රජයේ රෝහල්වල පිහිට පතන මිලියන 55ක මිනිස්සු

විශේෂඥ වෛද්‍යවරුන් 300ක් රට හැර ගිහින්

පසුගිය වසර දෙක තුළ වෛද්‍යවරු 1800 කට වඩා රට ගිහින්

ආර්ථික ප්‍රශ්න නිසා 2023 පළවෙනි මාස 6 ට ඔස්ට්‍රේලියන් විභාගය 3756 ලියලා, එයින් 781 ක් ලංකාවේ වෛද්‍යවරු

විභාගය සමත් අය 2120 ක් එයින් 584 ක්ම ලංකාවේ වෛද්‍යවරු හරියට ගණන් හැදුවොත් 25% ටත් වැඩියි

පශ්චාත් උපාධිය ගන්න එක 50% ක් අඩුවෙලා

තරුණ වෛද්‍යවරුන් ලියන්නේ පිටරට විභාග විතරයි

ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන හැමදාම කතා කරන්නට සිදුවෙන්නේ අප කවුරුත් ඇසීමට අකැමැති කාරණාය. බාලබෙහෙත්, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත්, වංචා දූෂණ ඒවායින් සමහරෙකි. තවද වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන, හෙද හෙදියන්ගේ වැඩවර්ජන එහෙමත් නැත්නම් සුළු සේවකයන්ගේ වැඩවැරුම් ද මෙරට සෞඛ්‍ය පද්ධතියේ තවමත් සුලභය. මේ කියන අන්දමට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය හැමදාමත් ලෙඩින්ය. ලෙඩ වන සෞඛ්‍ය පද්ධතියේ දොස්තරලා වැඩ දවසට හෙද හෙදියෝ වර්ජනයේය. හෙද හෙදියෝ වැඩ දවසට දොස්තරලා ස්ට්‍රයික්ය. මේ දෙගොල්ලෝම වැඩ දවසට ඖෂධ සංයෝජකලා හෝ වර්ජනයේය. හැමෝම වැඩ දවසට රෝහලේ බෙහෙත් නැත. තියෙන බෙහෙතුත් තත්ත්වයෙන් බාල ඒවාය. මේ ආදී එකී නොකී ප්‍රශ්නවලින් ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හැමදාම කොට උඩය. මේ තත්ත්වය මත රෝගියකුට රෝහලකට ගොස් වෛද්‍යවරයකු ලවා රෝගය පරීක්‍ෂා කරවාගෙන බෙහෙත් අරන් ගෙදර එන්නට සිදුවන්නේද කලාතුරකින්ය. මේ හැම ප්‍රශ්නයක්ම දැන් රටේ ජනතාවට හොඳහැටි හුරුපුරුදුය. එහෙත් ලෙඩකට බෙහෙත් ගැනීමට රජයේ රෝහලකට එන රෝගියාට අවශ්‍ය වන්නේ ලෙඩේට බෙහෙත් මිස සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න ද නොවේය. ආර්ථික දරිද්‍රතාවයේ පත්ල අතගාමින් සිටින රටේ ජනතාවට මේ කියන කිසිදු කතන්දරවලින් ද පලක් නැත. එහෙත් මේ වනවිට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න තවත් තීව්‍ර වී ඇත්තේද මෙරට සිටින දොස්තරලාට තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට විදෙස්ගත වීමට සිදුවීමය.

ලංකාවේ දොස්තරලාගෙන් 25% පිටරට යන්න පෝලිමේ

මේ වනවිට මෙරට වෛද්‍යවරුන්ගෙන් සියයට 25%ක් පමණ විදේශ රැකියා සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානයේ වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමට වෛද්‍යවරුන්ට විශේෂ විභාගයකට ඉදිරිපත් විය යුතු අතර එක්සත් රාජධානියේ සේවය කිරීමට මෙරට වෛද්‍යවරුන්ට වෘත්තීය සහ භාෂාමය ඇගයීම් මණ්ඩලයේ විභාග සම්පූර්ණ කිරීමට අවශ්‍ය වේ. සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට වෛද්‍යවරුන් 5,000 කට ආසන්න පිරිසක් මෙම විභාග අවසන් කර ඇති අතර ඔවුන් මේ වනවිට ද රට හැර යෑමේ තීරණය ගැනීමට බලාසිටින බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

ගෝලීය කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට බලපෑ දරුණුතම ආර්ථික අර්බුදයට පෙර එනම් 2021 වසරේ මෙරටින් විදෙස්ගත වූ වෛද්‍යවරුන් ගණන 200 ක් වන අතර 2022 වර්ෂයේ මුල් මාස කිහිපයේ සිට එම සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2022 සහ 2023 වර්ෂවල මෙරට වෛද්‍යවරුන් 1800කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන බවද වෛද්‍යවරයා පෙන්වාදෙයි.

ලංකාවේ සිටින වෛද්‍යවරු ආර්ථික ප්‍රශ්න හමුවේ විදෙස්ගත වන විට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට කඩාවැටීමේ අවදානමකට ලක්වන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. වෛද්‍යවරු රට හැර යෑම නිසා රජයේ රෝහල් තුළ පවතින වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුද මේ වනවිට ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිවිපාක විඳින්නේ රටේ දුප්පත් ජනතාවය. කොටින්ම කිවහොත් රටේ ජනතාවට ලෙඩට දුකට ඇති එකම පිහිට වන්නේද රජයේ රෝහල් පද්ධතිය ය. එහෙත් මේ වනවිට රජයේ වෛද්‍ය සංගම් කියා සිටින්නේ වෛද්‍යවරු නොමැතිකමෙන් මේ වනවිට රජයේ රෝහල් බොහෝමයක් වැසීයෑමේ තර්ජනයකට ද මුහුණදී ඇති බවය.

රජයේ රෝහල් පිහිට පතන මිලියන 55ක මිනිස්සු

ආණ්ඩුවේ ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරෙද්දී… දොස්තරවරු රටෙත් නැත…

වෛද්‍යවරු නොමැතිකමින් කුඩා රෝහල් 20 ක් වැසී ගිහින්
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ

රජයේ රෝහලකින් ඖෂධ ලබාගැනීමට බොහෝ දෙනකු පෙලඹෙන්නේ පවතින ආර්ථික අර්බුදය මෙරට ජනජීවිතවලට බොහෝ බලපෑම් සිදුකර ඇති නිසාය. එමෙන්ම රටේ ඖෂධ මිල ඉහළ යෑම හා වෛද්‍යවරුන් සඳහා චැනල් ගාස්තු සඳහා අධික මුදලක් දැරීමට සිදුවන හෙයින් බොහෝ දෙනෙකු පෙලඹෙන්නේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමටය. එසේ රජයේ රෝහල් පිහිට පතන මෙරට ජනතාව මිලියන 55ක් සිටින බවද, ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී වැඩිපුරම රජයේ රෝහල්වල හා බාහිර රෝගී අංශ මගින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ මෙරට ජනතාව බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දී ඇත. ඔහු පවසන ආකාරයට සෞඛ්‍ය දත්ත පරිශීලනයේදී රටේ එක් පුරවැසියකු වසරකට හය වතාවක් ප්‍රතිකාර සේවා සඳහා රජයේ රෝහලකට පැමිණෙන බව තහවුරුවී ඇත. තවද මෙරට රෝහල්ගත වීම් ඉහළ මට්ටමක පවතින බවද එය ලක්‍ෂයකට දෙසිය තිස් හතරක් බවද පෙන්වා දෙයි. රටේ පවතින තත්ත්වය එසේය. රටේ පෞද්ගලික රෝහල් පද්ධතිය හා එයින් ප්‍රතිකාර ලබාගන්නා පිරිස ගැන අප කතා නොකරන්නේ රටේ ඇති හැකි පිරිසට නැති බැරි පිරිස වැඩි නිසාය. එහෙත් මෙරට සිටින වෛද්‍යවරු රට හැර යෑම මේ කියන රජයේ රෝහල් පද්ධතියට මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ට ද බෙහෙවින් බලපාන්නේය. එසේ නම් නුදුරේදීම රෝහල් තුළ සැත්කම් කල්යන්නට, බාහිර රෝගී අංශවල දිගු පෝලිම් තත්ත්වය, වෛද්‍යවරු හිඟයෙන් ඇතැම් රෝහල් වැසීයෑම වැනි තර්ජනවලට මුහුණ දීමට ද නියමිතව ඇත.

පවතින තත්ත්වය ගැන අප රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙන් විමසන්න වූයේද ප්‍රශ්නය සැකහැර දැනගැනීමටය.

“පසුගිය අවුරුදු දෙක තුළ වෛද්‍යවරුන් 1800 කට වැඩි පිරිසක් මෙරටින් විදේශ රටවල් කරා ගිහින් තිබෙනවා. මෙරට වෛද්‍යවරයකු ඔස්ට්‍රේලියාව වැනි රටකට යනවා නම් AMC කියන විභාගය ලියා සමත් විය යුතුයි. එමෙන්ම එංගලන්තය වැනි රටක නම් PLAT කියන විභාගයද, මැදපෙරදිග රටකට නම් Formettry කියන විභාගය සමත් විය යුතුය. මේ වනවිට මෙම විභාග තුනට මුහුණදීලා සමත්වෙච්ච වෛද්‍යවරු 5000 ක ප්‍රමාණයක් රට ඇතුලේ ඉන්නවා. මේ අය සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්. එවැනි වෛද්‍යවරු මෙරට ඉන්නේ 21000 කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙරට වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක ප්‍රමාණයක් මේ කියන විභාග කරලා විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ විභාග කරන්න ලොකු වියදමක් යනවා. අඩුම ගාණේ ඔස්ට්‍රේලියන් විභාගය කරන්න ලක්‍ෂ 15 ක් විතර වැය වෙනවා. මොකද එම විභාගය ලංකාවේදී ලියන්න බැහැ. එක්කො සිංගප්පූරුවෙ යන්න ඕන. නැත්නම් චෙන්නායි යන්න ඕන. වෛද්‍යවරයෙක් එපමණ වියදම් කරල ඉන්නෙ නිකන් ඉන්න නෙවෙයි. ඒ අය ඉන්නෙ පිටරට සේවයට යන්න බලාගෙන. ඔස්ට්‍රේලියන් විභාගයට මෑත කාලයේ ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඔස්ට්‍රේලියන් කවුන්සිල් එකෙන් නිකුත් කරපු දත්ත අනුව 2023 පළවෙනි මාස 6 ඇතුළත මුළු ලෝකයෙන්ම ඔස්ට්‍රේලියන් විභාගය ලියල තිබෙනවා 3756 ක්. ඒකෙන් 781 ක් ලංකාවේ වෛද්‍යවරු. ඒ කියන්නේ ලෝකෙන්ම ලියපු අයගෙන් පහෙන් එකක් ලංකාවේ වෛද්‍යවරු. මෙම විභාගය ලෝකෙන්ම පාස්වෙලා තිබෙනවා 2120 ක්. එතනින් 584 ක්ම ලංකාවේ වෛද්‍යවරු. හරියට ගණන් හැදුවොත් 25% ටත් වැඩියි. 30% කටත් ආසන්න ප්‍රමාණයක්. හැබැයි විවිධ හේතු මත මේ අය තවමත් ලංකාවේ රැඳී සිටිනවා. පසුගිය කාලයේ දුන් ඩැට් දීමනාව නිසා ඇතැම් අය තවමත් ලංකාවේ රැඳිලා ඉන්නවා. මේ නිසා සමහර වෛද්‍යවරුන් කණ්ඩායම් තමන්ගේ රට යන තීරණය ගන්න ටිකක් ප්‍රමාද කරල තියෙනවා. හැබැයි රජය මගින් මේ අය ලංකාවේ රඳවාගන්න එක තමයි වැදගත්. හැබැයි (DAT) ඩැට් දීමනාව දුන්න කියල තවමත් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න නැවතිලා නැහැ. ඒ නිසා පසුගිය අවුරුද්ද තුළ යම් ප්‍රමාදවීමක් පමණක් සිදුවුණා. හැබැයි දැන් අපට ලැබෙන අලුත්ම තොරතුර නැවතත් වෛද්‍යවරුන් රට හැර යෑමේ තත්ත්වයක් උදාවෙලා. අමාත්‍යාංශය හරහා ඔවුන් දෛනිකව විදෙස්ගත වෙන්න, නිවාඩු ඉල්ලන ප්‍රමාණය, සේවයෙන් ඉල්ලා අස්වීමේ ඉල්ලුම්පත් ප්‍රමාණයත් වැඩිවෙමින් පවතිනවා. ඒ නිසා මේ පිළිබඳව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. එක පැත්තකින් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය හා සාධාරණය ඉටුවෙන්න ඕන. යහපත් වෘත්තීය පරිසරයක් ගොඩනැගෙන්න ඕන. එයින් වෛද්‍යවරුන්ට මෙරට රැඳී සිටින්නට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන්න අවශ්‍යයි.”

මේ වනවිට වෛද්‍යවරු රටහැර යෑම පිළිබඳ විස්තරයක් වෛද්‍යවරයා කියන්නට විය. ඔහු කියන්නේ මෙරට වෛද්‍යවරු රට යෑම ඉදිරියේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය බරපතල අර්බුදයකට මුහුණපාන බවය.

පසුගිය වසර දෙක තුළ වෛද්‍යවරු 1800 කට වඩා රට ගිහින් “2022-2023 වසර දෙක තුළ වෛද්‍යවරු 1800 කටත් වැඩි ප්‍රමාණයක් රට හැර ගොස් තිබෙනවා. එතනින් 1500කට වැඩි ප්‍රමාණයක් ශ්‍රේණි වෛද්‍යවරුන් රට හැර ගොස් තිබෙනවා. 300 කටත් වැඩි ප්‍රමාණයක් මෙරට විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගත වී තිබෙනවා. මේ අවුරුද්දේ මුල කරපු සමීක්‍ෂණයේදී අපට හෙළිවුණේ කුඩා රෝහල් 20 ක් මේ වනවිට වැසීගොස් තිබෙනවා. රට පුරා කුඩා රෝහල් සහ ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍ය ඒකක හාරසියයකට වැඩි ප්‍රමාණයක් මේ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා සේවා පවත්වාගෙන යෑමේ බරපතල ගැටලුවකට මුහුණදී තිබෙනවා. මෙයට විසඳුමක් ලෙස රජයට ගන්න තිබුණ පියවරක් තමයි පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදෙන එක. 1400 ක් ඉන්නවා තමන්ගේ සීමාවාසික පුහුණුව අවසන් කරල දැන් මාස නවයකටත් වැඩි අය. කළමනාකරණ කොමිෂන් සභාවේ 2018 තියෙන ඉලක්කම් පදනම් කරගෙන අනුමත සේවක සංඛ්‍යාවට සාපේක්‍ෂව පුරප්පාඩු මදියි කියල පත්වීම් දෙන එකත් ප්‍රමාද කරල තියෙනවා. මොකද දැන් තියෙන ප්‍රශ්නය යම්තාක්දුරට සමනය කරන්න මේ කියන 1400 දෙනාගෙන් පුළුවන්. ඒත් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමක් සිදුවෙන්නේ නැහැ.”

වෛද්‍යවරුන්ට රට යන්න වෙන ප්‍රශ්න

ආණ්ඩුවේ ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරෙද්දී… දොස්තරවරු රටෙත් නැත…

වෛද්‍යවරයකුට ලංකාවේ ලැබෙන වේතනයට වඩා පිටරට ගොස් ලැබෙන වේතනයන්හි දැවැන්ත වෙනසක් තිබෙන බවද ඔහු පවසන්නේය. ඔහු කියන අන්දමට බුද්ධිගලනයට එයද ප්‍රධාන හේතුවකි.

“ඩුබායිවල වෛද්‍යවරයකුට ගෙවන පඩිය ලංකාවේ ගෙවන පඩියට වඩා දහගුණයකින් පමණ වැඩියි. එංගලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේ විසිගුණයක් දක්වා වැඩිවෙනවා. ඒ විතරක් නෙවෙයි එතන තියෙන වෘත්තීය පරිසරය මෙරටට වඩා යහපත් වෙනවා. ජීවත්වීමේ වටපිටාවත් හොඳයි. දරුවන්ගේ අධ්‍යාපනය කියන කාරණා එක්ක තමයි මෙරට වෛද්‍යවරයකු පිටරට රැකියාවට යෑමට තීරණය කරන්නේ. බුද්ධිගලනය සිදුවීමට හේතුවන කාරණා ලෙස එක රටකින් තවත් රටකට ද තල්ලු කරනා සාධක හා වෙනත් රටකින් එම රටට පැමිණීමට ආකර්ෂණය කරගන්නා සාධක පවතිනවා. රජයේ බදු ප්‍රතිපත්තිය ද වෛද්‍යවරු රටහැර යෑමට බලපා තිබෙනවා.”

ආණ්ඩුවේ ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරෙද්දී… දොස්තරවරු රටෙත් නැත…

වෛද්‍යවරුන් රට හැර යෑම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවා කඩා වැටීමේ අවදානමක්
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගතවීම ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සිදුවන්නේ විශාල බලපෑමකි. දැනටමත් රට අත්හැර යමින් සිටින විශේෂඥ වෛද්‍යවරුන් ගැන ඔහු හෙළිදරව්වක් කළේය.

“ක්‍ෂේත්‍ර ගණනාවක විශේෂඥ වෛද්‍යවරු මේ වනවිට රට අත්හැර යමින් සිටිනවා. වැඩිපුරම මෙරටින් පිටත්ව යන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් හා හදිසි ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන්. මේ කියන කාණ්ඩ දෙකේ ලොකු හිඟයක් රටේ තිබෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන්, හෘද රෝග, ළමා හෘද රෝග මේ ආදී අංශ ගණනාවක විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ද පවතිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මීට අවුරුදු හත අටකට කලින් ලංකාවේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ යම් අතිරික්තයක් ඇතිවෙන තත්ත්වයක් ලංකාවේ තිබුණා. එහෙත් වෛද්‍යවරුන් විදෙස් ගතවීම හේතුවෙන් මේ වනවිට ලංකාවේ ළමා රෝග විශේෂඥවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවා. එමෙන්ම මෙරටින් ගිය වෛදවරුන් 1800 ඇතුලේ විදෙස්ගත වූ වෛද්‍යවරුන් හැටියට ගණනය නොවූ ප්‍රමාණයක් ද ඉන්නවා. ඒ අය ඔය කියන 1800 ඇතුලේ නැහැ. ඒ අය තමන්ගේ විශේෂඥ වෛද්‍ය පුහුණු සම්පූර්ණ කිරීමට විදෙස්ගත වූ අය. එවැනි අය 600-700 ක ප්‍රමාණයක් විදෙස්ගතව සිටිනවා. එහෙත් දැන් පවතින තත්ත්වයත් සමග එසේ පුහුණුව ලැබූ අයගෙන් කී දෙනෙක් නැවත රටට පැමිණේවිද යන්න සැකයක් මතුව පවතිනවා. සාමාන්‍යයෙන් ඉගෙනුම ලබන තරුණ වෛද්‍යවරුන් කරන්නේ තමන්ගේ සීමාවාසික පුහුණුව අවසන් කළ පශ්චාත් උපාධිය කරන එක. ඒත් පවතින ආර්ථික තත්ත්වය නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමක් සිදුවෙලා තිබෙනවා. 50% ක් විතර පශ්චාත් උපාධිය ගන්න එක අඩුවෙලා තියෙන්නේ. ඔවුන්ගේ ඒ වෙනුවට විදෙස්ගතවීම සඳහා සුදුසුකම් ලබාගැනීමට පිටරට විභාග ලියන්න පෙළඹෙනවා. මේ නිසා ඉදිරියේදී මෙරටට විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයකට මුහුණදෙන්න සිදුවෙනවා. දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය කියා අපි කියන්නේ ඒ නිසයි.” වෛද්‍යවරයා එසේ කියා සිටියේ නුදුරේදීම මෙරටින් විශේෂඥ වෛද්‍යවරයකු සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන බවද මතක් කරමිනි.

මෙරට රෝහල් පද්ධතිය තුළ සිටින වෛද්‍යවරුන් රටහැර යෑම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවා කඩා වැටීමේ අවදානමක් පවතින බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ද අප සමග පැවැසීය.

ඔහු කියන අන්දමට සමාජ ආර්ථික දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධ විශ්වාසය නොමැතිවීම මෙරට වෛද්‍යවරුන් රට හැර යෑමට ප්‍රධාන හේතුවකි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගන්නා ලද නවතම දත්තවලට අනුව පසුගිය වසර හතරක කාල සීමාවේදී වෛද්‍යවරුන් රට හැර යෑම වේගවත් වී ඇති බවද පෙන්වාදී ඇත. ඒ අනුව 2020 වසරේදී පමණක් වෛද්‍යවරු සීයකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති අතර 2023 වර්ෂයේ රටහැර ගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව අටසියයකටත් ආසන්නය. ඇතැම් විට රාජ්‍ය සේවයට එකතුවීමෙන් අනතුරුව රට හැර යන අතර නවතම ප්‍රවණතාවය වන්නේ වෛද්‍ය පීඨ අවසාන විභාගය සමත්වන වෛද්‍යවරු රාජ්‍ය සේවයට එකතු නොවී රට හැරයෑම බවද වෛද්‍යවරයා පෙන්වා දෙන්නේය. තවද විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින්ම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා ප්‍රජා සෞඛ්‍ය සේවා පද්ධති කඩා වැටීමත් බොහෝ දුෂ්කර දිස්ත්‍රික්කවල නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට දුෂ්කරතාවන්ට පත්වීමත් ඉහළ ගොස් ඇති බවය. පවතින තත්ත්වය කෙරෙහි රජයේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද එසේ නොවුණහොත් සාමාන්‍ය මහජනතාවට සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී මහත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට ද සිදුවන බවට රජයේ වෛද්‍ය සංගම් පෙන්වා දෙන්නේය.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment