; ඒවා කැලේ මල් මෙන් පිපී, පරව යන අවස්ථා එමට ය.
‘ආකාස කුසුම්’ චිත්‍රපටය සියුම් ලෙස, විචක්ෂණ ලෙස හා මනෝ විද්‍යාත්මකව විමසමින් වසර 17 කට පෙර ‘ආකාස කුසුම්’ චිත්‍රපටයට මෙන් ම සාහිත්‍ය කලා විෂයයනට ද සාතිශය වූ සාධාරණයක් ඉටුකරන ලද්දේ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් වන බව අපගේ අදහස ය. ‘සේරි’ ප්‍රකාශනයක් වන ‘රූපරාමුවෙන් රූපරාමුවට’ නම් වූ ඒ තිස්පස් වසරක සිනමා වියමන් ඇතුළත් කෘතියේ කොටස් (පරිච්ඡේද) 3ක් ම වෙන් කර ඇත්තේ ‘ආකාස කුසුම්’ සඳහා ය. විචාර ක්‍ෂේත්‍රය තුළ ප්‍රාඥ හා විද්වත් අවධාරණ ඔස්සේ අල්පශ්‍රැතයන්ගේ හා බහුශ්‍රැතයන්ගේ මායිම් රේඛා සලකුණු වන ආකාරය ද පෙන්වා දෙමින් මහැදුරු ගම්ලතුන් පළ කරන අදහස් බොහොමයක් ‘ආකාස කුසුම්’ යළි තිරගත වන මේ කාලයට අදාළ වන්නේ එදාට ද වැඩියෙනියි අපට සිතෙයි. ඒ අනුව මේ පසුබිම හරහා ‘ආකාස කුසුම්’ චිත්‍රපටය මෙන් ම සුචරිත ගම්ලත් නම් වූ දුර්ලභ ගණයේ ශාස්ත්‍රවන්තයා ද යළි උත්ථානය කළ යුතු අයුරකි, අපට හැඟීයන්නේ. මේ ප්‍රයත්නය එහි හේතුයුක්ති විමසීමයි.
‘ආකාස කුසුම්’ කියා දෙයක් ඇත්තේ නැතැයි ගම්ලත් සූරීහු පවසති. එහෙයින් ආකාස කුසුම් යනු නැත්තකට නමකි; හාවන්ට අං ද, ඉබ්බන්ට ලොම් ද නැත්තාක් මෙනි. ගෝවේ පැවැති 39 වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළේදී රජත මයුර නම් වූ ජාත්‍යන්තර සම්මානය හිමි වූයේ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයට ය. ‘එහි රැස්ව සිටි බොහෝ ‘විශ්වදේශීය’ සිනමා විචාරකයෝ හා රසිකයෝ මෙයට මහත් සේ ප්‍රශංසා කළෝ ය’ කියා ගම්ලත්හු පවසති. විචාරය කෙරෙහි ඔහු අවධානය යොමු කරන්නේ ඉනික්බිතිව ය.
විචාරය යනු තත්ත්ව නිර්ණයයි.
මීට සියවස් හතඅටකට පෙර විචාරය ඒ අයුරින් අර්ථකථනය කළේ විශ්වනාථ කවිරාජයන් යැයි එතුමෝ පවසති. ඉනික්බිතිව ලියා තබන්නේ ‘ශ්‍රී ලංකාවේ කලා විචාරය නම් නන් දෙඩවීම’ යි කියා නව අර්ථකථනයක් ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇත’ කියා ය.
ඒ තත්වයට හේතු වූයේ මේ ලේඛකයන් බොහෝ දෙනා තර්කානුකූල ව සිතන පුහුණු ලේඛකයන් නො වීම යි.
තර්කානුකූල චින්තනයෙන් යුතු, පුහුණු, සිංහල භාෂාව මනා ලෙස දත්, ලේඛන කලාව ප්‍රගුණ කළ විචාරකයන්ගේ අභාවය මෙරට සාහිත්‍යාදි කලාවල පරිහානියට ප්‍රබල හේතුවක් ව පවතී.
(රූප රාමුව: දෘශ්‍යමානයෙන් යථාර්ථයට – 295 පිටුව)
මේ කාලය වන විට අප ඉදිරියේ සැබෑවක් බවට පත්වෙමින් පවතින්නේ මුනිදාස කුමාරතුංග නම් වූ ප්‍රාඥයාගේ අභාවය සිදු වූ අවස්ථාවේ පී. මලල්ගොඩ දැක්වූ මේ අදහස නොවේ දැයි ඔහු අපෙන් විමසා සිටී.
බැලිය හැකි වෙයි ඉතින් කාටත් මහදවල්
බකමුහුණු නළුකෙළි
මුවහත් චින්තනයකින් යුතු ඇතැම් ශාස්ත්‍රවන්තයන්ගේ, නවෝත්පාදකයන්ගේ අභාවයන්ගෙන් පසුව ද මේ රට තුළ එක්තරා මට්ටමකින් මේ හා සමාන තත්ත්වයක් හිස ඔසවා ඇති බව අපගේ අදහසයි.
‘පුරාණ වූ පළියට සියල්ල යහපත් වන්නේ හෝ නව්‍ය වූ පළියට නිරවද්‍ය වන්නේ හෝ නොවේ’ යැයි කියා ඇත්තේ මහා කවි කාලිදාසයෝ ය. නව වන සියවසේ විසූ ආනන්ද වර්ධනයන්ගේ අදහසක්, මුනිදාස කුමාරතුංගයන් විසින් කවියට නගනු ලැබ ඇත්තේ මෙසේ ය.
තෙරක් නොමැති කව් සසරේ
මහබඹ කවියා විතරේ
ඔහු රිසි යම’තෙක හැසිරේ
මුළු ලොව ඒ දෙසට හැරේ
(මේ සියල්ල සඳහන් වන්නේ රූපරාමුව පොතේ අඩංගු ‘ආකාස කුසුම්’ විචාරයන්හි ය.)
‘ආකාස කුසුම්’ චිත්‍රපටය ගැන එදා ලියූ එක් විචාරකයකුට පෙනී ගොස් තිබුණේ එහි නාරිමෛථුනය (lesbianism) වුවමනාවට වඩා තිබූ බව යැයි ගම්ලත්හු පවසති; එය වුවමනාවට වඩා තබා කෙසේ වත් තිබූ බවක් තමාට නම් නොපෙනුණේ යැයි කියමින් එය සනාථ කිරීම සඳහා ලෙනින් (38 වෙළුමේ) කොටසක් ද උපුටා දක්වති.
‘ඒකීය සමස්තයක් විභේදනය කිරීමත් එහි ප්‍රතිවිරෝධී කොටස් ඥානනය කිරීමත්… අපෝහකවාදයේ සාරය වන්නේ ය’ (පි. 3591)
‘ආකාස කුසුම්’ සිනමාපටය එදා විවේචනය කළ එක ද විචාරකයකුවත් නොකළේ ද මෙයම වන බවට සටහනක් ද ගම්ලත් සූරීහු ශේෂ කරති. ‘අපෝහක භෞතිකවාදය’ යැයි කියන්නේ යම් ප්‍රපංචයක, යම් සංසිද්ධියක සාරය කරා කිමිදෙන්නාවූ විධික්‍රමය වන බව අවධාරණය කරමින්, ‘විචාරය’ කියා කියන්නේ ‘කලාකෘතිය එය සැදුම් ලබා තිබෙන මූලිංකාගය විශ්ලේෂණය කිරීම හා ඒ මූලිකාංගයන් අතර සබඳතා දක්වා යළි සංශේලේෂණය කිරීම යැයි ද කියා සිටිති.
‘සන්ධ්‍යා රාණි’ ලෙස විශිෂ්ට රඟපෑමක යෙදෙන මාලිනී ෆොන්සේකාගේ රඟපෑමට ‘රජත මයුර’ සම්මානය හිමිවීම ඒ ප්‍රතිභාව සර්වසම්මත වීමකියි පෙන්වා දෙමින් චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳ මෙවැනි අදහසක් ද පළකරති.
අතීතයේ දී එක් ළදරු මවක වූ සන්ධ්‍යා රාණිට තම බිලිඳු දියණියන් හා සැමියා මුදල් සඳහා හැර දැමීමට සිදු විය.
ජනකාන්ත සිනමාවේ අගරැජින වසයෙන් ඇය දිගු කලක් අනේකවිධ සිනමාවල රඟ පායි. එලෙස ඇය සිනමා මුදලාලිලාට කෝටි ගණන් ධනය රැස් කර දී ඇත. මුදලාලිලා ජන මන නයන මොට කරමින්, ජන අධ්‍යාත්මයන් පුරන් කරමින්, අවිද්‍යාව වගා කරමින් ඒවායින් තව මත් සල්ලි ගරති.
වියපත් ව ලිංගික ආකර්ෂණය නැති ව ගිය තැනේ දී ඇය සිනමාවෙන් වීසි වෙයි. තමා ගොඩ ගසා දුන් ධනයට ඇයට කිසි ම අයිතිවාසියක් නැත. ඇය සතු ව සතපහක් නැත. ඇය අන්ත දරිද්‍රතාවට වැටෙයි.
ඇය කළ, නිපැයූ, ඉපැයූ සියල්ල ඇගෙන් බැහැර ව ගොසිනි; පරාරෝපණය වී ගොසිනි. ඇයට තමාට තමා ද නැති වී ඇත. ඇයට කාත් කවුරු වත් නැත.
ඇය කුලී ගෙයකට කොටු වී, එහි අතිරේක කාමරය නළුනිළියන්ගේ රහස් කාමසේවනයට කුලියට දෙමින්, පැටිස් සාදා විකුණමින්, පූසෙකුගෙන් තනිය මකා ගනිමින් යන්තම් පණ ගැට ගසා ගනී.
(රූප රාමුව: දෘශ්‍යමානයෙන් යථාර්ථයට – 315 පිටුව)
ශාලිකාගේ චරිතය නිරූපණය කරන දිල්හානි අශෝකමාලා ද අඩුවැඩි කරමින් මුහුණ දී සිටින්නේ මේ ඉරණමටම ය. වාණිජ සිනමාවේ, සබන් ටෙලිනාට්‍යයේ ජනකාන්ත නිළියක වන ඇය, අසාර්ථක විවාහයකින් පීඩාවට පත්ව රසපහස සොයා නන්නත්තාර වී, විවාහය මෙන් ම උන්හිටි තැන් ද අහිමි කරගනී. කොරා හා අන්ධයාගේ කතාව මෙන් එහිදී ඇයට පිහිට වන්නේ ද සන්ධ්‍යා රාණි ම ය.
ප්‍රියාගේ චරිතය නිරූපණය කරන නිම්මි හරස්ගම මුහුණපාන්නේ ද මේ ඛේදජනක ඉරණමටම ය. සන්ධ්‍යා රාණිගේ දියණිය වන ඇය, මවගෙන් වෙන් කළ පසුව අක්මුල් නැති ලෝකයක හුදෙකලාවීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ කැරොකේ සමාජ ශාලාවක විවරව ඇති දොරෙන් ඇතළු වීම ය.
මෙහිදී දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ සියලුම ස්ත්‍රීන්ගේ පරායත්ත බව යැයි ගම්ලත්හු පවසති. ඉන් විශද වන්නේ තමනට තමන් හෝ තමන් සතු ශක්තීන් හෝ නොමැති බව ය.
ගම්ලතුන් පවසන්නේ ‘ආකාස කුසුම්’ මිනිසා තුළ උපද්දන රසය ‘කරුණ රසය’ (කරුණාව) වන බව ය. ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන, අන්ධකාරයේ වෙළී ‘ආකාස කුසුම්’ නැරඹීම සුහද ළබැඳි අත්දැකීමකි යි පවසන එතුමෝ, ඒ, එයින් අධ්‍යාත්මය විකසිත වී, බුද්ධිය වර්ධනය වන හෙයිනියි ද පෙන්වා දෙති; ලක්ෂ්මන් ජෝසෆ් ද සේරම්ගේ සංගීතයෙන් එය තීව්‍ර වන බව ද පවසති. මේ තත්ත්වය වර්තමානයේදී විශද කිරීම ගැටලුවක් වී ඇත්තේ කුමන හේතුසාධක ද යන්න මෙසේ පෙන්වා දෙති.
මීට හේතුව අඩසිය වසක් තුළ කෙරුණු හා තවමත් කෙරෙන අධ්‍යාපන සංහාරය යි.
‘ආකාස කුසුම්’ වටා පුවත්පත්වල කෙරුණු සාකච්ඡාවේ නිගමනය මෙය යි. සාහිත්‍ය තෑගි, සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය පට්ටම් යනාදියෙන් මෙය මීටත් වඩා ප්‍රබල ලෙස නිගමනය වෙයි.
පහත් කෘතිවලට තෑගි දෙති; සම්මාන දෙති; පුස්සන්ට සම්මාන දෙති; උසස් කලා කෘතියක් පහළ වුව හොත් මදාවි විඥානවාදය නමැති අවියෙන් පහර දී එය අවප්‍රාණ කරති.
මෙහි ඵල වසයෙන් සත්කලාකරුවෝ දුර්මුඛ වෙති; කුකලාකාරයෝ දිරි ලබති; කලාව එන්ට එන්ට ම පිරිහේ.
(රූප රාමුව: දෘශ්‍යමානයෙන් යථාර්ථයට – 301 පිටුව)
‘පැරැන්නෝ මේ බව දැන සිටියහ’ යි පවසමින් ඒ සඳහා නිදසුන් කොට දක්වා ඇත්තේ මහා සුපින ජාතකයයි; කෝසල සිහිනයි.
හෑල්ලු ලබුකබල් දිය යට ගිලෙද්දී බරැති මහගල් පර්වත ජලයේ (මතුපිට) පාවීම සිහිනයේ එක් රූපරාමුවකි. මැඩියෝ කාලසර්පයන් ගිලදමති. තව බොහෝ දේ සිදුවෙයි. සියල්ල සිදුවන්නේ නුහුරට ය. කණපිටට ය.
‘ආකාස කුසුම්’ චිත්‍රපටය තුන්වන වරට නැරඹූ අවස්ථාවේදී ගම්ලතුන් සමග සිටි සගයා කියා ඇත්තේ ‘හරි කනගාටු හිතෙනවා’ යි කියා ය. කරුණ රසයට ප්‍රතිෂ්ඨා වන්නේ ශෝකය නමැති මනෝභාව යැයි පවසන ගම්ලත් සූරීන්, ඇරිස්ටෝටල් මේ මනෝභාව යුග්මය හැඳින්වූයේ කනගාටුව (= pity) හා බිය (= fear) යනුවෙනියි ද පවසයි.
සිංහල සිනමාව ජාත්‍යන්තරය ජයගැනීම යනු නවෝත්පාදකයන්ගේ සුවිසල් ජයග්‍රහණයකි. කෝසල සිහින යථාර්ථයක් බවට පත්වෙමින් පවතින දේශයක, සිනමාවේ මෙන් ම අන් සියලු සාහිත්‍යකලා, ලලිතකලා ක්‍ෂේත්‍රයන්හි ද නියුතු වූවන්ට බලාපොරොත්තුවක් සඳහා අවකාශයක් විවර කරගත හැකිවන්නේ ජාත්‍යන්තර තලයට පිවිසීමේ අවස්ථාව උදාකර ගැනීමෙනියි අපි සිතමු. ප්‍රසන්න විතානගේ සිනමාවේදියාගේ මෙහෙවර විශේෂිත වන්නේ එහෙයිනි.
කැත්ලීන් ජයවර්ධන