ආච්චිට පුතාට නඩු

59

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ මහතාට හා ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිපතිවරයා (14දා) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීය.

උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ 800කට අධික මුදලක් යොදවා 2012-2013 වසරවලදී රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ හා දෙහිවල ප්‍රදේශයේ ඉඩම් ඇතුළු දේපළ මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ එම නඩුව පවරනු ලැබිණ.

සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි පර්චස් 31.5ක් ඉඩමක් රුපියල් ලක්ෂ 360කට අධික මුදලක් යොදවා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජනවාරි 25 වැනිදා යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

එදිනට පස්වරුවේ අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ එම සැකකරු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කොට තිබිණි.

කෙසේ නමුත් පසුගිය 27 වැනිදා විවෘත අධිකරණය හමුවේදී එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විදේශගත වීම වළක්වන නියෝගයක් පනවා දැඩි ඇප කොන්දේසි පනවා ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කොට තිබිණි. යෝෂිත රාජපක්ෂ මහතා කොටස් හිමිකාරීත්ව දැරූ සී.එස්.එන්. නාළිකාව මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල සැකකාරියක ලෙස නම් කරනු ලැබූ ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය විදේශගතවීම වළක්වමින් කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් පසුගිය 11 වැනිදා නියෝගයක් නිකුත් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment