අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්. ඇම්. පුංචිරාල
යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට ආසන්නවීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිල දරාගත නොහැකි තරමට පහළ බැසීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්. ඇම්. පුංචිරාල මහතා පැවසීය.
මේ වනවිට දිස්ත්‍රික්කයේ අහස් දියෙන් පෝෂණය වන කුඩා වැව් යටතේ වී වගා කළ ගොවීන් විසින් තම වී අස්වනු නෙළීම ආරම්භ කිරීමත් සමග මෙසේ වී මිල පහළ යෑමට හේතුවී ඇති බවද හෙතෙම කීවේය.
මේ අනුව තෙත බර සහිත නාඩු වී කිලෝවක් රුපියල් 65.00 බැගින්ද සහ හොදින් වියළන ලද වී කිලෝවක් රුපියල් 75.00 සිට රුපියල් 80.00 ත් අතර මිල ගණන්වලට පෞද්ගලික වෙළෙදුන් ගොවීන්ගේ නිවෙස්වලටම පැමිණ මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ආර්. ඇම්. පුංචිරාල මහතා කීය.
ආණ්ඩුව ප්‍රාදේශීය මට්ටමින් ගබඩා විවෘත කොට වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 95.00 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව මාධ්‍ය මගින් පුරසාරම් දෙඩුවත් එය එය මහ පොළොවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද හෙතෙම පැවැසීය.
වර්තමානයේ රසායනික පොහොර මිල, කම්කරු කුළිය හා යාන්ත්‍රික කුළිය දරා ගත නොහැකි ලෙස ඉහළයෑම නිසා ගොවියකුට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් 100.00ත් 110 අතර මුදලක් වැයවන බවත් ඒ අනුව ගොවීන්ට වී කිලෝවක සහතික මිල රුපියල් 120.00 හෝ 130.00ක් වත් කළ යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්. ඇම්. පුංචිරාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු