අකුසලයේ කෙටි ආශ්වාදයට රැවටීම

99

පින්වත සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය සහ ශීලය යම් තැනකද එතැන සම්මා සතිය මල්වර වෙනවා. සතිය මල්වර වෙද්දි උපදින සම්මා සමාධියයි ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දකින්න ඔබව පුහුණු කරන්නේ. පින්වත අපි සියල්ලෝම කවදාහරි දවසක මැරෙන මිනිසුන් මිස සදාකාලිකව ජීවත්වෙන මනුෂ්‍යයින් නොවේ. පින්වත ඔබ කරන රැකියාව, ව්‍යාපාරය, දේශපාලනය, ඔබේ මෙලොව පරලොව සැපය උදෙසා, සුගතිය උදෙසා, ඔබේ භව නිරෝධය උදෙසා විය යුතුයි. නමුත් අපි මේ කුමක්ද කරමින් සිටින්නේ, අපේ රැකියාව, ව්‍යාපාරය, දේශපාලනය කෙටි කාමයේ ආශ්වාදය උදෙසා කැප කරන්නේ අකුසලයේ සහ දුගතියේ දීර්ඝ ආදීනවය ගැන එකම සිතුවිල්ලකින්වත් නොතකා හරිමින්මයි. පින්වත ධනයට, බලයට, කාමයන්ට, අධිපති වෙන්නේ වසවර්ති මාරයාමයි. මොකද ඉහත ධර්මයෝ සියල්ලම පිනේ ඵලයන්. බුදුරජාණන් වහන්සේ අධිපතිත්වය දරන්නේ ආර්ය ශීලයේ පටන් ආර්ය විමුක්තිය දක්වා වූ උතුම් විදර්ශනා අවබෝධයන්ටමයි. පින්වත ධනය, බලය ඉදිරියේ සතිමත් වෙන්න. පින්වත් ඔබ අසිහියෙන්, බලහත්කාරයෙන් සොයා යන බලය, තමාගේ පටිච්චසමුප්පන්න සුගතියේ සැපය අහිමිකරන මිච්ඡා බලයක් බව නුවණින් තේරුම් ගන්න. බලයට අවිචාරයේ ඇස් ලබාදෙන සක්කාය දිට්ඨියේ ගොදුරක් වෙන්න එපා.

පින්වත තවදුරටත් අකුසලයේ කෙටි ආශ්වාදයට නොරැවටී, පංචශීලය සුරකින සමාජයක් උදෙසා ජාති, ආගම්, කුල, දේශපාලන භේදයන්ගෙන් තොරව සමගියෙන් එකමුතු වෙන්න. ධර්මයෝ ධර්මයන්මයි පෝෂණය කොට දෙන්නේ. අපි හැමෝගේම පරම බලාපොරොත්තුව, යම් පමණනට හෝ සිල්වත් සාධාරණ සමාජයක් නම් අපි සමාජය තුළ ප්‍රවර්ධනය කරන්න ඕනේ මෛත්‍රියේ ශක්තියෙන් පෝෂණය වූ ශීලයයි. පින්වත ඔබට මුණගැසෙන පින්වතුන් සමග අවංකව සිනාසෙන්න. එම අවංක සිනහව හේතුවෙන් ඔබට මෛත්‍රියේ ආනිශංස එකොළහක් ඔබේ ජීවිතයට ලැබෙනවා. ඔබේම තොල්පෙති විවරකොට අවංකව කෙරෙන සිනහවක් තුළින්, වචන පෙළක් තුළින් මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහක් ඔබට ලැබෙනව නම් පින්වත අපි පිනේ පාරාදීසයකයි ජීවත් වෙන්නේ. පින්වත තවදුරටත් ඔබේ ජීවිත තුළින් පින ඉඩෝරයට හසුවෙන්න දෙන්න එපා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය, අපේ දෑස් පියවෙන්නට පෙරාතුව ඔප්පුකොට පෙන්වන්න ඕනේ. ශීලයේ සැබෑ ආනිශංසයන් වන ජාතියක් හැටියට ලෝකයා ඉදිරියේ ලබන ජනප්‍රියභාවය, ලෝකයාට ණය නොවී ලබන ආර්ථික සහ භවබෝග සම්පත්වල සංවර්ධිතභාවය, ජාත්‍යන්තරයේ උපක්‍රමශීලී අභියෝගයන් ඉදිරියේ නිවට නොවීමේ ශක්තිය පින්වත මේවා ශීලයේ ආනිශංසයන්. පින්වත දෙවියන්ට, මනුෂ්‍යයින්ට සහ අමනුෂ්‍යයින්ටත් ප්‍රියවෙන එකම ධර්මතාවය උතුම් මෛත්‍රියයි.

පින්වත අතීතයේ ලෝකයේ ජීවත්වුණ විදේශීය මහත්මයෙක්ගෙන් ඇහුවොත් ඔබ වඩාත්ම ප්‍රියජනක රට කුමක්ද කියලා, එම විදේශිකයා ගත් කටටම කිව්වේ ශ්‍රී ලංකාව කියලයි. පින්වත ඔබේ පින්වන්ත මාතෘ භූමිය අතීතයේ එවන් ප්‍රසාදයක්, අභිමානයක්, ජනප්‍රියභාවයක් ලෝකයා ඉදිරියේ ලැබුවේ, අපේම අතීත ජනතාවගේ මෛත්‍රියේ, ශීලයේ ආනිශංස ධර්මයන් නිසාමයි. පින්වත වර්තමානයේ කුමක්ද ඔබේ මාතෘ භූමියට වෙලා තිබෙන්නේ. ලෝකයා ඉදිරියේ මාතෘ භූමියේ ජනප්‍රියභාවය දුර්වල වෙලා. පින්වත් විදේශිකයන් සංචාරයේ යෙදෙන්න දෙවරක් සිතන රටක් බවට ඔබේ මාතෘ භූමිය පත්වෙලා. පින්වත අතීතයේ ඔබේ මාතෘභූමිය ජාත්‍යන්තරය ඉදිරියේ ලැබූ ජනප්‍රියභාවය වෙනත් රටවල් විසින් වර්තමානයේ අත්පත් කරගෙනයි සිටින්නේ. පින්වත කිනම් මිථ්‍යාදෘෂ්ටික රටක් වේවා ලෝකයා ආදරයෙන් වැළඳගන්න රටක් බවට පත්වෙන්නේ සම්මා දිට්ඨිය නැතිවුණත් එම රටවල ජනතාවගේ මෛත්‍රියේ ශක්තිය නිසාමයි. පින්වත ලෝකයාට ණය වෙමින්, දේශීය සම්පත් විකුණ, විකුණා, ආගම් වාදයට, ජාතිවාදයට යටවී, වැට මායිම්, මායිම් ගල් ගලවමින් ලෝකය දිනන්න, රට දිනවන්න, නොකෙරෙන වෙදකම් වලට බෙහෙත් සොයන්නේ නැතුව, කරුණාකර සැබවින්ම ලෝකය දිනන්න, සැබවින්ම රටේ ජනතාව දිනවන්න, මෛත්‍රියේ ශක්තියෙන්, ශීලයේ ශක්තියෙන් නැගීසිටින්න. දේශපාලන සටකපට කම්, තම තමන්ගේ පෞද්ගලික සංස්කාර ලෝගු තුළ දමා ගනිමින්, ධර්මයේ ඇත්ත, ඔය අධර්මයේ දෑස්වලින් දකින්න. දේශපාලනය මුල් වී අපේ රටේ සිද්ධවන සෑම ක්‍රියාවක්ම සද්ධර්මයේ අර්ථයන්ට මිථ්‍යා දෘෂ්ටියෙන් පහරදෙන බරපතළ අපරාධයක්. පින්වත ශීලය තවමත් ජීවමාන සමාජයක, මෛත්‍රිය තවමත් ජීවමාන සමාජයක, උතුම් සද්ධර්මය තවමත් ඇසෙන සමාජයක සියලු සංස්කාරයන් අනිත්‍ය වුණත් හෙට ගැන ඔබ අවිශ්වාසයක් ඇතිකොට ගන්න එපා. පින්වත ඔබේ ජීවිතය දෙවැනි තැනට දමා ඔබ උපන් රට තෙවැනි තැනට තබා, උතුම් සද්ධර්මය පළමු තැනට ගන්න. පින්වත් ඔබ සද්ධර්මයේ අර්ථයන් ඔබේ ජීවිතයේ මුලට ගත්තොත් පමණක්මයි, ඔබේ ජීවිතයත්, ඔබේ රටත්, පළමු තැනට ගත්තා වෙන්නේ.

අකුසලයේ කෙටි ආශ්වාදයට රැවටීම

පින්වත නායක කකුඵවන් ඇදේට යත්දී පුංචි කකුඵවොත් ඇදේටමයි යන්න පුරුදු වෙන්නේ. පුංචි කකුඵවන්ට දොස් කියලා වැඩක නැහැ. පසුගිය සති දෙකේ පැවති ධර්මදේශනා දෙකේදී පින්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා දෙපළක් සද්ධර්මය ශ්‍රවණය කරන්න පැමිණ සිටියා. පුරා පැය පහක් බොහොම තැන්පත්ව සද්ධර්මය ශ්‍රවණය කළා, පින්වත මේ පුංචි කකුඵවන් ඇත්ත දන්නවා, ඒත් නිවැරදි වෙන්න බැහැ. මොකද මහා කකු`ඵවෝ යන්නේ ඇදයටමයි. පින්වත ඇදයට යන සමාජය තුළ පුංචි තැනක් ඔබට නිවැරදිකොට ගන්න තිබෙනවා. පින්වත අපි තව තවත් සද්ධර්මය දේශනා කරමු. සද්ධර්මය සටහන් තබමු. සිල්වත් වෙමු. මෙත් වඩමු. පින්වත් නායකයින්ට ඇදයට යන අකුසල් සංස්කාර වෙනුවට, නොඇදයට යන කුසල් සංස්කාරයෝ ශක්තිමත් කොට දෙමු. පින්වත ඔබ පරාජිතයෙක් නොවේ. ඔබ මෙලොව සහ පරලොව දිනලාමයි දෑස් පියාගන්න ඕනේ. එය කරන්න නායකයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට බැහැ. එය කළ හැක්කේ කුසල් ධර්මයන්ගෙන් පෝෂණයවූ පිනේ ශක්තියෙන්මයි. පින්වත ඔබේ පාලක පින්වත් රාජ්‍ය නායකතුමා නොවේ, ඔබේ පාලකයා අවිද්‍යාව හේතුවෙන් බලගැන්වෙන ඔබේම පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකි. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ ලෝකයේ මුලයි. ඵස්ස පච්චයා වේදනා, ලෝකයේ මැදයි. භව පච්චයා ජාති, ලෝකයේ යළි යළිත් පටිච්චසමුප්පන්න ප්‍රවර්ධනයයි.

පින්වත නිවන උදෙසා සුගතිය උදෙසා අවශ්‍ය ආහාර බහුල සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ද්වේෂය, වෛරය, පළිගැනීම, බොරුව, රැවටීම වැඩි තැනයි, ඔබට මෛත්‍රියේ සහ ශීලයේ ආහාර බහුලව ඔබේ ජීවිතයට එකතු කොට ගැනීමට හැකිවෙන්නේ. පින්වත ඔබට තුන්වේල කන්න නැතිවුණාය කියලා, සෑම නිමේෂයකදීම දේශපාලන බොරුවලින් ඔබව රැවටුණාය කියලා, සමාජය ඔබට දිගුකරන මෛත්‍රියේ සහ ශීලයේ ආහාර ගැටෙන සිතින් ප්‍රතික්ෂේප කරන්න එපා. පින්වත් ඔබ අද දවසේ නිර්ලෝභි සිතින් ජීවිතයට එකතුකොට ගන්න, මෛත්‍රියේ. ශීලයේ ආහාරයන්මයි හෙට දවසේ ඔබගේ ලෞකික සැපයේ නියමුවා වෙන්නේ. පින්වත අවලස්සන ලෝකයක් තුළ ලස්සන අර්ථවත් ධර්මයක් අපිට මුණගැසිලා තිබෙන්නේ. අවලස්සන අවිද්‍යාවෙන් උපදින ලස්සන කුසල් සංස්කාරයන්ට පින්සිද්ධ වෙන්න. හැබැයි ඉතින් අවලස්සන අකුසල් සංස්කාරයෝ අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පින්වත අවිද්‍යාව හරිම සටකපටයි. අකුසලය තුළින් අපිට දුක් දෙන අවිද්‍යාව, කුසල් සංස්කාරයෝ තුළින් කාමයේ සහ රූපයේ ආශ්වාදයෙන් ඔබට පුංචි සංග්‍රහයකුත් කරනවා.

පින්වත් මහත්මයෙක් භික්ෂවුගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, රුවන්වැලි මහා සෑ සමිඳුන්ට තෙරුවන්ගේ ශක්තිය තිබෙනවා නම් දෙවියන්ගේ ආරක්ෂාව තිබෙනවා නම් පූජනීය මහා සෑ සමිඳුන්ගේ චූඩාමාණික්‍යයට අකුණු සන්නායකයක් සවිකොට තිබෙන්නේ ඇයිද කියලා. පින්වත තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් නොපොහොසත්, දැනුම බුද්ධියෙන් පොහොසත් සමාජයෙන්, මෙවැනි අදහස් ප්‍රකාශ වීම හේතුඵල ධර්මයක්මයි. පින්වත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දස පාරමී පිනෙන් සහ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් ආධ්‍යාත්මික සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට ලක්වුණා. බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව, වායෝ, ආපෝ, තේජෝ ධාතූන් කිපෙනකොට බුදුරජාණන් වහන්සේට ජරා, ව්‍යාධි ස්වභාවයන් ඇතිවුණා. බුදුරජාණන් වහන්සේට නිරතුරුවම රෝගාබාධයන් හැදුණා. අවස්ථා කිහිපයකදීම ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම් පාලනය කොට ගැනීමට ශරීරය විරේක කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නෙත් බරපතළ උදරාබාධයක් උත්සන්න වෙලා. පින්වත බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව කිපීම් වලට තෝතැන්නක් නම් පින්වත අව්ව, වැස්ස, පින්න, අකුණු ගැසීම කියන බාහිර සතර මහා ධාතුවේ කිපීම් ගැන කුමන කථාද? පින්වත උතුම් තෙරුවන්ගේ ශක්තියකට හෝ දෙවියන්ගේ ආරක්ෂාවකට බාහිර හෝ ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම් නවත්වන්න බැහැ. පින්වත බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවත් චූඩාමාණික්‍යය යැයි කියන බාහිර සතර මහා ධාතුවත් අකුණු සර යැයි කියන බාහිර සතර මහා ධාතුවත් නිරතුරුවම කිපීමේ ස්වභාවයෙන් යුත් සතර මහා ධාතූන්මයි. පින්වත මේ සියලු ධර්මතාවයෝ යම් පමණකට හෝ නොකිපී තබාගැනීමට නම් කිපීම් අවම කොට ගැනීමට නම් අපේම අනිත්‍යය වී යන කුසල් සංස්කාරයන්මයි උපකාර වෙන්නේ. පින්වත පූජනීය ස්වර්ණමාලි සෑ සමිඳුන් එහි මුදුණත දරා සිටින පූජනීය චූඩාමාණික්‍යය, ඒ අසල රඳවා තියෙන අකුණු සන්නායකය මේ දක්වා ආරක්ෂාකොට දී තිබෙන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක් හෝ අකුණු සන්නායකය නොව අපේ ම කුසල් සංස්කාරයෝයි. කුසල් සංස්කාරයෝ දුර්වල වෙත්දි සතර මහා ධාතුවේ කිපීමෙන් ගහන වියරු අකුණු නවත්තන්න බුදුරජාණන් වහන්සේටත් බැහැ. චූඩාමාණික්‍යය යැයි කියන්නේ, අකුණු සර කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක්. පින්වත අනිත්‍ය දෙය අනිත්‍ය යැයි දකින්න. එවිටයි ඔබේ ජීවිතයත් පූජනීය චූඩාමාණික්‍යයක් වෙන්නේ.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment