ප්‍රමිතියෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශ වන ජනතාවට එමගින් වඩාත් විශ්වාසදායක අයුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවත්, එබැවින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉදිරි සැලසුම් දියත් කිරීම සහ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ සිදු කළ කරුණු විමර්ශනය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා රජය සතු මෙරට විශාලතම දේශීය ඖෂධ නිෂ්පාදනාගාරය හිමි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඉදිරි සැලසුම්, නිෂ්පාදන හා අලෙවි ඉලක්ක, රාජ්‍ය අයතනය හා විවෘත වෙළෙඳපළ ඉලක්ක ගත නිෂ්පාදන හා අලෙවි කටයුතු ආදී කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සොයා බලමින් නිෂ්පාදන ධාරිතාව ඇතුළු ආයතනයේ අනෙකුත් සෑම අංශයකටම අදාළ ඉහළ ප්‍රගතියක් ළඟා කර ගැනීමට අදාළ තීරණ කිහිපයකට එළඹෙන ලදී.
එසේම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ සියලුම අංශ නිරීක්ෂණයට ලක් කරමින් නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සදහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීම ද සිදු කළ අතර, එහි දී යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව, නව නිෂ්පාදන යන්ත්‍ර මිල දී ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සදහා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම මෙන් ම අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම් ආදි කරුණු පිළිබඳ ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ද පුළුල් සොයා බැලීමක් සිදු කරන ලදී.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව නිෂ්පාදනය කරන ඖෂධ, ජනතාව එදිනෙදා භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන, ඖෂධ පාන වර්ග, වේදනා නාශක, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී සියලු නිෂ්පාදන තරඟකාරී වෙළදපොළට ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීමත් පිළිබඳව, අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර සෑමවිටම ලාභය ම පමණක් නොව ඖෂධ නිෂ්පාදනයේ දී සිදුවන සේවාව පිළිබඳවද සලකා ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක නිෂ්පාදන ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී කරුණාරත්න, කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ. මාරසිංහ, සාමාන්‍යාධිකාරි ධම්මික පාදුක්ක යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.