අම්මා ණය වෙලා කී බෝඩ් එකක් අරන් දුන්නා – සම්පත් බණ්ඩිහෙට්ටිගේ

94

ඩුබායි රටේ ක්ලබ්වලත් වැඩ කළා
4 චූන් රෙසිඩන්ස් ඌරා මමයි
ශක්ති බෑන්ඩ් එකේ කී බෝඩ් වාදකයාගේ කතාව

ඔහු විටෙක වාදකයෙක්. තවත් විටෙක රංගන ශිල්පියෙක්. එදා කණ්ඩායම් සංගීතයේ දැවැන්ත වෙනසක් ඇති කළ ශක්ති සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදන ශිල්පියා මෙදා ඔබ හමුවට එන්නේ නළුවෙක් විදිහට. මේ දිනවල විකාශනය වන කෝලම්කුට්ටමේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයෙන් වගේම 4 චූන් රෙසිඩන්ස්හි ඌරාගේ චරිතයෙන් ඔබව ආමන්ත්‍රණය කරන්න හදන ඔහු නමින් සම්පත් බණ්ඩිහෙට්ටිගේ මේ ඔහුගේ කතාවයි.

අම්මා ණය වෙලා කී බෝඩ් එකක් අරන් දුන්නා - සම්පත් බණ්ඩිහෙට්ටිගේ

සම්පත් කොහොමද කණ්ඩායම් සංගීතයට එකතු වෙන්නෙ?

90 ගණන්වල තමයි මට මියුසික්වල රහ දැනෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ හිමීට හිමීට ඕගන් ගහන්න පටන් ගත්තා. අන්තිමේ පොඩි පොඩි බෑන්ඩ් ගොඩක සෙල්ලම් කළා. 2000 වසරේ තමයි ඇන්තනී සුරේන්ද්‍රගේ ශක්ති බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ.

කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?

මගේ අයියාගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් තමයි ඇන්තනී සුරේන්ද්‍රව මුණගැසුණේ. ශක්ති බෑන්ඩ් එකට සම්බන්ධ වුණ ගමන් ලන්ඩන්වල සංචාරයකට පවා සහභාගි

වුණා. ඊට පස්සේ ලංකාවට ඇවිත් රඟපෑමට යොමු වුණා.

අම්මා ණය වෙලා කී බෝඩ් එකක් අරන් දුන්නා - සම්පත් බණ්ඩිහෙට්ටිගේ

මුලින්ම රඟපෑ ටෙලි නාට්‍ය?

දීග සෝමපාලගේ දේදුණු පාලම ටෙලි නාට්‍යයේ පොඩි චරිතයක් රඟපෑවා.

කී බෝඩ් වාදනයට යොමු වුණේ කොහොමද?

පාසල් කාලයේදීම තමයි මේ ආසාව ඇති වෙන්නෙ. ඒ කියන්නෙ 80 දශකයේ අන්තිම කාලෙ. ඔය කාලේ සන්ෆ්ලවර් සලාදේ” ලම්බාඩා” ලියතඹරා වගේ ගීත තමයි අහන්න ලැබුණෙ. මට කී බෝඩ් එකක් තිබුණෙ නැහැ. අනුන්ගෙන් ඉල්ලගෙන තමයි ප්ලේ කළේ.

තමන්ටම කියලා කී බෝඩ් එකක් ගත්තු දවස මතකද?

දවසක් ක්ලාස් එකට යන්න කී බෝඩ් එක දුන්නේ නැහැ. ඊට පස්සේ අම්මාට දුක හිතිලා ඉස්සරහ ගෙදරින් ණයට රුපියල් හාරදාහක් ඉල්ලාගෙන පොඩි කී බෝඩ් එකක් අරන් දුන්නා.

ශක්ති කියන්නේ ඒ කාලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්?

ඔව්. ශක්ති කියන්නේ ජනප්‍රිය බෑන්ඩ් එකක්. ශක්ති එක්ක සෙට් වුණ ගමන් මගෙත් රහ වෙනස් වෙන්න පටන් ගත්තා. අපි බෑන්ඩ් පටන් ගත්ත කාලේ හිටියේ ඉලෙක්ට්‍රොනික් පැත්තෙනේ.

ඇන්තනී සුරේන්ද්‍ර මුලින්ම මොනවද කිව්වේ?

මම සුරේන්ද්‍ර අයියව හම්බ වෙනකොට මහ ලොකු මියුෂීෂියන් කෙනෙක් නෙමෙයි. නමුත් අන්තිමේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ?

මම 2000 වසරේ තමයි බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ.

දැන් ඒකෙන් ඉවත් වෙලාද?

ඉවත් වෙලා නැහැ. ලැබෙන ආරාධනා අනුව කටයුතු කරනවා.

ශක්ති බෑන්ඩ් එකට සම්බන්ධ වුණාට පස්සේ ලැබුණ ජනප්‍රියත්වය?

ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බෑන්ඩ් එකේ ආලෝකය මටත් ලැබුණා. සුරේන්ද්‍ර එක්ක සෙල්ලම් කරනවා කිව්වහම ලොකු ආලෝකයක් වැටුණා.

මොකද හිතුණෙ?

මට ඉතින් ඒ කාලේ බෝනස් එකක් ලැබුණ වගේ දෙයක් තමයි සිද්ධ වුණේ.

රඟපෑමට ආරාධනා ලැබුණේ කොහොමද?

දීග සෝමපාලගේ දේදුණු පාලම ටෙලිනාට්‍යයේ පැදුරු පාටියක දර්ශනයකට බෑන්ඩ් එක ප්ලේ කරලා දෙන්න කිව්වා. ඔය හරහා තමයි ආරාධනාවක් ලැබුණෙ.

ඊට පස්සේ මොන වගේ ටෙලිනාට්‍යවලට ද ආරාධනා ලැබුණේ?

මුතුකුඩ ටෙලිනාට්‍යයේ ඇල්ලෙපොල නිලමේගේ චරිතයට චරිතයට වගේම සුපුන් සේනානායකගේ අඩෝ ටෙලි නාට්‍යයේ බෝට්ටුවේ චමියාගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. පසුගිය කාලයේ සකලගුරු බර්ටි” කෝලම්කුට්ටමේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය පවා කළා. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන 4 චූන් රෙසිඩන්හි චරිතයක් කරනවා.

සංගීතය කරපු ඔබට රඟපෑම අභියෝගයක් වුණාද?

එහෙම අභියෝගයක් කියලා හිතුවේ නැහැ. පුංචි කාලේ ඉඳලා මේ හැම එකකටම මම දක්ෂතා දැක්වූවා.

වැඩිපුර කැමැති සංගීතයටද? රඟපෑමටද?

දෙකටම කැමැතියි. රඟපෑමට වැඩි ආසාවක් තියෙනවා.

කැපිලි කෙටිලිත් තියෙන්න ඇති?

අපොයි ඕනෑ තරම් තියෙනවා. අපි දැනගෙනත් කැපෙනවා. නොදැනත් කැපෙනවා. සමහරු මගෙන් අහනවා ඔයා මෙච්චර කාලයක් කොහේද හිටියේ කියලත් ඔයා ඉන්න ඕනෑ තැන නෙමෙයිනේ ඉන්නේ කියලත්. ඇත්තටම කිව්වොත් මම පැන පැන බෝල්වලට ගහන්න යන්නේ නැහැ. ඇඟට එන බෝලයකට විතරයි පහර දෙන්නේ. මම කාටවත් කරදර කරන්න යන්නේ නැහැ.

රඟපෑම සංගීතයට බාධාවක්ද?

එහෙම විශේෂ බාධාවල් කියලා දෙයක් නැහැ. දැන් ඉතින් ලොකු තරගකාරීත්වයක්නේ තියෙන්නේ. වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක වැඩවල ගැටලුව තමයි තියෙන්නේ. අපි බජට් එකක් කිව්වට පස්සේ ඊට වඩා සෑහෙන අඩුවට ප්ලේ ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. හැමදේම එහෙම තමයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment